නාඩගම් රංග කලාව
per person
ශ්‍රී ලාංකේය “සිංහල” ජන වාර්ගික ප්‍රජාව ආගමික පදනම අනුව බෞද්ධාගම, කතෝලික ආගම ලෙස බෙදී වෙන් වූයේ යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ වුව ද දෙපාර්ශ්වයට පොදු සාධක කිහිපයක් ද දැකගත හැකිය. බෞද්ධ හා රෝමානු කතෝලික දෙපාර්ශවයේම මව් බස “සිංහල භාෂාව” ය. කුල සාධකය ගත්ත ද දෙපාර්ශවයටම පොදුය. එනම්, සිංහල බෞද්ධ සමාජයේ මෙන්ම කතෝලික සමාජයෙහි ද ගොවිගම,කරාව, දුරාව, සලාගම ආදි ලෙස කුල පදනමක් දැකගත හැකිය. එකී කුල සාධකය හේතුවෙන් එකම ග්‍රාමයක දේවස්ථාන කිහිපයක් බිහිවීමට පවා තුඩු දුන් බව මීගමුව, හලාවත වැනි ප්‍රදේශවල දී හඳුනාගත හැකි වේ. වෘත්තීය පදනම අනුව සලකා බැලූ කල ද සිංහල බෞද්ධ හා කතෝලික ප්‍රජාවගේ එක හා සමාන ලක්ෂණ දැකිය හැකිවේ. සිංහල ජන වර්ගයට අයත් බෞද්ධ ජනයා සහ කතෝලිකයන් අතර ඉහත දැක්වූ සමාන ලක්ෂණ දිස් වුව ද ආගම් ඇදහීමෙන් හා වත්පිළිවෙත්වලින් දෙපාර්ශවය වෙනස් බව හඳුනා ගත හැකිය. කෙසේ වුවද කතෝලික සමාජය යනු ලාංකේය ජන සමාජයෙහි උප සංස්කෘතියක් ලෙස හඳුනාගත හැකිය. මෙකී කතෝලික රෝමානු කතෝලිකයන් බවට පත් වූ බහුතරයක් බටහිර වෙරළ කලාපයේ ජීවත් වූ සිංහල වැසියෝ වෙති. කතෝලික සංස්කෘතියේ ද උප සංස්කෘතික ලක්ෂණ රැසක් දක්නට ලැබේ. නාඩගම් වැනි ගායනය සම්ප්‍රදායක් හඳුනාගත හැකි වන්නේ එවැනි උප සංස්කෘතික ලක්ෂණයක් ලෙසිනි. කතෝලික ආගම් ඇදහිල්ල සමඟ එක් වූ “කතෝලික ජන වන්දනාව” ආගමික විචිත්‍රතාව හා මානව විචිත්‍රතාව ඉස්මතු කරන්නෙකි. එමඟින් කිතුනු සාහිත්‍යයක් හා කිතුනු දේශීය රංග කලාවක් බිහි වී තිබේ.
නාඩගම් ප්‍රභවය
නාඩගම් ප්‍රභවය පිළිබඳ විවිධ මත කිහිපයක් පවතී. ඒවා පහත පරිදි වේ.
- දකුණු ඉන්දීය කෙරුක්කුත්තු නම් නාටක විශේෂයෙන් ලද අභාෂය.
- කතෝලික ජන වන්දනා නාටක ආභාෂයෙන් ලත් ප්‍රභවය.
- දේශීය කෙලි නාටක ආභාෂයෙන් ලත් ප්‍රභවය.
- දකුණු ඉන්දීය කුමාරිකාවන් ආවාහ කරගැනීමේ දී පැමිණි ශිල්පීන්ගෙන් ඇරඹි නාටක.
නාඩගම් රැගුම් දැක්වූ ප්‍රදේශ
කතෝලික ජන වන්දනාව ඇසුරෙහි පෝෂණය වෙමින් යාපනය, මඩකලපුව ප්‍රදේශවලින් ඇරඹි නාඩගම් ගැමි නාටක විශේෂය බටහිර මුහුදුබඩ වෙරළෙහි ගම්මානවල නාඩගම් ලෙස ව්‍යාප්තව පැවති බව කියැවෙයි. උතුරු පළාතෙන් සංක්‍රමණය වී හලාවත, මීගමුව, මොරටුව සිට වැලිගම, මාතර, තංගල්ල ආදි දකුණු පළාත දක්වා පැතිර තිබේ. එය ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල බහුලව රඟ දක්වන ලද රංග ශෛලියක් වූයේ එම ව්‍යාපෘතිය පදනම්ව තිබීමෙනි.
