සීගිරිය යන්නෙහි අර්ථය සිංහ පර්වතය යන්න ය. මීට මුල් වූයේ පර්වත බලකොටුවේ පිවිසුම් දොරටුව සිංහයෙකුගේ ස්වරූපයෙන් ඉදිකොට තිබීම ය. එම රූපයේ නටබුන් තවමත් මාළිගාවට නගින පඩිපෙළ පාදමේ දෙපැත්තේ ඇති යෝධ සිංහ පාදයන්ගෙන් පෙනේ. එය සැබවින් ම මාළිගාවක් වූයේ දශක එකහමාරක පමණ කාලයක සීගිරිය ශ්‍රී ලංකාවේ දේශපාලන කේන්ද්‍රය ලෙස භාවිත වූ බැවිනි. දකුණු හා අග්නිදිග ආසියාවේ ඇති පළමු සහස්‍රයට අයත් සැලසුම් වූ නගර අතුරෙන් හොඳින් ම සංරක්ණෂය වී ඇති ස්ථානය සමහරවිට සීගිරිය විය හැකි ය. සීගිරිය ආසියාවේ නගර නිර්මාණයෙහි සුවිශේෂ ස්ථානයක් ගන්නේ එහි චිත්තාකර්ෂණීය වටපිටාව, නිර්මාණාත්මක සැලැස්ම, සංරක්ෂිත තත්ත්වය ආදිය ඇතුළත් හේතු ගණනාවක් නිසා ය. සීගිරියේ නාගරික ස්වරූපය කේන්ද්‍රීය වටපිටා ගණනාවක් එක්කොට තැනුණක් වන අතර සමස්ත වශයෙන් පිටත දිය අගල (මෙය තවම සම්පූර්ණයෙන් හෙළිදරව් කරගෙන නැත) විසින් කොටු වූ විශාල ආයතාශ්‍රයක් ලෙස සැලසුම් විය. මෙම භූ දර්ශනය සැලසුම් වූයේ උත්තුංග වූ සීගිරි පර්වතය මැදි කරගෙන ය. ජ්‍යාමිතික වශයෙන් ආයතාශ්‍රාකාර වූ නගර සැලැස්ම දිගින් නැගෙනහිර සිට බටහිරට කි.මී. 3ක් පමණ ද පළලින් උතුරේ සිට දකුණට කි.මී. 1ක් පමණ ද වේ.

සීගිරියට එන බොහෝ දෙනා විශ්වාස කරන්නේ එහි ඇත්තේ කාශ්‍යප අවධියට (එනම් ව්‍ය. ව. 5 වන සියවසට) අයත් ඉදිකිරීම් පමණක් කියා ය. එහෙත් පුරාවිද්‍යාත්මක සාධක මගින් ඔප්පු වන්නේ සීගිරියට කාශ්‍යප අවධියට පෙර හා එම අවධියට පසු යුග කිහිපයක් ඇති බවය.

Lion-Staircase--2

සීගිරියේ වඩාත් ආකර්ශනීය ස්ථාන

කැටපත් පවුර

×

Mirror-wall--1Mirror wall

කැටපත් පවුර පිහිටා ඇත්තේ මාලක උද්‍යානයේ ඉහළ ම මාලය ස්ථානයේ ය. එයට පැමිණීමට පියගැට පෙළ ගණනාවකින් නැග ආ යුතු ය. දිලිසෙන මතුපිටක් සහිත ව නිර්මිත කැටපත් පවුර වාස්තු විද්‍යාත්මක විශිෂ්ට ඉදිකිරීමක් වනවා පමණක් නොව එහි අති විශිෂ්ට සම්භාව්‍ය සාහිත්‍යයක් ගැබ් වූවක් ලෙස හඳුනාගත හැකිය. සීගිරි ලලනාවන්ගේ රූප සෞන්දර්යය නිසා මෙන් ම සීගිරියේ පරිසරය විසින් ජනිත කරන කලා රසඥතාව විසින් මොළනව ලද චිත්තාවේගයන් කවියට නගා කුරුටු ගී ලෙස මෙම කැටපත් පවුර මත සටහන් කළ සුවිසල් සාහිත්‍යය තුළින් ඉතිහාසය, සමාජය, ආර්ථීකය ආදී විවිධ දේ පිළිබඳ තොරතුරු ලැබේ. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් එම කුරුටු ගී අතුරෙන් 685ක් කියවා ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

