ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුළ පිහිටි සුවිශේෂී පරිසර කලාපයක රිටිගල පුරාවිද්‍යා පරිශ්‍රය පිහිටා ඇත. සීගිරියට කිලෝමීටර් 40 ක් පමණ දුරකින් පිහිටි, මීටර් 750 ක් පමණ උසකින් යුත් කදු පන්තියක් වන, රිටිගල ජෛව විවිධත්වයෙන් හා විවිධ දේශගුණික ලක්ෂණ සහිත පරිසර පද්ධතියකි. මෙම පරිසර පද්ධතියට අනුගතවෙමින් ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ දී භාවනායෝගී භික්ෂූන් සඳහා ඉදිකරණ ලද ආරාම සංකීර්ණය මෙහි වූ ප්‍රධාන පුරාවිද්‍යාත්මක උරුමය වේ.

රිටිගල දැනට දැකිය හැකි නටඹුන් පළමුවන සේන (ක්‍රි. ව. 831-851) රජු විසින් අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් සකස්කළ බව ලිඛිත මූලාශ්‍ර මගින් තහවුරු වී ඇත. මෙහි සිදු කළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් භාවනායෝගී භික්ෂූණ්වහන්සේලා වැඩ සිටි පධානඝර, ඔවුන් උනුපැන් ස්නානය කළ ජන්ථාඝර, සක්මන් මළු, කැසිකිලි හා පොකූණු හදුනාගෙන ඇත. වර්තමානයේ දී මෙම වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් හොදින් සංරක්ෂණය කොට ඇත. මෙහි වඩාත් සිත්ගන්නා සුළු ඉදිකිරීම් වනුයේ ඝන වනය මැදින් කලූ ගල් පුවරු භාවිතයෙන් නිර්මාණය කොට ඇති මංපෙත් හා ස්වභාවික පිහිටීම් උපයෝගී කොට ගනිමින් ඉදිකර ඇති පධානඝරයන්ය. මීට අමතරව ක්‍රි. පූ. 3-2 පමණ සියවස්වල භික්ෂූන් වාසය කළ ලෙන් කිහිපයක් ද මෙහි දක්නට හැකිය.

අනුරාධපුරය මහාවිහාර ව්‍යාපෘතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රිටිගල 2016 වර්ෂයේ දී උරුම කළමනාකරණ කටයුතු ආරම්භ කරන ලදී. ඒ යටතේ මෙහි වූ වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි සංරක්ෂණ කටයුතු මෙන්ම මෙම ස්ථානය සංචාරකයින්ට නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු ආරම්භ කර ඇත.

ritigala