WhatsApp Image 2021 01 03 at 150918 1

2021 ජනවාරි 21 දින සිට ගුවන්තොටුපල විවෘත කිරීමත් සමඟම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සදහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් පාලනය වන, සිගිරිය, අනුරාධපුර, පොලොන්නරුව ඇතුළු සංස්කෘතික උරුම සහිත ස්ථාන විවෘත වන අතරම,සියලුම සංචාරකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමත්‍යංශයේ නිර්දේශිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රම සහ විධි විධාන අනුගමනය කරමින් සියලු ස්ථාන සංචාරකයන් හට විවෘත කිරීමට කටයුතු සලසා ඇත.

https://www.youtube.com/watch?v=VGVLuRNlk-E

WhatsApp Image 2021 01 03 at 150915WhatsApp Image 2021 01 03 at 150916WhatsApp Image 2021 01 03 at 150917WhatsApp Image 2021 01 03 at 150918

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව උතුරු නැගෙනහිර පුරාවස්තු පුරාවිද්‍යා සිද්ධස්ථාන ආරක්ෂා කොට සංරක්ෂණය කර මතු පරපුරට දායාද කරලීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක ජාතික වැඩ පිළිවෙළට මුල පුරමින් කුරුන්දවාශෝක නොහොත් කුරින්දි විහාර පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් කටයුතු 2021/01/18 දින ආරම්භ කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව උතුරු නැගෙනහිර පුරාවස්තු ,පුරාවිද්‍යා සිද්ධස්ථාන සංරක්ෂණය කර ආරක්ෂා කොට මතු පරපුරට දායාද කරලීමේ අභිලාෂයෙන් විෂයභාර අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ස්ථානය පිළිබඳව නිරීක්ෂණය කොට කැණීම් කටයුතු ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවයට විපස්සනා ජාත්‍යන්තර භාවනාමධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්‍ය විද්‍යා වේදී පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප නාහිමිපාණන් වහන්සේ,ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් දේශබන්දු මහාචාර්‍ය කපිල ගුණවර්ධන මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය පුරාවිද්‍යාඥ අනුර මනතුංග මහතා , මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා , මුලතිව් දිසාපති කේ. විමලානන්දන් මහතා , ආරක්ෂක සේනා මූලස්ථානයේ මුලතිව් ආඥාපති මේජර් ජනරාල් ජගත් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා , පොලිස් නිලධාරීන් , පුරාවිද්‍යා සංරක්ෂණ නිලධාරීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විය.

මුලතිව් සිට කි.මි.12ක් යනවිට අලම්පිල් හන්දිය හමුවේ. එම හන්දියෙන් දකුණට තන්නිමුරුප්පු කොමලමුණේ මාර්ගයේ කි.මි. 16ක් ගියවිට මෙම කුරුන්දවාශෝක පුරාවිද්‍යා ස්ථානය හමුවේ .මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව එම පූජා භූමියේ සංරක්ෂණ කටයුතු සිදුකරයි.

