කුමාර සමයම ශාන්තිකර්මය
per person
සබරගමු නර්තන සම්ප්‍රදායයේ ප්‍රචලිත කුමාර සමයම නැමැති ශාන්තිකර්මය යක් තොවිල් ගණයේ ලා සැලකිය හැකි අතර එය ප්‍රජනනය අරමුණු කරගත් ශාන්තිකර්මයක් බව කිව යුතුය. විශේෂයෙන් අතීත ජන සමාජයේ දරු ප්‍රසූතිය සම්බන්ධ කොට පැවති බිය හා ඊට අවශ්‍ය කෙරෙන ප්‍රතිකාර විධි හා උපදෙස් සබරගමු පළාත් වැසියන්ට නිසියාකාර ලෙස නොලැබී තිබීමත් මෙවැනි වත් පිළිවෙත්වලට යොමු වන්නට ඇතැයි සිතිය හැකිය. දරු ගැබ කිසියම් දේව ආශිර්වාදයකින් සිදුවෙතැයි ගැමියෝ විශ්වාස කළහ. එමෙන්ම දරු ප්‍රසූතියක දී මව හෝ ළදරුවා මිය යන්නේ කිසියම් භූත බලපෑමකින්ය යන විශ්වාසය ද ගැමියන් අතර අවිඥානවිකයෙන් සවිඥාවික ලෙස පැලපදියම්ව තිබීමෙන් දරු ප්‍රසූතිය ඉතා බියකරු අවස්ථාවන් ලෙස සැලකිණි. මේ නිසා ඔවුහු හැමවිටම තමන් අදහන ආගම හෝ ආගමික පරිසරයෙන් කිසියම් පිහිටක් පැතීමට පුරුදුව සිටියහ.
ගර්භ සංරක්ෂණය හා දාරකෝත්පත්තිය පිළිබඳ සබරගමු පළාතේ වැසියන් අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ සිට ගොඩනැගුණු ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත් හා ගැමි සාරධර්ම රැසක් මෙම ශාන්තිකර්මය තුළ අන්තර්ගතව තිබේ.
දිගු කාලයක සිට කුමාර සමයම නැමැති මෙම ශාන්තිකර්මය රත්නපුර හා අවට ප්‍රදේශවල ව්‍යාප්තව තිබුණ ද වර්තමානයේ සබරගමු පළාත තුළ වුව ද දක්නට ලැබෙනුයේ කලාතුරකිනි. එයට හේතුව ලෙස පෙනී යන්නේ ප්‍රදේශය ක්‍රම ක්‍රමයෙන් නාගරීකරණයට ලක් වීමයි.
සබරගමු පළාතේ ගර්භ සංරක්ෂණය හා බැඳුණු ප්‍රධාන යක් තොවිලය කුමාර සමයම නමින් හැඳින්වේ. එහි ආරම්භය පිළිබඳ නිශ්චිත වශයෙන් කරුණු දැක්වීම දුෂ්කර වුවත් එය කාලාන්තරයක් තිස්සේ දරු උපත් අපේක්ෂාවෙන් සබරගමු වැසියන් අතර භාවිත වූ බවට සාක්ෂි තිබේ. වට කුමාරයා මුල්කර ගත් යාග සාහිත්‍යයට අනුව ඇතැමෙක් මෙම යාගය වට කුමාර සමයම, වට යක්කාරිය, වටයක් තොවිලය, කුමාර සමයම, කුමාර තොවිලය, කුමාර යකුම යනුවෙන් ද හැඳින්වූහ.
කුමාර සමයමේ උපත් කථාව විමසා බැලීමේ දී වට කුමාරයා සම්බන්ධව ගෙතී ඇති බොක්සැල් උපත් කථාව මත එය ගොඩනැගී ඇති බව පෙනී යයි. මෙහිදී ශාන්තිකර්මයේ නම මුලට “ වට ” යන විශේෂණය යොදා ඇත්තේ බොක්සැල් උපත හෙවත් වට කුමාර උපත් කථාවේ කුමාර යක්ෂයා වටදා ගෙයින් වැටී තිබීමේ සිද්ධිය මුල් කරගෙනය. වටදා ගෙයින් වැටී යක්ෂයෙකු බවට පත්වීම නිසා වට කුමාර යනුවෙන් හඳුන්වන ලදී. එහෙත් මෙම යක්ෂයා රාජ පරපුරක රාජ කුමාරයෙක් බැවින් ගෙතී ඇති විශේෂ නාමය ඉවත් කළ පසු කුමාර යක්ෂයා යනුවෙන් හැඳින්වීමට වඩා උචිත වේ.
ශ්‍රී ලංකාවේ ගර්භ සංරක්ෂණය සම්බන්ධයෙන් පවත්වනු ලබන සෑම ශාන්තිකර්මයකදීම පුද ලබනුයේ කළු කුමාර යක්ෂයා/ දෙවියා ය. එහිදී කළු කුමාර යක්ෂයාගේ නම්/ පිරිවර වශයෙන් පහ/ හත ආදී වශයෙන් සඳහන් කෙරේ.