සිතුවම්

×

Paintings--1සිතුවම්

සීගිරි ගීවලින් පෙනෙන පරිදි පර්වතයේ බටහිර මූණත කාශ්‍යප අවධියේ දී සිතුවම්වලින් වැසී තිබුණි. දැනට පර්වත මූණතේ ඇති ගුහාවක අප්සරා රූප හෝ රාජ අන්තඃපුරය හා සම්බන්ධ යැයි අනුමාන කෙරෙන ලලනා රූප කීපයක් ඉතිරි වී තිබේ. මෙම අප්සරාවෝ වළාකුළු මත සැරිසරන විලාසයක් දක්වති. නොඑසේ නම් ඒ රාජ ගෘහයට අයත් කාන්තාවන් නම් මල් අතින් හෝ මල් වට්ටිවල දරාගෙන අවට පිහිටා ඇති පිදුරංගල විහාරය වෙත යන්නාහු යැයි අනුමාන කළ හැකි ය. රූප ඇඳීමේ දී යෙදී ඇති පුළුල් ව ගසා ඇති තෙලිතුඩු පහර පෙන්නුම් කරන්නේ ඒ අවධියේ පැවති අසහාය සිතුවම් තාක්ෂණයකි. මෙම සිතුවම් ඇතැම් ලකුණු අනුව ඉන්දියාවේ අජන්තා සිතුවම් හා සමාන වේ.

සිංහ සෝපානය

×

Lion-Staircase--2සිංහ සෝපානය

සිංහ පාද මාලකයේ සිට පර්වත මුදුනේ වූ රාජ මාළිගාව වෙත වූ එක ම ප්‍රවේශය වැටී තිබුණේ සිංහ රූප ද්වාරය තුළිනි. එම සිංහ පාද ගඩොලින් තනා බදාමයෙන් කපරාරු කර තිබුණි. එම ද්වාරයෙහි වූ යෝධ සිංහ රූපයෙන් අද ඉතිරි ව ඇත්තේ එහි ඉදිරි දෙපා පමණි. සිංහ පාද පිහිටා ඇත්තේ මද වශයෙන් බොරදම් යෙදූ වේදිකාවක් මත ය. සැබෑ සිංහයෙකු හා සමාන සිංහ හිසක් අවශ්‍ය පරිමාණයට ගොඩනගා තිඛෙන්නට ඇත ශේෂ වී ඇති සාධක අනුව පෙනෙන්නේ මෙහි සිංහයෙකුගේ විවෘත වූ හනු නිරූපිත ව පැවති බව ය. එසේ මාළිගා ප්‍රවේශය සිංහයෙකුගේ රූපයෙන් නිශ්චිත ව තිබූ හෙයින් මෙම ස්ථානයට "සිංහ ගිර" යන නම යෙදෙන්නට ඇති බවත් එම වචනය කල් යෑමේ දී "සීගිරිය" බවට පරිණාමය වූ බවත් සිතිය හැකි ය.

රාජ මාළිගය

×

Royal-Palace-2රාජ මාළිගය

පර්වත මුදුන හෙක්ටයාර් 1.5ක් පමණ වපසරිය තුළ රාජ මාළිගාව පිහිටා ඇත. එය නගර කේන්ද්‍රයේ මධ්‍යම ස්ථානය විය. මාළිගා සංකීර්ණය පුළුල් වශයෙන් කොටස් තුනකට ඛෙදා දැක්විය හැකි ය. එනම් පහළ මාලිගාව, උඩ මාළිගාව සහ මාළිගා උද්‍යානය යනුවෙනි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක පෙන්වා දෙන්නේ පර්වත මස්තකයෙහි වූ මාළිගාව සහ සිංහ රූපය අවට පිහිටා ඇති භූ දර්ශනය මත සිය ආධිපත්‍යය පතුරුවා හැරියේ සමස්ත භූමිය පුරා ම තත්‍ය හා සංකේතමත් රාජ්‍ය බලය පතුරුවා හරින කේන්ද්‍රස්ථානය විලසින් බව ය.

