මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පරිපාලනය වන සීගිරි කෞතුකාගාරය ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. මෙම කෞතුකාගාරය සීගිරියේ සංස්කෘතික, තාක්ෂණික හා පුරාවිද්‍යාත්මක අගය මනාව පිළිබිඹු කරයි. ප්‍රසිද්ධ යුනෙස්කෝ ලෝක උරුමය ස්ථානයක් වන සීගිරියෙහි කරන ලද දශක තුනක ගවේෂණවල ප්‍රතිඵල මෙහි දක්නට පුළුවන්.

සීගිරි කෞතුකාගාරයේ සැලැස්ම සීගිරියේ සෞන්දර්යාත්මක සැලැස්ම මගින් ම ජනිත කරන ලද සංකල්පයකි. අති දක්ෂ ලෙස ජලය හා වෘක්ෂලතා භාවිත කරමින් නිර්මිත හරිත මන්දිරයක විලාසය ගත් එය ජනිත කරන්නේ මනරංජණීය අත්දැකීමකි. තවද එහි මහල් නිර්මාණය කොට ඇත්තේ එහි පුළුල් පියගැට පෙළ නිමවා ඇත්තේ සීගිරි පර්වතයට නැගීම සිහිගන්වන විලාසයෙනි.

සීගිරිය කෞතුකාගාරයේ පිවිසුම ගඩොළුමුවා උමගක ස්වරූපයෙන් තනා ඇත්තේ සීගිරි බළකොටුවේ ආරුක්කු මාර්ගය සිහිගන්වමිනි. කෞතුකාගාරය ඇතුළත සීගිරියේ කැණීම්වලින් ලැබුණු දේ, එනම් මානව ඇටසැකිල්ලක්, විවිධ මෙවලම්, ආභරණ, ප්‍රතිමා සහ තවත් බොහෝ දේ දැකගත හැකි ය. ඒවා හඳුනාගැනීමට කිසිවෙකුගේ උපකාරය අවශ්‍ය නොවන්නේ ප්‍රදර්ශන කුටි සිතුවම්, ඡායාරූප හා විස්තර පත්‍රිකා යනාදියෙන් ආඪ්‍යව ඇති බැවිනි. මෙහි දක්නා ලැඛෙන වැදගත් භාණ්ඩ අතර යකඩ නිස්සාරණ උදුන සහ දම් පාට මැණිකක් එබ්බ වූ රන් කර්ණාභරණයක්ද වේ.

ඡායාරූප කෞතුකාගාරය

පහත මාලයේ ඇති ප්‍රථම ප්‍රදර්ශන ශාලාව ප්‍රදර්ශන අවකාශ කීපයකින් සමන්විත ය. එයට කාලක්‍රමානුකූල මෙන් ම තේමානුකූල කොටස් 12ක් අයත් ය  :

ප්‍රදර්ශන කුටි 01 :

ප්‍රාග් ඓතිහාසික හා මුල් ඓතිහාසික පරිවර්තනය : මීට සීගිරියේ හා අවට ප්‍රදේශයෙහි ප්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික අවධියේ පරිවර්තනය, භූගර්භ විද්‍යාව, පුරාවිද්‍යාව සම්බන්ධ යුග නිර්ණය සීගිරිය සහ අවට ප්‍රදේශයේ යකඩ නිර්මාණ තාක්ෂණයත් නිරූපිත ය.