අට්ඨකථාවන්හි හා වංශකථාවන්හි සඳහන් වන 'කුරුන්දක', 'කුරුන්ද' යන නාමයන්ගෙන් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයයි.ඛල්ලාටනාග රජු (ක්‍රි.ව. 100 - 103) 'කුරුඥ පාසක' නම් මෙම විහාරය ගොඩනැගූ බවත්,(ම.ව. 33 පරි, 32 පෙළ) , පළමුවන අග්බෝ (ක්‍රි.ව. 571 - 604) රජු කරුන්ද විහාරය පිළිසකර කර කුරුන්ද වාපි නමින් වැවක්ද , පොල් උයනක්ද කරවීය. (ම.ව, 41 පරි, 16 පෙළ) , පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) රජුද කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහයන් දැක්වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ. දෙවන පැරකුම්බා රජු (ක්‍රි.ව. 1236-1270) විසින් විනාශ කළ කාලිංග මාඝගේ බල කඳවුරක් කුරුන්දියෙහි වූ බවද වංශකථාවල සඳහන්‍ ය. බුදුන්වහන්සේගේ දෙවන ලංකාගමනයේදී මෙම ස්ථානයට උන් වහන්සේ වැඩි බවට ජනප්‍රවාදයේ සඳහන්ය, කුරුදවාශෝක විහාරයේ ශිලා ලේඛණයක් තිබූ බව 1905 පුරාවිද්‍යා පාලන වාර්ථාවේ සඳහන් වේ (ASCAR, 1905). තුන්වන මිහිඳු රජු මෙම ලිපිය කරවා ඇත .මෙකී ප්‍රදේශය 'කුරුන්ගම' යනුවෙන්ද හඳුන්වා ඇත. වැවේ දිය ආරවුලක් සංසිඳුවීම පිණිස බිසව හා දියණිය සමඟ පැමිණි රජු තමා විසින්ම සෙල් ලිපිය කොටා ඇති අතර එහි අකුරු වැරදි ආදිය ඇතත් ඒවා නිවැරදි නොකරන ලෙසට නියෝග කර තිබූ බව පාලන වාර්තාවේ සඳහන් වේ. වර්තමානයේ මෙම සෙල් ලිපිය හෝ එය පිහිටි ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවේ.

මෙම ස්ථානය ස්වාභාවික උස් බිම ස්තර කිහිපයක් සේ සකසා ඇති ආකාරය ශේෂ වී ඇති ප්‍රාකාර බැමිවලින් පැහැදිලි වේ. අඩි 140ක විෂ්කම්භයකින් ද අඩි 21ක උසකින්ද යුතු කබොක් ගල් වලින් නිර්මිත ස්ථූපයක් මෙහි පිහිටා ඇත. මුල් ඓතිහාසික යුගයට අයත් කැටයම් සහිත සඳකඩපහන්, කොරවක්ගල් , ගල්කණු සහිත ගොඩනැගිලි සාධක හා ගොඩනැගිලි බොරදම් මෙහි දැකිය හැකිය. ආරාම සංකීර්ණයේ දකුණට වන්නට විශාල පොකුණක් දැකිය හැකිය.මෙම ප්‍රදේශයේ බහුල වශයෙන් හමුවන ඉදිකිරීම් අමුද්‍රව්‍යක් වන කබොක් ගලින් මෙහි ප්‍රාකාර බැමි ඉදිකර ඇත.

මෙම කුරුඳුමලය කන්දේ උඩ පිහිටි තැනිතලා භූමියේ ඉදිකර ඇති වාස්තුවිද්‍යා ඉදිකිරීම් පිළිබඳව දීර්ඝ විස්තරයක් යටත් විජිත යුගයේ සිවිල් නිලධාරීන්ගේ වාර්තාවල සඳහන්ව ඇත .එවකට සිවිල් නිලධාරියෙකුව සිටි ජේ.පී. ලෙවිස් මහතා විසින් 'කුරුන්තන්ඌර්මලේ' නම් මෙම ආරාමික නටබුන් ස්ථානය පිළිබඳ හෙන්රි පාකර්ගේ 1886 වාර්ගික වාර්තා උපුටා දක්වමින් මෙසේ සටහන් කර ඇත(Parker H,1886,p.454) (Lewis J.P., 1993,p.311). 

මෙම ස්ථානයේ ඇති කුරුඳු වැවට පහළින් ඇති තවත් ආරමික නටබුන් සහිත ස්ථානයක් වේ.ශිලා කුලුණු සහිත නටබුන් ගොඩැලි,මුරගල් සහිත ස්ථාන,ස්ථූප ගොඩැලි සහිත ස්ථාන හමුවේ.මෙම ස්ථානයෙන් හමුව ඇති 4වන උදය රජුට(ක්‍රි.ව. 946-954) අයත් සෙල් ලිපියක් හමුව ඇත, එහි අභයගිරි ආරාමයට අනුබද්ධ සිරිසඟබෝ රජමහ විහාරය නම් ආරාමයක් සම්බන්ධයෙන් සහ ඊට කළ පුද සිරිත් පිළිබඳවත්,භික්ෂූන් වහන්සේලාගේ පොදු කැමැත්තෙන් තුන් නිකායවල් සමඟි කිරීම සම්බන්ධ කතිකාවතක් සහ අභයගිරි විහාරයේ සේවයේ නියතු නිලධාරීන් විසින් මෙම ස්ථානයේ ඇති පධානඝරයට සහ පිළිමගෙයට දෙන ලද දීමනා සම්බන්ධව සඳහන්ව ඇත.මෑතක මෙම ස්ථානයේ සිදුකල ගවේෂණයකින් එම ලිපියේ තවත් විශාල කොටසක් පොළවට යටව තිබී සොයාගැනීමට හැකි විය . 

