දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි.පූ 250 - 210) අනුරාධපුරයේ දකුණු දොරටුව ආසන්නයේ පිහිටි නන්දන වනය හා මහාමේඝවනය යන උද්‍යාන භික්ෂූන් උදෙසා පූජා කොට මහමේඝවය තුළ ප්‍රථම සංඝාරාමය ඉදි කරන ලදි. මුලින්ම එය තිස්සාරාමය ලෙස හඳුන්වන ලදි. පසුව එය මහාමේඝවනාරාමය, මහාවිහාරය යන නම්වලින් ප්‍රචලිත විය. මහාවිහාරය එතැන් සිට සියවස් ගණනාවක්ම ශ්‍රී ලංකාවේ භික්ෂූ පරපුරේ එකම මූලස්ථානය විය. ප්‍රථමවරට ථේරවාද ත්‍රිපීඨකය ග්‍රන්ථාරූඪ කිරීම, සවිස්තර අට්ඨ කථා රචනා කිරීම සිදු කරන ලද්දේ මහාවිහාරවාසි භික්ෂූන් විසිනි. මහාවිහාරය එකල දිවයිනේ ආගමික, දේශපාලන, ආර්ථීක, සමාජ හා සංස්කෘතික යන අංශයන් කෙරෙහි ඝෘජුවම බලපෑමක් එල්ල කරන ලදි. මෙම කලාපය තුළ ජය ශ්‍රී මහාබෝධිය, රුවන්වැලි සෑය හා ථූපාරාමය යන ප්‍රධාන ආරාමික ඉදිකිරීම් දක්නට හැකිය.

mahawiharaya

මහාවිහාරය ආශ්‍රිත ඵෙතිහාසික ස්ථාන

×

ruwanwalisayaරුවන්වැලි මහා සෑය

ශ්‍රී ලංකාවේ ගොඩනැගුනු ස්තූප අතුරින් ගෞරව බුහුමානයෙන් යුක්තව වන්දනාමාන කරනු ලබන ප්‍රධානම ස්තූපය වන්නේ රුවන්වැලි සෑයයි. මේ නිසාම එය මහාථූපය ලෙසද විවිධ සාහිත්‍ය කෘතීන් හි රත්නමාලී, මහාසෑය, ස්වර්ණමාලී සෑය ලෙසද හඳුන්වනු ලැබේ. මෙම ස්තූපය දුටුගැමුණු රජු (ක්‍රි.පූ 161-137) විසින් ඉදිකරන ලද්දකි. හැඩයෙන් බුම්බුලාකාර බවක් ගන්නා මහාථූපයෙහි පාදම සඳහා ගඩොල් විශාල ප්‍රමාණයක් භාවිත කර ඇත. එසේම එය රියන් 120 (අඩි 150) පමණ උසකින් යුක්ත වේ. එහි ධාතු ගර්භයේ චිත්‍ර පවා කරවු බව සඳහන් වේ. සද්ධාතිස්ස රජුගෙන් පසුව අනුරාධපුරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් බොහෝ පාලකයින් විසින් රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමට දායක වී ඇත.

මෙම ථූපයේ ඇති එක් සුවිසේශී අංගයක් වන්නේ සලපතල මළුව හා සෝපාන පන්තිය අතර ඇති ඇත් පවුරයි. එසේම එහි සතර දිසාවෙන් වාහල්කඩ සතරක් ද පිහිටා ඇත. පසුකාලීන ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව මහාථූපය අඩි 350 ක් උසකින් හා අඩි 300 ක් විශ්කම්භයකින් යුක්ත වේ.

රුවන්වැලි මහා සෑය දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ වැදගත් ස්ථානයක් වන අතරම මෙම සෑයට කරනු ලබන ගෞරවයක් වශයෙන් වාර්ෂිකව ජූලි මාසයේදි මෙම ස්තූපයට පිච්ච මල් ලක්ෂයක් පූජා කිරීමේ මහා මංගල්‍යක් පවත්වාගෙන එනු ලැබේ.

×

thuparamaya-anuradhapuraථූපාරාමය

ක්‍රි.පු 3 වන සියවසේදි මෙරටට බුදුදහම හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ඉදිවු ප්‍රථම ස්තූපය ථූපාරාමය වේ. මහාවංශයේ සඳහන් වන පරිදි ස්තූප සහ ආරාම සංකීර්ණය එකට පිහිටීම නිසා ථූපාරාමය යනුවෙන් ව්‍යවහාර වි ඇත. බුදුරදුන්ගේ දකුණු අකු ධාතුව නිධන් කොට දේවානම්පියතිස්ස රජු විසින් ස්තූපය ඉදිකොට ඇත. ස්ථූපයේ ප්‍රතිසංස්කරණ ඉතිහාසය පිළිබද විමසීමේදි පසුකාලීනව අනුරාධපුර හා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත්වු රජවරුන් විසින් ඊට අනුග්‍රහය දක්වා තිබේ. ථූපාරාමයේ දැකිය හැකි සුවිසේශි වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිමක් ලෙස ථූපයට ඉදිකල වටදාගෙය දැක්විය හැක. එය ඉදිකර ඇත්තේ වසභ රජු (ක්‍රි.ව 65-109) විසිනි. මෙහි වර්තමාන උස අඩි 63 ක් වන අතර විශ්කම්භය අඩි 59 කි. ථූපාරාමය අවට පිහිටි ගොඩනැගිලි අතර ආරෝග්‍යශාලාවක් ලෙස සළකන ගොඩනැගිල්ල, ප්‍රතිමාගෘහයක්, භික‍්ෂුණින් සඳහා ඉදි කල ආරාමයක්, උපෝසථාඝාරයක් දැකිය හැකිය.