අර්ධද්වීපික භූමි කලාපයක් වශයෙන් පවතින යාපනය, ශ්‍රී ලංකාවේ උතුරු කොටස නියෝජනය කරනු ලබයි. මෙම කලාපය තුළ දැනට සිදු කර ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ දී හා පූර්ව ඓතිහාසික යුගයේ දී මානව ක්‍රියාකාරකම් සිදු වූ කලාපයක් ලෙස තහවුරුකොට ගෙන ඇත. ලිඛිත මූලාශ්‍රවලට අනුව යාපනය අර්ධද්වීපය පිළිබඳව මුලින්ම සඳහන් වන්නෛ් බුදුන්වහන්සේගේ දෙවන ලංකාගමනය පිළිබඳවය.

යාපනය ඓතිහාසික යුගයේ දී වඩාත් ප්‍රචලිත වූයේ ජම්බුකෝලපට්ඨන (දඹකොළ පටුන) නමින් හැඳින්වූ නැව් තොට මුල් කොට ගෙනය. දේවනම්පියතිස්ස රජ සමයේ දී මෙරටට බුදු දහම හඳූන්වා දුන් පසුව අශෝකගේ මෞර්ය රාජ්‍ය වෙත අරිට්ඨ ඇතුළු දූත පිරිස පිටත් වූයේත් යළි පැමිණියේත් දඹකොළ පටුනෙනි. එමෙන්ම ෆාහියන් භික්ෂූව (ක්‍රි.ව 411-413) ලංකාවට පැමිණියේ ද මෙම නැව් තොටෙනි. සංඝමිත්තා මෙහෙණිය සමඟ ශ්‍රී මහාබෝධි ශාඛාව වැඩම වූයේත් 18 ක් ශ්‍රේණිවලට අයත් ජනයා පැමිණියේත් දඹකොළ පටුනෙන් බව මහාවංසයේ සඳහන් වේ. යාපනයේ නැව් තොටවල් අතරින් දඹකොළ පටුනට අමතරව ඌරාතොට හෙවත් කයිට්ස් නැව් තොට ද ඓතිහාසිකව වැදගත් වේ.

13 වන සියවසේ අග භාගයේ දී පාණ්ඩ්‍ය ආක්‍රමණවලින් පසුව සිංහල නරපතීන් දුර්වල වූ විට උතුරු රාජ්‍යයට ප්‍රබලත්වයක් ලැබිණි. 13 වන සියවසේදී කාලිංග මාඝගේ ආක්‍රමණවලින් පසුව යාපනය තව දුරටත් බලසම්පන්න විය. මාඝ අවුරුදු 21 ක් පාලනය ගෙන ගිය අතර 1245 දී චන්ද්‍රබානු ලංකාව ආක්‍රමණය කොට යාපනය අර්ධද්වීපය අවුරුදු 18 ක් ද ඉන්පසු ක්‍රි.ව 993-1070 දක්වා අවුරුදු 77 ක් චෝල පාලනයට ද යාපනය නතු විය.

මෙම ඓතිහාසික පසුබිම අනුව යාපනය පුරා හින්දු, බෞද්ධ හා යටත්විජිත උරුම ස්ථාන රාශියක් ව්‍යාප්තව පවතී. විශේෂයෙන් මෙම අර්ධදවීපය කේන්ද්‍රකරගත් දූපත් රාශියක් පවතින අතර එම දූපත්වලද පුරාවිද්‍යාත්මක උරුමයන් අදට ද ආරක‍ෂා වී ඇත.

වසර 30 ක් පුරාවට ජනවාර්ගික ගැටුම්වලට මැදි වූ මෙම පුරාවිද්‍යාත්මක උරුමයන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරක‍ෂා කර සංරක්ෂණය සිදු කරමින් එම උරුමයන් මහජනතාවට නැරඹීමට හැකි අයුරින් උරුම කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම 2016 වර්ෂයේ දී යාපනය කොටුව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන ලදී.

CCF Jaffna 2