සබරගමු පළාතේ ඇතැම් යකැදුරන් කළු කුමාරයා, කළු යකා යනුවෙන් ද හඳුන්වා ඔහු අවතාර පහකින් පෙනී සිටින බව සඳහන් කරන අතර අඳුන් කුමාර, සඳුන් කුමාර, කළු කුමාර, තොට කුමාර, වට කුමාර යන නම්වලින් හඳුන්වනු ලබයි.
කුමාර යක්ෂයාගේ උපත් කතාව
කුමාර සමයමේ දී මූලිකව පුද ලබන කුමාර යක්ෂයා සම්බන්ධයෙන් උපන් කතා වශයෙන් සබරගමු පළාතේ දී වැඩි වශයෙන් ව්‍යවහාර වන්නේ අනුරාධපුර, බොක්සැල්ල නම් ග්‍රාමය මුල් කොටගෙන ඇති පුවතකි.
බොක්සැල් මහසොප් මහ තෙරුණ් වහන්සේගේ දර්ශණයෙන් “ ශ්‍රී දේවි ” කුමරියට රාග සිත් ඇති වී රාත්‍රියේ සිහිනෙන් දස අත විහිඳුවන පුෂ්පය දැකීමත් සමඟම දරු ගැබක් ඇති විය. එම පුවත පිළිබඳ තොරතුරු විමසා බැලීමේ දී බමුණෝ බිසවට රුසිරු කුමරෙකු පිළිසිඳ ඇති බවත් ඒ සඳහා ගර්භ පූජා පවත්වන ලෙසත් රජුට දැන්වූහ. දස මසකට ඇවෑමෙන් බිසව කුමරෙකු ප්‍රසූත කළාය. එම කුමරු “ ශ්‍රී සිද්දර්ත ” නම් විය. සත් හැවිරිදි වයස පිරුණු තැන මේ කුමරු සිද්දත්ත නමින් මහණ කරවීය. කල්යෑමේ දී අනුරාධපුර වටදා ගෙයක සක්මන් කරමින් සිටි සිද්දත්ත තෙරණුවෝ රූමත් කුමරියක දැක ඇය පිළිබඳ කාම සිත් ඇති වූයෙන් වටදාගෙයින් වැටුණාහ. එයින් තෙරණුවන්ගේ වම් ඉලය (ඇලය) බිඳුණු අතර එකී අවස්ථාවේ ස්ත්‍රීන් කෙරෙහි කාම සිත් ඇතිව සිටි බැවින් රකුසු වෙස් මැවුණි.
මෙම කතා පුවත බොක්සැල් දෙවියන්ගේ කතා ප්‍රවෘත්තිය හා සැසදෙයි. වට කුමාරයා පිළිබඳ විවිධ මත පවතියි. කුමාර දෙවි උපතෙහි සඳහන් වන්නේ බොක්සැල් තෙරිඳුන්ට දාව උපත ලැබූ බවකි. ඔහු භික්ෂු භාවය ලබා ගනිතැයි ගණිතඥයන් විසින් පල කරන ලද අනාවැකියක් ඇත. එනම් පියාණන් වටදා ගෙයක් තනන විට එහි නැඟගත් කුඩා කුමාරයා වැටී මිය යන්නේ රකුසකු ලෙස යලි ඉපදෙමිනි. වෙසමුණි වරම් ලබා ගෙන බලි බිලි ලබාගත් වට තුමාරයා ස්ත්‍රීන්ට ආවේශ වන්නේ කාමයට ගිජු බවක් දක්වන හෙයිනි. හෙතෙම වටදා ගෙයින් වැටී යක්ෂයෙකු බවට පත් වූ නිසා වට කුමාර නමින් හඳුන්වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.
යාග ගායනවලට ඇතුළත් වන කුමාර දේවතා උපත හෙවත් වට කුමාර උපත වඩාත්ම ජනප්‍රියව සබරගමු ඇදුරන් අතර භාවිතා වුව ද ඇතැම් අවස්ථාවන්වල දී ඔවුහු කළු කුමාරයා හා සම්බන්ධ අනෙකුත් උපත් කතා කවි ගායනය කිරීමට ද පෙළඹෙති.
වට කුමාර උපන් කථාව හා බොක්සැල් උපත යන කාව්‍ය කෘති සැසඳීමෙන් මේ කෘති දෙකටම තේමා වී ඇත්තේ එකම කතා පුවතක් බව පෙනේ. බොක්සැල් උපත පිළිබඳව විස්තර කරන කොටගම වාචිස්සර හිමියෝ බොක්සැල් දෙවිඳු හා කළු කුමාරයා යන දෙදෙනාම එක් අයෙකු බව පවසයි.