ගම්මඩු ශාන්තිකර්මය
per person
ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශයන්හි දෙවියන් මූලික කර ගනිමින් පවත්වන්නා වූ ශාන්තිකර්මයකි. දේව ආශිර්වාදය ලබා ගනු වස් විවිධ වූ චිරිත්‍ර, වත්-පිළිවෙත් රාශියක් එමඟින් ඉටු කරනු ලැබේ. පත්තිනි දේවතාවිය මූලික කොට ගත් සපිරිවාර දේව මණ්ඩලය උදෙසා මෙම ශාන්තිකර්ම පවත්වනු ලබයි. අම්මාවරුන්ගේ හා ලෙඩ නමින් හඳුන්වන පැපොල, සරම්ප, කම්මුල්ගාය, වසූරිය වැනි වදුරු වසංගත, බෝවන රෝග නිවාරණය කිරීම සඳහාත් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් ඈත අතීතයේ සිට ගම්මඩු පූජෝත්සව පැවැත්වීම සඳහා ගැමි ජනතාව පුරුදු පුහුණු වී සිටියහ. අස්වනු පාලුව, ගංවතුර, දැඩි නියඟය ඇති වුවහොත් ඒවා සිඳුවන්නේ දෙවියන්ගේ කෝප වීම නිසා බව යන විශ්වාසය පදනම් කරගෙන දෙවියන් ඉදිරියේ පුද පූජා පවත්වා ඔවුන් සතුටු කිරීම ගැමි ජනතාවගේ ප්‍රාර්ථනය යි. තම අස්වනු සාර වූ පසු ඒ දැක සතුටු වී එයින් කොටසක් දෙවියන් වෙනුවෙන් වෙන්කොට පූජා පවත්වා පොළොවේ සශ්‍රීකත්වය පතාත් ජනයාගේ විනෝදාස්වාදය සහ බාල පරම්පරාවට දැක බලා ගැනීම සඳහාත් වර්තමානයේ දී ද ගම්මඩු ශාන්තිකර්මය පවත්වනු ලබයි.
දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතා කෙරෙන මෙවැනි ශාන්තිකර්ම පොදුවේ මඩු ලෙසින් හැඳින්වුව ද එකී මඩු ශාන්තිකර්මයන් පවත්වන්නේ පත්තිනි දෙවියන් මුල් කරගෙනය. එය පළාත් අනුව, අවස්ථා අනුව, පරමාර්ථ අනුව ද පවතින ආර්ථික ශක්තිය හා පුද්ගලයන්ගේ අවශ්‍යතාව අනුව ද එවැනි ශාන්තිකර්ම පවත්වනු දක්නට ලැබේ.
ගම්මඩු පුරාවෘත්තය
සේරමන් යාදින්ගේ සඳහන් වන ආකාරයට ගම්මඩු ශාන්තිකර්මයේ උපත් කතාව මෙසේය. දකුණු ඉන්දියාවේ චෝල අධිරාජය සමයේ රජකල සේරමන් රජු සැතපී සිටින විට තමාගේ නින්දට බාධාවන ආකාරයෙන් ගෝනකුගේ හඬ ඇසී තරහ සිත් ඇතිව එම ගෝනාව මරණ ලෙස නියම කළේය. ගෝනා මරා මස් කෑමේ ආශාවක් ද රජුට ඇති විය. මැති ඇමතිවරු පිරිවරාගෙන ගොස් ගෝනා මරණයට පත් කළහ. රජු කෙරෙහි වෛර සිත් ඇතිව මිය ගිය ගෝනා රජුගේ මඟුල් උයනේ පොකුණේ මැඩියෙකුව උපත ලැබීය. පසුවදා රජු උයන් කෙලියට ගොස් සිටින විට තම මහනෙල් මල් විලේ ලස්සන මලක් දැක සතුටු වී එම මල කඩා සිම්බේ ය. මැඬියා මහනෙල් මලේ සැඟවී සිටින බව රජු දැන නොසිටියේ යම් පෙර අකුසල හේතුවෙනි. මැඬියා රජුගේ මොළයට ගියෙන් එය හේතු කොටගෙන රජුට හිසරදයක් ඇති විය. විලාප තබමින් රජු යහනේ සිටින විට වෙදැදුරන් ගෙන්වා වෙදකම් කළ ද බමුණන් ගෙන්වා නොයෙකුත් යාගහෝම පැවැත්තුව ද ඒ කිසි දෙයකින් රජුගේ හිසරදය සුව නොවුණි. දෙවියන්ටවත් පෙනෙන්නේ නැද්ද මම විදින දුක යැයි සිතමින් රජු යහනේ සැතපුණේ ය. එළඹි නින්දේ දී සිහිනයක් දැක බිය වී ඇහැරුණි.
