ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටි ප්‍රධාන පුරාවිද්‍යාත්මක උරුම භූමියක් ලෙස, ස්වභාවික පර්වතයක් වූ යාපහුව සැලකිය හැකිය. යාපහුව පර්වතයේ නැගෙනහිර බෑවුමේ සිදුකරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ (අදින් වසර 5000 ට පමණ පෙර) සිටම මෙහි මානව ක්‍රියාකාරකම් පැවති බව අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම ක්‍රි. පූ 3 වන සියවසේ සිට බෞද්ධ ආරාමික මධ්‍යස්ථානයක් වශයෙන් යාපහුව ක්‍රියාත්මක වූ බව පර්වතය වටා ඇති කටාරම් කොටන ලද ගල්ලෙන් සහ ක්‍රි. පූ තුන්වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී ලිපි මඟින් තහවුරු වේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ යාපහුව වඩාත් වැදගත් වන්නේ ක්‍රි. ව. 1215 කාලිංග මාඝගේ ආක්‍රමණයත් සමගය. යාපහුව ප්‍රාදේශික වශයෙන් ආරක්ෂිත මධ්‍යස්ථානයක් වශයෙන් ගොඩ නගා ගැනීමේ සිට දිවයිනේ සිව්වන රාජධානිය වශයෙන් පළමු වන භුවනෙකබාහු විසින් (ක්‍රි. ව 1272-1284) බලකොටු නගරයක් වශයෙන් යාපහුව ගොඩනගා ගන්නා ලදී. මේ අනුව බලකොටු නගරයකට අවශ්‍ය ආකාරයෙන් සංවිධානගත වූ ආරක්ෂිත විවිධ ක්‍රමයන්ගෙන් යුක්තව ගොඩනගන ලද නගරයක් බව පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් තහවුරු කොට ඇත.

යාපහුවෙහි වඩාත් වැදගත් හා කලාත්මක ඉදිකිරීම වනුයේ විසිතුරු සෝපානය සහිත ද්වාර මණ්ඩපයයි. සීග්‍ර බෑවුමෙහි ගල් පතුරුවලින් ඉදිකර ඇති මෙම සෝපාන පත්තිය අවසන් වන්නේ අලංකාර ශිලාමය කැටයම්වලින් යුක්ත දළදා මාළිගාවේ ද්වාර මණ්ඩපයෙනි.

2011 වර්ෂයේ වයඹ සංස්කෘතික ත්‍රිකෝණය යටතේ යාපහුවෙහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ හා උරුම කළමනාකරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කරන ලදී. ඒ යටතේ යාපහුව කේන්ද්‍රකරගෙන අවට පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයකම පුරවිද්‍යාත්මක කැණීම්, වාස්තුවිද්‍යාත්මක සංරක‍ෂණ හා බිතුසිතුවම් සංරක‍ෂණ කටයුතු සිදු කරනු ලබයි.

Yapahuwa-3

යාපහුව ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකවන පුරවිද්‍යාත්මක වැඩ බිම්

×

නාගොල්ල පුරාවිද්‍යා ක්ෂේත්‍රය

අනුරාධපුර යුගය නියොජනය කරනු ලබන පුරාවිද්‍යාත්මක සාදක සහිත ස්ථානයක් වශයෙන් නාගොල්ල පුරාවිද්‍යා ස්ථානය සැලකිය හැකිය. මූලික වශයෙන් බෞද්ධ සංඝාරාමයක භික්ෂූන්ගේ ප්‍රත්‍ය පහසුව සඳහා ඉදිකරන ලද පධානඝරයක් සහ ඡන්තාඝරයක්මෙහි පවතින අතර, අදවන විට ඡන්තාඝරයේ සංරක‍ෂණ කටයුතු සිදුකර ඇත.
 
×

ගුරුගොඩ පුරාවිද්‍යා ක්ෂේත්‍රය

ස්තූප භූමියේ තිබී හමුවූ ශිලාලේඛනයක් ඇසුරින් ස්ථානීය නාමය සහ ස්තූපය පූජාකිරීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් අනාවරණය කරගත හැකි වේ.ක්ෂේත්‍රයේ විසිරී පවතින පුරාවිද්‍යාත්මක අවශේෂයන් ඇසුරින් පූර්ව ඓතිහාසික යුගයේ සිට අනුරාධපුර, පොළොන්නරු අවධිය තෙක් ම සාධකයන් නියෝජනය කරන බව සනාථ වේ. යාපහුව ව්‍යාපෘතිය මගින් මෙම ස්තූපය සංරක‍ෂණයට ලක්කරමින් පවතී.