ප්‍රදර්ශන කුටි 02 : මුල්කාලීන හා පසුකාලීන බෞද්ධ ආරාම : සීගිරි සංකීර්ණයෙහි සහ අවට ප්‍රදේශයේ මුල්කාලීන හා පසුකාලීන බෞද්ධ විහාරාරාම නිරූපිත ය. මුල්කාලීන බෞද්ධ විහාරය ක්‍රි.පූ. 3 වන සියවස හා ක්‍රි.ව. 1 සියවස අතර ඉදි විය.
ප්‍රදර්ශන කුටි 03 : රාජකීය නගරය හා සීගිරියේ ස්වර්ණමය යුගය : මෙම ප්‍රදර්ශන කුටියෙහි කාශ්‍යප රජු පිළිබඳ කතාව, නාගරීකරණය සහ 5 වන සියවසේ තිබුණු උද්‍යාන සැලැස්ම ඉදිරිපත් කෙරේ. කාශ්‍යප රාජ අවධිය වූ ක්‍රි.ව. 477 - 495 අතර කාලය නගර සැලැස්ම හා වාස්තු විද්‍යාත්මක කාර්යය සාධනය නිසා සීගිරියේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. සීගිරියේ රාජකීය නගරය තුළ කොටු පවුරු, දිය අගල්, ප්‍රවේශක ද්වාර, ජල සම්පාදන විධි, උද්‍යානය, කැටපත් පවුර, සිතුවම් සිංහ සෝපානය සහ පර්වත මුදුනේ වූ මාළිගය සහ වෙනත් වාස්තු විද්‍යාත්මක නෂ්ටාවශේෂ ඇතුළත් ය.
ප්‍රදර්ශන කුටි 04 : සිතුවම්, කාව්‍ය නිර්මාණ හා මූර්ති : මෙම කුටියෙහි සීගිරි සිතුවම්, කුරුටු ගී සහ මැටි රූප ප්‍රදර්ශිත ය. මෙහි බටහිර පර්වත මූණතේ සහ ගල්පර උද්‍යානයෙන් ලැබුණු සිතියම් සමහරක පිටපත් ප්‍රදර්ශනය වේ. මෙම කුරුටු ගීවලින් බොහොමයක් සීගිරියට 6-10 සියවස් අතර කාලයේ පැමිණි සංචාරකයන් විසින් ප්‍රබන්ධ කළ ඒවා ය. මැටි රූප ශිලා උද්‍යානයේ කැණීම්වලින් ලැබුණු ඒවා වන අතර 7, 8, 10 සියවස්වලට අයත් වේ.
ප්‍රදර්ශන කුටි 05 : රාජසභා ජීවිතය, ආරාම කටයුතු සහ විදේශ වෙළඳාම : රාජසභා, විහාරාරාම ජීවිත හා විදේශ වෙළඳාම මෙම කුටියේ ප්‍රදර්ශිත ය. සීගිරියෙන් ලැබුණු මැටි භාණ්ඩ, කාසි සහ රාජසභා ජීවිතය හා සම්බන්ධ භාණ්ඩ ක්‍රි.ව. 5-10 සියවස් කාලයට අයත් ය. නැගෙනහිර හා බටහිර රටවලින් එනම්, ඉන්දියාව, චීනය, මැදපෙරදිග හා රෝමය යන රටවලින් ගෙන ආ පිඟන් භාණ්ඩ, කාසි, ප්‍රතිමා ආදිය මෙහි දක්නට ඇත.
ප්‍රදර්ශන කුටි 06 : "සැඟවුණු සියවස්" සීගිරියේ ඉතිහාසය හා පුරාවිද්‍යාව : මෙම කුටියෙහි දැක්වෙන්නේ සීගිරියේ පුරාවිද්‍යාවේ ඉතිහාසය ය. "සැඟවුණු සියවස්" සහ අනාගත පර්යේෂණ ගැන මෙහි සඳහන් ය. මෙහි ක්‍රි.ව.1890 - 2000 කාලය තුළ සීගිරියේ නූතන ඉතිහාසය දැක් වේ. සීගිරියේ පුළුල් වූ ද බහුවිෂයික වූ ද ගවේෂණ ඇරඹුණු අයුරු මෙහි පෙන්නුම් කෙරේ.
සිතුවම් කුටිය : සීගිරියේ බිතුසිතුවම් ලෙණේ ආකෘතියක් වන මෙහි චිත්‍රවල අනුරූ ප්‍රදර්ශිත ය.

විවෘත වේලාව

සෑම දිනක ම උදේ 8 සිට සවස 5 තෙක්

අමුත්තන් සඳහා ක්‍රියාකාරකම්

  • සංස්කෘතික සංදර්ශන

මෙම කෞතුකාගාරය විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය පෙන්නුම් කරන මාසික සන්දර්ශන කීපයක් සංවිධානය කර තිබේ. ඒ අතර සාම්ප්‍රදායික නැටුම් හා නාට්‍ය සංදර්ශන ඇතුළත් වේ. මෙම සන්දර්ශන පැවැත්වෙන්නේ සීගිරියේ ඇති එළිමහන් රඟමඩලේ ය. මේ සන්දර්ශනය බැහැරින් එන සංචාරකයන් අතර මෙන් ම සීගිරිය අවට ගම්වාසී ජනතාව අතර ද ජනප්‍රිය ය.

  • ළමුන් සඳහා වූ ක්‍රියාකාරකම් 
  • තාවකාලික ව පැවැත්වෙන ප්‍රදර්ශන

සංචාරකයන් සඳහා පහසුකම්

  • සංචාරකයන් සඳහා තොරතුරු මධ්‍යස්ථානය
  • වැසිකිළි පහසුකම්
  • කෞතුකාගාරය තුළ තොරතුරු සපයන නිලධාරීන්ගේ උපකාරය
  • පොත් හළ හා සිහිවටන වෙළඳසැල

කෞතුකාගාර ප්‍රවේශ ගාස්තු

සීගිරිය පර්වත බළකොටුවට ඇතුළත්වීම සඳහා මිළට ගන්නා ප්‍රවේශපත්‍රයට කෞතුකාගාර ප්‍රවේශය ද ඇතුළත් ය.

විදේශීය සංචාරකයන්ට පුරාවිද්‍යා ස්ථාන හා කෞතුකාගාරයට ප්‍රවේශපත්‍රය

වැඩිහිටියන් සඳහා ළමුන් සඳහා කෞතුකාගාරය පමණක්
ඇ.ඩො.30 ඇ.ඩො.12.5 ඇ.ඩො.5

ඡායාරූප ගැලරිය