දැන උගත් බමුණන් ගෙන්වා සිහිනය පිළිබඳ විමසූ විට සිහිනයෙන් දැක ඇත්තේ පත්තිනි දෙවියන් බවත් ඇයගේ ශාපයක් බවත් පත්තිනි දෙවියන් සඳහා කෙළිපුද දෙන ලෙසට දැන්වීය.
රජු බිය වී පත්තිනි දෙවියන් සඳහා කෙළිපුද දීමට ලක්දිව නවගමුවේ යාගයක් කිරීමට කතිකා කරගෙන රජ බිසව සමඟින් මැති-ඇමතිවරු නැව්-රුවල් අදිමින් ලක්දිව වත්තල් තොටින් ගොඩ බැස්සහ. එතැනින් කැළණි මහා විහාරය වැඳ පුදාගෙන හිඟන්නන්ට, පුලන්නන්ට දාන-මානාදිය පිරිනමා පිං රැස්කර නවගමුවට පැමිණියේ ය. නවගමුවේ රුවන්වැල්ලේ බිම සකස්කොට වඩු ඇදුරු ගෙන්වාගෙන දිගින් සැට රියනක් ද පුලුලින් තිස් රියනක් ද සරිලන සේ භූමිය බෙදාගෙන මඩුව සාදා රන් තොරණ් බැඳ ගිරා, මොණරුන් සහ නොයෙක් විසිතුරු කැටයම් යොදා පංච වර්ණයෙන් තොරණ සරසාලීය. අනතුරුව සියලු දෙවියන්ට ආසන පනවා මඩුව කර වූ බවත් ශක්‍ර දෙවි ගෙන්වා රජුගේ හිස් කබල ගලවා මැඬියා ඉවත් කළ බවත් සඳහන් වේ.
පසුව රජුට හිසරදය සුව වූ බව සඳහන් වේ. එතැන් පටන් මෙනර ලොව දෙවියන් සඳහා කෙළිපුද පවත්වා පහන් ආලෝක කර දෙවියන් සඳහා පිං දෙන ලෙස දැන්වීය. එම සිරිතෙන් පසු ගම්මඩු ශාන්තිකර්මය ලක්දිව ප්‍රචලිතව පැවත ආ බව සඳහන් වේ.
දෙවොල් දේව පුරාවෘත්තය
දෙවොල් දෙවි සත් කට්ටුවකි. භාරතයේ සිට පැමිණි කුමාරවරුන් පිරිසක් මෙනමින් හඳුන්වනු බැව් ඒ හා බැඳි පුරාවෘත්තවල සඳහන් වේ. සීනිගම දෙවියෝ, වේරගොඩ දෙවියෝ දෙවොල් දෙවි පර්යාය නාමයන් වේ. එකී නම් දෙවොල් දෙවියන් වැඩ සිටින බවට විශ්වාස කෙරෙන දේවාල පිහිටා ඇති ග්‍රාම නාම මුල්කොට ගෙන එනමින් හැඳින්වූ බව පෙනේ. වාහල දෙවියෝ නමින් සිංහල දේව පුරාණයේ සඳහන් වන්නේ ද දෙවොල් දෙවියන් වේ.