නාඩගම් රඟ දැක්වූ වනවානුව සහ කාල පරිච්ඡේද
නාඩගම රඟ දැක්වූයේ මුහුදුබඩ ප්‍රදේශයන්හි දී ය. නාඩගම් පැවැත්වූයේ රාත්‍රී කාලයේ දී වෙයි. අතීතයේ දී දින හතක් පුරා රඟ දැක්වීම පසුකාලීනව තුන් දිනක් සිට එක් දිනක් දක්වා සීමා වී තිබේ. එකල පන්දම් එළියෙන් හා කිට්සන් ලාම්පු එළියෙන් නාඩගම් රඟ දැක්වූ බව කියැවෙයි. මීට අමතරව පන්දම්, පොල් පන්දම්, විලක්කු හා පැපොල් පහන්වල ආධාරයෙන් අවට මාර්ග මෙන්ම රංග භූමිය ද ආලෝකමත් කරන්නට යොදාගෙන තිබේ. එනයින් ආලෝකමත් කරන්නට වූයේ රාත්‍රී කාලයේ නාඩගම රඟ දක්වන අවස්ථාවේදීය. දූවේ රජතුන්කට්ටුව නාඩගම රඟ දැක්වෙන්නේ දවල් කාලයේදීය.
නාඩගම් රඟ දැක්වීම පිළිබඳ නිශ්චිත වූ කාල සීමාවක් දැකිය නොහැකිය. ජන වන්දනා වසර අනුව නත්තල් සමයේ දී හලාවත, මීගමුව වැනි ප්‍රදේශවල රජතුන්කට්ටුව නාඩගම රංග ගත කළ බව කියැවෙයි. ඒ අතර දේවස්ථානවලට අදාළ විශේෂ ආගමික උත්සව වලට සමගාමීව ධර්ම ප්‍රචාරක මාධ්‍යක් ලෙස ද නාඩගම් යොදාගෙන තිබේ. ඇතැම් නාඩගම් අවුරුදු සමයේ දී ද පවත්වන්නට කටයුතු කළ බව කියැවේ.
නාඩගම් රංග භූමිය
පොල් රුප්පාවලින් වට වූ ඉඩකඩ ඇති එළිමහන් පෙදෙසක ඉදි කරන ලද නාඩගම රඟ දක්වන ස්ථානය “කරළිය” යන නමින් හඳුන්වා ඇත. රංග භූමිය අර්ධ කවාකාර හැඩයෙන් යුක්ත විය. එය පස් ගොඩ ගැසීමෙන් පොළොවේ මට්ටමින් අඩි හතරක් පහක් පමණ උස් කොට රඟන මතුපිට සමතලා වන සේ තැනූවකි. ඇතැම් විට හරි මැද උස රිටක් සිටුවා එහි මුදුන් කොත මැදි වන සේ වටේට පොල් අතු සෙවිලි කළ වහලයක් මෙන් තරමක් පැතිර යන පරිදි මෙන්ම පිටුපසට යෙදෙන සේ අතු සෙවිලි කිරීම ද සිරිතක්ව පැවතිණ. එය රංග භූමිය නොහොත් කරළියට ආවරණයක් වන්නට ඇත.
කරළිය යාබද පොල් අතු මඩුවක් විය. එය නේපථ්‍යාගාරය ලෙස සැලකිණ. නාඩගමෙහි පාත්‍ර වර්ගයා රැඳී සිටින්නේ එම මඩුවෙහිය. මඩුව සහ කරළිය වෙන් කෙරෙනුයේ තිර දෙකක් හෝ තුනක් හෝ උපයෝගී කොට ගනිමිනි. පහතින් දැක්වෙන්නේ කරළියෙහි කනු දෙකක් සිටුවා සකස් කරන ලද පියස්සක් සහිත නාඩගම් රඟ මඩලක පැති පෙනුමකින් යුතු දල සටහනකි.
පේක්ෂකාගාරය ලෙස කරළියට ඉදිරියෙන් පිහිටි එළිමහන් බිම් ප්‍රදේශ යොදා ගැනිණ. නාඩගම් බැලීමට පැමිණි බොහෝ දෙනෙක් බිම පොල් අතු හෝ පැදුරු වැනි වෙනත් යමක් එලා එහි වාඩි වී එය නැරඹූහ.
“රජතුන් කට්ටුව” නාඩගම Three Wise Men ජේසු බිලින්දාගේ උපත ගැන කියැවෙන ඉපැරණි නාඩගමකි. එම නාඩගම මීගමුව, හලාවත ප්‍රදේශයන්හි දීර්ඝ කාලයක් නත්තල් සමයෙහි පවත්වා තිබේ. එය එකල වාර්ෂිකව පවත්වා ගෙන ගිය රංග කාර්යයකි. එහෙත් වත්මනේ අඛණ්ඩව සිදු නොවන්නකි. එකී නාඩගම රඟ දැක්වීම අවසන් වරට පැවැත්වූයේ 2010 වසරේදීය. මීට දස වසරකට පෙර රඟ දැකවූ රජතුන්කට්ටුව නාඩගම් අවස්ථා දෙකක දර්ශන මෙනයින් දැක්විය හැකිය.
