ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළාසන්නව ගාල්ල නගරය පිහිටා ඇත. මෙම උරුම කලාපය තුළ මෙතෙක් සිදු කර ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව ඓතිහාසික යුගය නියෝජනය කරන පුරාවිද්‍යාත්මක උරුමයන් හා යටත් විජිත යුගය නියෝජනය කරන පුරාවිද්‍යාත්මක ස්ථාන ගණනාවක් හදුනාගෙන ඇත. විශේෂයෙන් ගාල්ල වරාය ක්‍රිස්තුවර්ෂ ආරම්භයේ පටන් පෙර අපර දෙදිග නාවික ගමන් සිදු කළ වෙළද මධ්‍යස්ථානයක් බව පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික තොරතුරු තහවුරු කරයි. ක්‍රි.ව.139 දී ටොලමි විසින් සකස්කරන ලද සිතියමක ගාල්ල සලකුණු කර තිබීම, ගාල්ල ප්‍රසිද්ධ වෙළද මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වූ බවට වැදගත් සාධකයකි.

1588 දී පෘතුගීසීන් විසින් ගාලූ කොටුව ඉදිකරනු ලබන අතර එතැන් පටන් ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණවලට සෘජුවම මෙම ගාලූ කොටුව ඇතුලූ කලාපය ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කලාපෙයේ ජන ජීවිතයට යුරෝපීය ජාතීන්ගේ බලපෑම සෘජුවම එල්ල විය. වාස්තු විද්‍යාව, කලාව, භාෂාව, ඇදුම් පැලදුම් පෙළපත් හා ආගම් ආදී සියලූ දේ සදහා අපරදිග සංස්කෘතික ලක්ෂණ සම්මිශ්‍රණය විය. මෙහි කේන්ද්‍රගත උරුම ස්ථානය වූ ගාලූ කොටුව තුළ පිහිටි පැරණි නගරය අදට ද ජීවමානව පවතී. එය ලෝක උරුමයක් ලෙස 1996 දී යුනෙස්කො සංවිධානය විසින් නම් කරන ලදී.

පැරණි ගාල්ල වරාය කේන්ද්‍ර කරගනිමන් මුහුදු පුරාවිද්‍යා කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ පැරණි නාවික උරුමය හා මෙම උරුම කලාපයේ සංස්කෘතික උරුමයන් ඇතුලත්ව සංවිධානය කළ ගාල්ල සමූද්‍රික කෞතුකාගාරය ද මෙහි පිහිටා ඇත. එමෙන්ම මෙම කලාපය තුළ ස්ථාන ගණනාවක උරුම කළමනාකරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කරනු ලබයි.

Galle-1