ශාන්තිකර්ම සාහිත්‍යයේ දෙවොල් දෙවියන් උප්පත්තිය පිළිබඳ විවිධ පුරාවෘත්ත බැඳී පවතී. එක් පුරාවෘත්තයක එන පරිදි සෝලිපුර ත්‍රිවක්කාලි නම් බිසවකට උපන් කුමාරවරු තිදෙනෙක් ලෙස දෙවොල් දෙවියන් හඳුන්වනු ලබයි. තවත් පුරාවෘත්තයක සඳහන්වන පරිදි දඹදිව ස්වර්ණ කුදුප්පර (කුඩුප්පුර) දේශයෙහි ශ්‍රී රාමසිං රජුගේ සත් බිසෝවරුන්ගේ කුසින් පිට පිට සත් දිනක් තුළ බිහි වූ කුමාරවරු සත් දෙනෙක් ලෙස දෙවොල් පිරිස හැඳින්වේ. ඉරුරැස් සාමි, සඳරැස් සාමි, තෙදරැස් සාමි, බුදුරැස් සාමි, ගුරුරැස් සාමි, මහා සාමි, කුඩා සාමි එම දෙවෙල් දේව සත් කට්ටුවයි. ඔවුන් උපන් දිනයන් අනුව එසේ නම් තබා ඇති බව සඳහන් වේ.
භාරතීය සම්භවයකින් එන ලාංකීකයන්ගේ වන්දනාමානයට බඳුන් වී ඇති දෙවියන් බොහෝ දෙනෙකුට මෙවන් පුරාවෘත්ත ගණනාවක් තිබීම විශේෂත්වයකි.
ගම්මඩුව ශාන්තිකර්ම සාහිත්‍යයේ දී දක්නට ලැබෙන්නේ එම දෙවොල් කතා ප්‍රවෘත්තියයි. එසේ උපන් දෙවොල් කුමාරවරු සත්දෙන යොවුන් වියේ දී බොහෝ දාමරිකකම් කරන්නට වූයෙන් රජුගේ උදහසට ලක් වී නැව් හතක විවිධ මාදිලියේ වෙළඳ භාණ්ඩ පටවා රටින් පිටුවහල් කරන ලදී. මුහුදු සතක් තරණය කර එන ගමනේ දී කුණාටුවකට හසු වීමෙන් නැව මුහුදුබත් වූ පසු සුන් බුන් වූ නැවේ ලෑලි ආධාරයෙන් පිහිනා එද්දි ශක්‍ර දේවේන්ද්‍රයා විසින් මවා දුන් ගල් පහුරු මතින් ලක්දිව සීනිගම් තොටින් ගොඩ බට බව දැක්වේ. යාපා පටුන, පානදුර, දෙමෝදර, උඩුගල්පිටිය, ගිංතොට, උණවටුන ආදී ස්ථානවලට ලඟා වුවත් ගොඩ බැසීමට නොහැකි වූයෙන් අනතුරුව සීනිගමට පැමිණි බවත් එහිදී පත්තිනි දෙවියන් ගිනි කඳු හතක් මවා පෑ නමුත් ඔවුන් සතු තෙදබල මහිමයෙන් එම ගිනි සිසිල් කරමින් මෙලක්දිවට පැමිණි බව යාග සාහිත්‍යයේ සඳහන් වේ.
එසේම ගම්මඩු ශාන්තිකර්මවල දෙවොල් ගොඩබැසීමේ දී ගැයෙන ඇතැම් කෙටි කවිවල සඳහන් වන ආකාරයට දෙවොල් දෙවි බංගලි දේශයේ බවත් පිය රජු මලල නමින් හැඳින්වෙන බවත් කියැවේ.
දෙවොල් දෙවියන් සම්බන්ධ පුරාවෘත්ත බෙහෝ සෙයින් එක හා සමාන වුව ද ඇතැම් පුරාවෘත්ත පෙර ආත්ම ගණනාවක් ද පෙන්නුම් කරයි.