නාඩගම් දිගහැරුම
නාඩගම ආරම්භ කරනු ලබන්නේ ප්‍රේක්ෂකාගාරයට සන්නිවේදනය වනුයේ පිංබෙර වැයීමත් සමඟිනි. නාඩගම් තිරය විවෘත වන තෙක් මද්දල් වාදකයන් දෙදෙනා විසින් අඩුතාල් වැඩිතාල් ලෙස ඉතා අලංකාර ලෙස වාදනය කරනු ලැබීය. එය නාඩම්කරුවා විසින් අන්තාදිය නමින් ද පිංබෙර වාදනය ලෙසින් ද හඳුන්වා බව හැරණය කරනු ලබයි.
නළුවා වේදිකාවට ප්‍රවේශ වීමේ දී ගමන් තාලයකින් වටයක් ගොස් අනතුරුව කස්තිරමකින් හමාර කළ පසු ගායනය ආරම්භ කරයි.
රැගුම් ආරම්භ කරනු ලබන්නේ සුදු ලෝගුවකින් හා හිස බැඳි ජටාවකින් සැරසී පැමිණෙන පොතේ ගුරුන්නාන්සේ විසිනි. නාඩගමේ චරිත හඳුන්වා දෙනු ලබන්නේ ඔහු විසිනි.
පොතේ ගුරුට පසුව කරළියට එන්නේ බහුබූතයාය. ඒ අනුව නාඩගමක දී පළමුවෙන් සබයට පැමිණෙන චරිතය වන්නේ බහුබූතයා හෙවත් කෝනංගි ය. හෙතෙම කෝමාලි හා කෝලමා යන නමින් ද හඳුන්වනු ලබයි.
බහුබූතයාට පසුව කරළියට එන ස්ථාවර පාත්‍රයා වන්නේ සෙල්ලම් ළමා ය. මොහු සෙල්ල පිල්ලේ යනුවෙන් ද හඳුන්වනු ලබයි. සෙල්ලන් ළමා පිටව ගිය පසු අණබෙරකරුවන් නැතහොත් බෙරකාරයන් ලෙස හඳුන්වනු ලබන පාත්‍ර වර්ගයා පැමිණෙයි. ඇතැම් නාඩගමක දී සෙල්ලන් ළමා චරිතයෙන් අනතුරුව දේශනවාදීන් දෙදෙනෙකු පැමිණෙයි. ඔවුහු අනාගත වක්තෘ හා අතීත වක්තෘ ලෙස පැමිණෙති. ඉදිරිපත් කරන නාඩගම් කතාව විස්තර කරනුයේ ඔවුන් විසිනි. අනුතුරුව හඬ දූතයෝ කරළියට පැමිණෙති. රජුගේ සැපත්වීම සැල කරනුයේ ඔවුන් විසිනි. හඬදූතයන්ගෙන් පසුව රාජසභා ඇමති පිරිස කරළියට සැපත්වෙයි. ඉයුජින් නාඩගමේ දී බෙලාන්ඩින් රජු පැමිණෙයි. බ්‍රම්පොට් නාඩගමේ දී බ්‍රම්පොට් රජු පැමිණෙයි. මෙලෙස නාඩගමේ කතාවට සම්බන්ධ වන පාත්‍රයා කරළියට පැමිණීම විශේෂතාවයකි. රජු සුදුසු පරිදි අසුන් ගැනීමෙන් පසු පොතේ ගුරුන්නාන්සේ විසින් සිංහාසන වර්ණනාව ගයනු ලබයි. එනැයින් රජුගේ සම්ප්‍රාප්තියත් සමඟ නාඩගමේ පූර්ව රංගය අවසාන වේ. පූර්ව රංගයේ එන සියලු පාත්‍රයන්ට නියමිත පොතේ කවියක්, පොතේ විරිදුවක් හෙවත් නික්මෙන විරිදුවක් හා කියා නටන සිංදුවක් අනිවාර්ය අංගයක් ලෙස ඇතුලත්ව ඇත.
අනතුරුව නාඩගමෙහි අපර රංගය හෙවත් කථාරංගය ආරම්භ වේ. නාඩගමට ප්‍රස්තුත වූ එදිනට නියමිත නාඩගම් කථා ප්‍රවෘත්තිය කරළිය මත දිගහැරෙන්නේ එතැන් සිටය.
නාඩගමෙහි භාවිත සංගීත භාණ්ඩ
මුල් කාලවලදී මද්දලය හා තාලම්පොට නාඩගම් සඳහා යොදාගත් බවත් අනතුරුව පසු කාලීනව හොරණෑව, හාර්මෝනියම්, වයලීනය වැනි සංගීත භාණ්ඩ යොදාගත් බවත් සඳහන් කෙරේ. පොඳුවේ ගත්කල මද්දල් වාදනයේ දී වාදන ශිල්පීන් දෙදෙනකු සහභාගී කෙරේ.
නාඩගම් පෝෂණය කළ ශිල්පීන්
- පිලිප්පු සිඤ්ඤෝ
- මිහිඳුකුලසූරිය ගාබ්‍රියෙල් ප්‍රනාන්දු
- වී. ක්‍රිස්තියන් පෙරේරා
- එදිරිවීර සරච්චන්ද්‍ර
- අම්පේ චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