මහනුවර දළදා පෙරහැර
per person
පාරම්පරිකව පැවත එන නර්තන, වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍ර වලින් සමන්විත වන පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන උත්සවයක් ලෙස සලකනු ලබයි. ඇසළ පෙරහැර පැරණි ඉන්දියාවේ පැවති ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇති වූවක් ලෙස සලකනු ලබයි. මහනුවර ඇසළ පෙරහැර වර්තමාන මුහුණුවර ගෙන ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි පටන් බව සැලකේ.
වර්තමාන මහනුවර ඇසළ පෙරහැරේ ආරම්භය ක්‍රි.ව 18 වන සියවස මැද භාගයේ දී පමණ සිඳුවන්නට ඇතැයි සැලකේ. පෙරහැරට ඇතුලත් වූයේ නාථ, කතරගම, විෂ්ණු, පත්තිනි යන සතර දේවාලයේ පෙරහැර පමණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එකී සතර පෙරහැරට දළදා මාලිගාවේ පෙරහැරක් ද එක් කිරීම හේතුවෙන් ඇසළ පෙරහැරට බෞද්ධ මුහුණුවරක් ලැබුනු බව සැලකේ.
පැරණි දළදා පෙරහැර සංස්කෘතිකාංග ප්‍රදර්ශනයට වඩා රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථාවක් කරගෙන තිබේ. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ගේ අවසරය පරිදි 1828 මැයි 29 වන දින පැවැත් වූ දළදා පෙරහැර ආරම්භ වී ඇත්තේ යුධ ආචාර මධ්‍යයේය.
පෙරහැර මාසය
පුරාතනයේ සිට පෙරහැර මාසය ලෙස හැඳින්වෙන්නේ ඇසළ මාසයයි. එයට හේතුව වශයෙන් සැළකෙන්නේ ඇසළ මාසයෙහි දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන කිහිපයක් මුල්කර ගනිමින් පෙරහැර පැවැත්වීමයි. මෙසේ පැවැත්වෙන අලංකාර පෙරහැර දේශීය මෙන්ම විදේශිකයන්ගේ ද ආකර්ෂණයට ලක් වන සංස්කෘතිකාංගයක් වේ.
දළදා පෙරහැර චිරාගත සම්ප්‍රදානුකූලව පවත්වන අතර නැකැත් මූලික කරගනිමින් පවත්වනු ලබයි. අදාල නැකැත් පිළියෙල කිරීමේ කාර්යය භාරව සිටින්නේ නැකැත් මෙහොට්ටාලයි.
නුවර පෙරහැර, සෙංකඩගල පෙරහැර, සිරි දළදා පෙරහැර, මහනුවර පෙරහැර, මාලිගා පෙරහැර, කන්ද උඩරට පෙරහැර සහ ඇසළ පෙරහැර යනුවෙන් හඳුන්වන්නේ මෙම මහනුවර දළදා පෙරහැරය. චිරාගත සම්ප්‍රදායට අනුව දළදා පෙරහැර පවත්වා අවසානයේ දිය කැපීම සිඳු කරනු ලබයි. දිය කැපුම මංගල්‍යයෙන් පසු කන්ද උඩරටට අයත් සෙසු විහාර හා දේවාල වල පෙරහැර පැවැත්වීම ආරම්භ කරනු ලබයි.
කප් සිටුවීම
දළදා මාලිගාවේ “නැකැත් මොහොට්ටාල” විසින් නියම කරනු ලබන සුබ මොහොතින් කප් සිටුවීමෙන් පෙරහැර ආරම්භ වේ. කප් සිටුවීම යනු සතර දේවාලයේ පිරිසක් ඇසළ මස අමාවක දිනට දින කිහිපයකට පෙර අලුත්නුවර දේවාල භූමියෙන් හෝ ඊට තදාසන්න උචිත දේවාල බිමකින් වියත් තුනක වට ප්‍රමාණයකින් සමන්විත පල නොදැරී නෑඹුල් කොස් ගසක් තෝරාගෙන එම කොස් ගසට පුද පූජා පවත්වා එහි අරක් ගත් දෙවියෙක් වේ නම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට ගස කපා එහි කඳෙන් රියන බැගින් දිගැති කොටස් හතරක් කපාගෙන දේවාල සතරට බෙදා ගෙන පෙරහැරෙන් ගෙන ගොස් දේවාල භූමියෙහි සිටුවීමයි.
දේවාල පෙරහැර
සතර දේවාලයේ කපුවන් දේවාලයට අයත් රන් ආයුධ කප වටා වැඩම කරවන කුඩ, කොඩි, සේසත්, දවුල්, හොරණෑ සහිත පෙරහැර දේවාල පෙරහැර නමින් හඳුන්වනු ලබයි. මේ සඳහා අලි ඇතුන් හා ශිල්පීන් වස්ත්‍රාභරණයෙන් සැරසීමක් සිඳු නොවේ. දේවාල රාජකාරී සිඳු කරන ඇඳුම්වලින් සැරසී දේවාල පෙරහැරට සහභාගී වේ. තවත් සුවිශේෂී කරුණක් වන්නේ මේ සඳහා බැතිමතුන් සහභාගී කර නොගැනීමයි. මෙම දේවාල පෙරහැර පුරා දින පහක් සිඳුකෙරේ.