1933 මැයි 12 දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙම ස්ථාන ඇතුලත්ව අක්කර 78ක භූමි කොටසක් මැන ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එම සීමා මායිම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෑතක පාදා ගන්නා ලද අතර අවට නටබුන් විසිර පවතින ප්‍රදේශයද එක් වූ විට මෙම පරිශ්‍රය අක්කර 300ක් පමණ විශාල වේ.

 

 

   

කොවිඩ් වසංගත ව්‍යාප්තියෙන් පසු විදේශිකයන් වෙනුවෙන් රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුවට පැමිණි පළමු විදේශීය සංචාරක කණ්ඩායම අද දින (2021/01/19) පොළොන්නරුවේ මාලිගා පරිශ්‍රය, දළදා චතුරස්‍රය, රන්කොත් වෙහෙර, ගල් විහාර පුද බිම හා තිවංක පිළිම ගෙය ආදි ප්‍රධාන ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන ලදි.

යුක්‍රේන ජාතික මෙම කණ්ඩායම පැමිණීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට යටත්ව ක්‍රමවත් වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගල් විහාර පොලිස් ස්ථානය සහ පොළොන්නරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මෙම කාර්‍යය සදහා දායකත්වය ලබා දුනි.

ව්‍යාපෘති කාර්යය මණ්ඩලය ද නියමිත සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කල අතර, පැමිණි පළමු විදේශීය සංචාරකයින් වෙනුවෙන් සාර්ථක ගමනාන්තයක් ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව ව්‍යාපෘති කළමනාකාරීත්වයට හැකිවිය.

 

 

කොවිඩ් වසංගත ව්‍යාප්තියෙන් පසු විදේශිකයන් වෙනුවෙන් රට විවෘත කළ අවස්ථාවේ මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් 45කින් යුත් කණ්ඩායමක් පසුගිය 18 දා සීගිරිය නැරඹීමට පැමිණියහ.

ඒ වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය ව්‍යාපෘතිය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට යටත්ව උඩරට නර්ථන කණ්ඩායමක්ද සම්බන්ධ කරගනිමින් සංචාරකයින් පිළිගැනීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායමද ක්‍රමවත්ව ආරක්ෂිත ඇඳුම්වලින් සැරසී මෙම පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කළහ.

මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, සීගිරිය පොලිස් ස්ථානය, දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සීගිරිය පුරාවිද්‍යා කලාප කාර්යාලය මෙම කාර්‍යය සදහා දායකත්වය ලබා දුනි.

සීගිරියට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායම, සීගිරි ජල උද්‍යානය හා සීගිරි උද්‍යානයද නැරඹීය. සීගිරි පව්ව තරණය කිරීම හා මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි කෞතුකාගාරය නැරඹීමද ඔවුන්ගේ සංචාරයේ අංගයන් විය.

එහිදී ඔවුන්ට සිගිරිය සංස්කෘතික උරුමයෙහි වටිනාකම සහ ඉතිහාසය පිළිබඳ වටිනා තොරතුරු ඇතුළත් අත්පත්‍රිකාවක් සහ සංයුක්ත ඩී.වී.ඩී තැටියක්ද ලබා දුනි.

ව්‍යාපෘති කාර්යය මණ්ඩලය ද නියමිත සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කල අතර, පැමිණි පළමු විදේශීය සංචාරකයින් වෙනුවෙන් සාර්ථක ගමනාන්තයක් ලබාදීමට ව්‍යාපෘති කළමනාකාරීත්වයට හැකිවිය.