ජල උද්‍යානය

×

Water-Garden--2ජල උද්‍යානය

සීගිරි භූමිය වෙත එහි බටහිර ද්වාරයෙන් ඇතුළු වන විට පා තැඛෙන්නේ ජල උද්‍යානය යනුවෙන් නම් කර ඇති කොටසට ය. දළ වශයෙන් අක්කර 12ක් පමණ වූ මෙම ප්‍රදේශය ඉතා පැහැදිලිව දිස්වන ජ්‍යාමිතික සමතුලිතතාවකින් යුක්ත ව සැලසුම් කර තිබේ. මෙහි පළල් බැම්මකින් කුඩා ජල උද්‍යානය ප්‍රධාන ජල උද්‍යානයෙන් වෙන් කර තිබේ. බටහිර දොරටුවෙන් මෙහි ප්‍රවේශ වත් ම දිස් වන්නේ ක්ෂද්‍ර ජල උද්‍යානයවන අතර ඉන් ඉක්බිති කොටස ස්වරූපය දරන පොකුණු හතරකින් සමන්විත ජල උද්‍යනය වේ. මෙය ඉතා රමණීය දර්ශනයකි. එසේ ම තවත් ඇස ගැටෙන දර්ශනයක් නම් මේ පොකුණුවලින් වැඩි ඈතක නොවූ ගැඹුරු ජලාශයයි. ඒවා එම පොකුණුවලට භාවිත කිරීම සඳහා ජලය එක්රැස් කළ තැන් විය හැකි ය. ඉන් ඉහළ කොටසෙහි ජලමල් උද්‍යානය දක්නට හැකිය. මෙහි අතීතයේ ක්‍රියාත්මක වූ ජලමල් දෙකක් දක්නට හැකි අතර වර්තමානයේ දී ද වර්ෂා කාලයේ දී එක් ජලමලක් හොදින් ක්‍රියාත්මක වෙයි. මේ පොකුණු මධ්‍යයේ තැනින් තැන ඇති මැදුරු රජතුමා මේ පොකුණුවල සිදු වූ ජල ක්‍රීඩා නැරඹීම සඳහා භාවිත කළ නැරඹුම් මැදිරි විය හැකි ය.

කොටු පවුරු

×

Paintings--1කොටු පවුරු

සීගිරියේ නාගරික අවකාශය උපක්‍රමික ආකාරයෙන් සැලසුම් කොට ඇත්තේ පර්වතයෙහි උතුර සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් යොදවන ලද කොටු පවුරු මඟිනි. මේවා පිටත, මැද හා ඇතුළත පවුරු ලෙස හඳුනාගෙන තිබේ.

දිය අගල

×

Paintings--1දිය අගල

කොටු පවුරු මෙන් ම දිය අගල ද පිහිටුවා තිබුණේ සීගිරි පර්වතය කේන්ද්‍ර කොට ගෙන ය. මෙහි දිය පවුරු පද්ධතිය ද්විත්ත්වාකාර සුවරූපයකින්, එනම් පිටත දිය අගල හා ඇතුළත දිය අගල යනුවෙන් සැලසුම් ව තිබේ. සීගිරිය නගරයට ප්‍රධාන ජල සැපයුම් ප්‍රභවය වන සීගිරි මහ වැව විසින් මෙම දිය අගල් පද්ධතියෙහි ඇති ජලයට තවත් එකතුවක් සපයනු ලැබේ. උතුරට, දකුණට හා බටහිරට ඇති දිය අගල දැනට හෙළි පෙහෙළි කරගෙන තිඛෙන අතර එමඟින් සීගිරි නගර සැලසුම් උපක්‍රමය පැහැදිලි කර ගත හැකි ය. සීගිරියේ දිය අගල්වල සම්පූර්ණ දිග කි.මී. 8කි. පිටත දිය අගල ඇතුළත දිය අගලට වඩා තුන් ගුණයකින් පළල් වන සේ නිර්මිත ය.

බෞද්ධ ආරාමය

×

Paintings--1බෞද්ධ ආරාමය

ශිලා උද්‍යානයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි බෞද්ධාරාම සම්ප්‍රදායන් දෙකක් පැවතී තිබීම ය. එකක් කාශ්‍යප අවධියට පෙරත් අනෙක ඊට පසුවත් විය. ගල් ලෙන් ආවාස සහිත බෞද්ධාරාම සංකීර්ණය සීගිරිය නගර සංකීර්ණයක් බවට පත් වීමට පෙර තිබුණකි. එහි දී භික්ෂූන් වහන්සේලා ලෙන්වල වාසය කළහ. බ්‍රාහ්මී ලිපි සහ පුරාවිද්‍යාත්මක සාධක පෙන්නුම් කරන්නේ ශිලා උද්‍යානයෙහි ලෙන් කුටි 25ක් පැවති බව ය. එහෙත් කාශ්‍යපයන්ගේ බලය පැහැරගත් මොග්ගල්ලානයන්ගේ අවධියෙහි මෙහි ගොඩනැගිලි 18/19ක විහාර සංකීර්ණයක් ඉදි විය. ඔහු විසින් මෙහි ස්තූපයක්, බෝධිඝරයක්, පටිමාඝරයක් හා සන්නිපාත ශාලාවක් ද ගල් ලෙන් හා ගල්පර උපයෝගී කරගෙන ගොඩනගන ලදි.

