බුදුරජාණන් වහන්සේගේ දන්ත දාතුව මහනුවර පිහිටි දළදා මාළිගාවේ තැන්පත් කොට තිබේ. එය බෞද්ධ ලෝකයා විසින් ඉමහත් ගෞරවාදරයට පාත්‍ර කරන පූජනීය ස්ථානයකි. චිරාගත සම්ප්‍රදායට අනුව දළදා වහන්සේ තැන්පත් කෙරෙන්නේ රජතුමා සිය අගනුවර ලෙස තෝරාගත් නගරයේ වන අතර එම ධාතූන් වහන්සේ තැන්පත් වූයේ රජමාළිගයට සමීප දළදා මැදුරක ය. ලක්දිව ඉතිහාසය අනුව මහනුවර පුරාණ ශ්‍රී ලංකාවේ අන්තිම අගනගරය විය.

කඳු හා වනාන්තරවලින් වට වූ අතර අර්ධ වශයෙන් මහවැලි නදියෙන් ද පරික්ෂිප්ත මෙම නගරය 15 වන සියවසේ සිට 19 වන සියවස තෙක් දිවයිනේ ප්‍රධාන නාගරික කේන්ද්‍රයක් විය.

මෙම නගරය සෞන්දර්යමය වශයෙන් සිත් ඇදගන්නේ එහි ඇති අතීතයේ "කිරි මුහුද" ලෙස හැඳින්වුණු කෘතිම වැව, ඒ අසළ ම පිහිටි රජමාළිගා සංකීර්ණය සහ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පිහිටා තිබීම නිසා ය. මීට අමතරව ප්‍රධාන විහාර සංකීර්ණ දෙකක්, එනම් මල්වත්ත සහ අස්ගිරිය ද මෙහි පිහිටා තිබේ. මෙම නගරය ඒ වෙත කෙටි කලකට හෝ දැකගැන්මට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් විසින් මහත් සේ අගය කරනු ලබන්නකි. ජූලි හෝ අගෝස්තු මස මෙහි පැවැත්වෙන මහා ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග අතර ප්‍රධාන තැනක් ගන්නේය. එය නැරඹීම සඳහා දේශීය මෙන් ම විදේශීය අමුත්තෝ විශාල පිරිසක් මේ නගරයෙහි එක්රොක් වෙති.

රජමාළිගා සංකීර්ණයේ කොටසක් වන"පල්ලෙ මාලය" නමින් හැඳින්වෙන බිසෝවරුන්ගේ නිවහන සංස්කෘතික කෞතුකාගාරයක් ලෙසට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කරයි.

මහනුවරට සමීපයේ පිහිටා ඇති ලංකාතිලකය, ගඩලාදෙණිය විහාර, දෙගල්දොරුව, හිදගල සහ ඇම්බැක්කේ දේවාලය යන පූජනීය ස්ථාන ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන වේ.

IMG 5318

මහනුවර වඩාත් ආකර්ශනීය ස්ථාන

ලංකා තිලක විහාරය

ඇම්බැක්කේ දේවාලය

දළදා මාලිගාව