කකුසඳ බුදුන් කල වෙළඳ කදුලයක උපන් කුමාරවරු සත් දෙනෙක් සිල් පෙහෙවස්ව බුදුන්ට කඨිනයක් පූජා කළ අතර පත්තිනිය ද මී අඹයක් පූජාකොට මතු ආත්ම භවයේ එක්ව උපදින්නට විවරණයන් ලබා ගෙන තිබේ. ඒ අනුව ගෞතම බුදුන් කල රජසිංහ නම් රජුට දාව තෙදපති, සුරපති, අසුරපති, මිහිපති, සිරිපති, සඳපති හා අමිතාපති යන බිසවුන් වහන්සේලාට සත් දිනක් තුළ උපන් කුමාරවරු දෙවොල් දෙවියන් ලෙස සැලකේ.
එසේම පත්තිනිය පුද ලබන ශාන්තිකර්මයන්හි දී තුනෙන් එකක් දෙවොල් දෙවියන්ට පුද දෙන බවත් එය දෙවොල් බාගේ නමින් හැඳින්වෙන බවත් යාග සාහිත්‍යයේ තවදුරටත් දැක්වේ.
ගම්මඩු ශාන්තිකර්මය මාතර පළාතෙත් බෙන්තර හා රයිගම් කෝරළයේත් බෙහෙවින් දක්නට ඇතත් ඒ ඒ ප්‍රදේශයන් හා ගුරු කුලවල අතර ගම්මඩු ශාන්තිකර්මයෙහි වෙනස්කම් රාශියක් දක්නට හැකිය. විශේෂයෙන් සියනෑ කෝරළය, සල්පිටි කෝරළය, හේවාගම් කෝරළය ආදී ප්‍රදේශයන්හි පූජා විධි රටාවේ හා චාරිත්‍රවල වෙනස්කම් යාගය පිරික්සීමේ දී දක්නට ඇත. එමෙන්ම අතීතයේ දක්නට තිබූ පූජා විධි රටාවේ යම් කොටස් මෙන්ම චාරිත්‍ර විධීන් ද යම් බඳු වෙනස් වීමකට මෙන්ම ඇතැම් ඒවා අද්‍යතනයේ දක්නට නොලැබීම ද විශේෂත්වයකි. ඒ අතරම රංග වස්ත්‍රාභරණ අතීතයට වඩා විචිත්‍රවත් බවක් එක්කර ගැනීමට ශාන්තිකර්ම ශිල්පීහු පුරෝගාමීව ඇත. ඒ සඳහා ඔවුන්ගේ උපක්‍රමය වූයේ අනෙකුත් සම්ප්‍රදායන්හි දක්නට ලැබෙන රංග වසත්‍රාභරණ කොටස්වලට වඩා යම් විශේෂයක් තම රංග ශෛලිය සඳහා ද එක්කර ගැනීමකි. ගම්මඩුව අදාළ පුද පූජා රටාව අවස්ථා තුනකින් සිදු කෙරේ. එනම්,
- කප් සිටුවීමේ චාරිත්‍රය
- මඩු දිනයට පෙර දින චාරිත්‍ර
- මඩු දිනයේ චාරිත්‍ර
පූජා විධි රටාව
ප්‍රධාන කපු මහතා අදාළ යෝජිත ස්ථානයට පැමිණ භූමිය සුද්ධ පවිත්‍ර කොට මල් යහනක් සාදා තෙල්, මල්, පහන්, සුවඳ දුම් පූජා කර මාස තුනකින් හෝ මාස හයකින් මඩු ශාන්තිකර්මයක් කරන බවට පත්තිනි දේවතාවිය උදෙසා ඇපයක් වීම සිදු කරයි. මෙය ඇපකප යනුවෙන් හඳුන්වනු ලබයි. ඒ සඳහා කොස් කණුවක් භාවිතා කරයි.