කුඹල් පෙරහැර
දේවාල පෙරහැර පවත්වා පස්වන දිනයේ සිව් දේවාලයේ බස්නායක නිලමේවරුන් ඇතුලු නිලධාරීහු රන්සිවි ගෙයක රන් ආයුධ හිඳුවා රන්සිවි ගෙය ඇතු පිට තබා පෙරහැරෙන් පැමිණ දේව සංහිඳේ දී දළදා කරඬුව සහිත රන්සිවි ගෙය වැඩමවන මාලිගයේ ඇතා ප්‍රමුඛ පෙරහැර පෙරටු කරගෙන දින පහක් වීදි සංචාරය කෙරේ. මෙය කුඹල් පෙරහැර නමින් හඳුන්වනු ලබයි.
රන්දෝලි පෙරහැර
පුරා දින පහක් කුඹල් පෙරහැර පැවැත්වීමෙන් පසුව එළඹෙන්නේ රන්දෝලි පෙරහැර වීදි බැසීමයි. සතර දේවාලයන්හි දේවාභරණ වැඩමවන වාහන (රන්දෝලි) කුඹල් පෙරහැරේ පස්වන දිනයේ දී පෙරහැරේ අවසානයට එක්කෙරේ. මෙයද දින පහක් පුරා සිඳු කෙරේ. දළදා පෙරහැරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි මෙම පෙරහැර හේවිසිකරුවන්, හොරණෑකරුවන්, නැට්ටුවන්, අලි ඇතුන් ආදියන්ගෙන් ප්‍රමාණාත්මකව කුඹල් පෙරහැරට වඩා විශාල වන අතර විචිත්‍රවත් භාවයෙන් ද අනූන වේ. අවසාන දින දෙකෙහි මෙම පෙරහැර අතිශය අලංකාරවත්ව පවත්වනු ලබයි. රන්දෝලි පෙරහැර යනුවෙන් මෙය හඳුන්වනු ලබන්නේ මහනුවර රජ සමයේ රජුගේ අගමෙහෙසිය හෙවත් “රන්දෝලිය” ගමන් කළ නිසාවෙනි.
මහා රන්දෝලිය
රන්දෝලි පෙරහැරේ පස්වන දිනය හෙවත් අවසාන දිනය හඳුන්වන්නේ “මහා රන්දෝලිය” යනුවෙනි.
පෙරහැරට අවසර ගැනීම
පෙරහැර ආරම්භ වන්නේ දියවඩන නිලමේතුමා නිසි අවසරය ලබා දීමෙන් පසුවය. එනිසා දළදා පෙරහැර භාරව කටයුතු කරන කාරිය කරවන කෝරාළ, ගජනායක නිලමේ, කපුරාලවරු, ගම් දහයේ විදානේවරු, කම්කානම් රාළ, මොහොට්ටාල, වට්ටෝරු රාළ යන අය පෙරහැර ආයිත්තම් වලින් සැරසී දියවඩන නිලමේතුමා හමුවීමට පැමිණේ. එය දියවඩන නිලමේතුමාගේ කාර්යාලයේ දී සිඳු වේ. දළදා තේවාව භාර සියළු නිලධාරීන් දියවඩන නිලමේතුමාගෙන් අවසර හා ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව දියවඩන නිලමේතුමා පෙරමුණේ රාළ අතට “ලේකම්මිටිය” ද ගජනායක නිලමේ වෙත “රන් අංකුසය” ද පිරිනමනු ලබයි.
පෙරහැර වෙඩිමුර
සෑම දිනකම පෙරහැර පිටවීමට පෙර වෙඩි මුර තුනක් තබනු ලබයි. පළමු වෙඩි මුරය නිකුත් වීමත් සමඟම සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින සියළු පෙරහැර ශිල්පීහු සහ අලි ඇතුන් නියමිත පිළිවෙලට පැමිණ මාලිගාවේ පෙරහැර හා සම්බන්ධ වේ.
දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ පළමු වැන්න නිකුත් වී මද වේලාවකින් පසුවය. එයින් අදහස් කෙරෙන්නේ පෙරහැර සධාතුක කරඬුව ඇතුපිට රන්හිලිගෙයි තැන්පත් කළ බවයි. එම කටයුත්ත පැවරී ඇත්තේ දියවඩන නිලමේතුමා වෙතයි.
තෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ රන්හිලිගේ සහිත මංගල හස්ති රාජයා දළදා පෙරහැරට එකතු වීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ කළ බව දැනුම් දීමටය.
පෙරහැරේ අංගයන්
දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ නුවර නගරයේ වීදි දිගේ ගමන් කරනු ලබන පෙරහැර අවසානයේ දී දළදා වහන්සේ වැඩමවාගෙන දළදා මාලිගයට පිවිසේ. එය පෙරහැර ගෙවදීම ලෙස හඳුවන්වනු ලබයි. දළදා පෙරහැර අවසන් වන්නේ සධාතුක කරඬුව රැගත් ඇතු දළදා මාලිගයට පිවිස එයින් සාධාතුක කරඬුව යලි දළදා වහන්සේ වැඩ සිටින කුටියට වැඩම කරවීමෙනි.