ශිලා උද්‍යානය

×

Paintings--1ශිලා උද්‍යානය

ශිලා උද්‍යානය කාශ්‍යප රජතුමා විසින් සැලසුම් කර ඇති ආකාරයෙන් එනම් එහි වූ ස්වභාවධර්මයාගේ දායාදයන් භාවිතය සහ භූ දර්ශන නිර්මාණශීලි ව සැලසුම් කිරීමේ කෞශල්‍යය මනාව ප්‍රදර්ශනය වේ. මෙම නයනකාන්ත වූ නාගරික කේස්ද්‍රස්ථානය සැලසුම් කොට ඉදිකිරීමේ දී ඔහු විසින් එම ඥානය ඍජුව ම භාවිතයට ගෙන ඇත. ශිලා උද්‍යානයේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ පවතින පර්වත ස්වරූප හා ලෙන් විලාස භූ දර්ශනය සැලසුම් කිරීමේ දී ඒ අයුරින් ම භාවිතයට ගෙන ඇති ආකාරයයි. එහෙයින් මෙය ස්වභාවධර්මයාගේ ද නිර්මාණයක් ලෙස දිස් වේ.

ගල් ආරුක්කුව

×

Paintings--1ගල් ආරුක්කුව

මෙහි ඇති සිත් ඇදගන්නාසුළු සෞන්දර්යය නිර්මාණයක් වන්නේ අඩිපාර හා සමඟ පිහිටි ගලේ ස්වරූපයත් එකට එක් කර ආරුක්කුවක් ලෙස භාවිතයට ගෙන ඇති ආකාරය ය. වැලි ගලෙන් නිර්මිත පියගැට පෙළක් එකතු කිරීමෙන් ස්ථානයේ සුන්දරත්වය වැඩි දියුණු කර තිබේ. තම නගර සැලසුම් උපක්‍රමයෙහි දී ස්වභාවධර්මයෙන් ලද දායාද මනාව උපයෝගී කර ගැනීමෙහි ලා කාශ්‍යප රජතුමා සතුව තිබුණු කෞශල්‍යය මෙහි දී තවදුරටත් තහවුරු වේ.

නයිපෙණ ගුහාව

×

Paintings--1නයිපෙණ ගුහාව

මෙම ගල් ලෙන පෙනුමෙන් නාගයෙකු සම්පූර්ණයෙන් පෙණය පුම්බාගෙන සිටින විලාසයට සෑදී ඇති බැවින් මෙය නයිපෙණ ගුහාව ලෙස ප්‍රසිද්ධ වී තිබේ. මෙම ගුහාව ඇතුළත සිවිලිමෙහි මත අදින ලද චිත්‍ර දක්නට ලැඛෙන අතර ඒවා සමකාලීන විහාරවල සිවිලිම් චිත්‍ර හා සමාන වේ. මෙම තද පාටින් නිම වූ සිතුවම් ඇතැම්විට සිතුල්පව්වේ මහ ලෙනේ ඇති චිත්‍රවලට සමාන බවත් පස් වන හෝ හය වන සියවසට පමණ අයත් යැයි කිව හැකි බවත් පෙනේ.

මාලක උද්‍යානය

×

Paintings--1මාලක උද්‍යානය

ශිලා උද්‍යානය හා සීගිරි පර්වතය අතර භූමිය පුළුල් ව නිර්මිත මාලකවලින් යුක්ත වන අතර එම මාලක දිග ගල් වැටිවලින් සෑදී ඇත. මද වශයෙන් බෑවුම් සහිත බිම් තීරු සහිත මෙම උද්‍යාන කොටසේ අලංකාරය වැඩි දියුණු කරමින් මද බෑවුම් සහිත පියගැට පෙළ පද්ධතියක් එකතු කර තිබේ. මාලක උද්‍යානයේ තැනින් තැන ඇති ගොඩනැගිලිවල පාදම් ම`ගින් කාශ්‍යප රජ දවස මෙම මාලක උද්‍යානය කෙතරම් මනස්කාන්ත ලෙස සැලසුම් වී තිබුණිදැයි සිතාගත හැකි ය. මෙහි ඇති පියගැටපෙළ පද්ධතිය මද බෑවුමකින් යුතු ව සැලසුම්කොට ඇත්තේ කන්ද ඉහළට නැගීම පහසු කිරීමේ අරමුණෙනි. ශිලා උද්‍යානයේ සිට සිංහමුඛ ද්වාරය මළුව වෙත යන නැගීම මෙම මාලක උද්‍යානය විලාසයෙන් සැලසුම් කොට තිබුණු බව පෙනේ.