නූර්ති රංග කලාව
per person
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නාට්‍ය කලාවන් ලෙස සැලකෙන සොකරි, කෝලම්, කවි නාඩගම් ආදී වූ රංග තේමාවන් වලට ලැදියාවක් දක්වමින් සිටි මෙරට ජනයා නාඩගම් නම් වූ රංග කලාවට විශේෂ ලැදියාවක් දැක්වීමට හුරු පුරුදු විය. විශේෂයෙන්ම උඩරට බෙරයට, පහතරට බෙරයට දෙකන් හුරු වී සිටි ප්‍රේක්ෂක ජනතාවට අමුතු වූ මිහිරියාවක් නාඩගම් කලාවෙන් දැනෙන්නට විය. ද්‍රවිඩ ආභාෂයෙන් අපට උරුම වූ නාඩගම් හෙවත් නාටකම්වල භාවිත මද්දල බෙර යුගලයන් සහිත ගායනය ශෛලීන් ඊට හේතු විය හැකිය.
එළිමහන් බිම් කැබැල්ලක් රඟමඩල බවට පත් කරගෙන ලෑලි ගසා තනන ලද වේදිකාවක් මත පන්දම් එළියෙන් හෝ කිට්සන් පහන් එළියෙන් රඟ දක්වන ලද රංග කලාවක් වෙනුවට 19 වන සියවසේ අවසාන භාගයෙහි නව ප්‍රවණතාවන්ගෙන් යුක්ත වූ නාට්‍ය කලාවක රස විඳීමට මෙරට ජනයා වෙත අවකාශ සැලසීම සුවිශේෂ පහළ වීමක් ලෙස ඔවුනට හැඟීගියා විය හැකිය. ස්ථාවර රඟ මණ්ඩප, නූතන රංග භූමි හා නවීන රංගෝපකරණ, ආලෝක පද්ධති ආදියේ ඇසුර සහිත මෙම රංග කලාව නාඩගම් රංග කලාව අභිබවා යන්නට තරම් සමත් විය.
ස්ත්‍රීන් විසින් ස්ත්‍රී චරිත රඟ දැක්වීම ද මෙහි පැවති විශේෂත්වය කි. එමඟින් පිරිමින් විසින් රඟ දක්වන ලද ස්ත්‍රී භූමිකා ක්‍රමය ද අහෝසි විය. උත්තර භාරතයෙහි පාර්සි නාට්‍ය කණ්ඩායමි 25 ක් පමණ පැවති අතර ලංකාව ඇතුළු මුලු භාරතය පුරා එම රංග ශෛලිය ව්‍යාප්ත වන්නට විය. 1800 ගණන්වල බලිවාලා නම් නාට්‍ය නිෂ්පාදකයා විසින් එලිපින්ස්ටන් ඩ්‍රැමටික් කොම්පැණි නම් නළු පිරිස සමඟ ලංකාවට පැමිණ රඟ දක්වන ලද ප්‍රසංගයක් නිසා මෙකී තත්ත්වය තව තවත් වර්ධනය වන්නට විය. ඔවුන් විසින් රඟ දක්වන ලද ඇලඩින්, හරිස්චන්ද්‍ර, ඔතැලෝ, රෝමියෝ ජුලියට් වැනි ශේක්ස්පියර් නාට්‍ය අතිශයින් ප්‍රචලිත විය.
නූර්ති නාට්‍ය කලාවේ ආරම්භය
නූර්ති නාට්‍යයේ මූලාරංභ අවධිය ලෙස පෙනෙන්නේ කථක් නර්තන ඉතිහාසයේ ඉතාම සැලකිය යුතු කාලසීමාවක් වූ ලක්නව් රාජ්‍යයේ අවසන් මුස්ලිම් රජු වූ නවාබ් වාජිත් අලීෂා (ක්‍රි.ව 1847 – 1856) රජුගේ කාලසීමාව දක්වා දිවෙන බවයි. මෙම කාල සීමාව කථක් නර්ථනයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ එකී කාල සීමාව තුළ නර්තනය ලැබූ උපරිම අනුග්‍රහය සහ දියුණුව හේතුවෙනි.
නවාබ් වාජිත් අලිෂා ප්‍රකට උර්දු ගීත රචකයෙක් පමණක් නොව සංගීතඥයෙකු මෙන්ම නර්තකයකු ලෙස ද කටයුතු කළේය. ප්‍රකට කථක් නර්තකයන් වන බින්දාදීන් මහරාජ් ඔහුගේ සොහොයුරු කාල්කා ප්‍රසාද් මහරාජ්, වාජිත් අලිෂා රජුගේ රාජකීය නර්තකයන් බවට පත්වීමත් සමඟම වාජිත් අලිෂා රජු කථක් නර්තනය ක්‍රමිකව හැදෑරීමට උත්සුක විය. මෙම තිදෙනා එක්ව බොහෝ ඨුම්රි හා භජන් නර්තනයට උචිත පරිදි ප්‍රබද්ධ කරන ලද අතර එමඟින් කථක් නර්තනයේ ලක්නව් ඝරානාවට / ගුරුකුලයට පදනම වැටිණි.
නවාබ් වාජිත් අලිෂා රජු වසරක් පාසා නොකඩවා රාස් ලීලා රජ වාසලෙහි සැමරීමට පුරුදුව සිටි අතර ඔහු ක්‍රිෂ්ණගේ චරිතයත් ඔහුගේ අන්තඃපුර ස්ත්‍රීහු ගෝපීන් ලෙසත් නර්තනයේ යෙදීමට පුරුදුව සිටියහ. එහිදී ඔහු ඉන්ද්‍ර ලෙසත් ඔහුගේ වාසලේ අන්තඃපුර ස්ත්‍රීහු අප්සරා ලෙසත් නර්තනයේ යෙදුණහ. නවාබ් රජුගේ රජ වාසලින් ආරම්භ වූ එකී රංග ශෛලිය නූර්ති හෙවත් නෘත්‍ය රංග කලාවේ මූලාරම්භයට හේතු විය.
භාරත දේශයේ සිට මෙරටට හඳුන්වා දෙන ලද නූතන පාර්සි නාට්‍ය කලාවේ ප්‍රභවයන් පිළිබඳව විමසීමේ දී හෙළි දරව්වන ලද කරුණක් වන්නේ පාර්සි කණ්ඩායම්වල නිෂ්පාදකයන්ට ආදර්ශ වී ඇත්තේ බ්‍රිතාන්‍ය රාජ්‍යය යටතේ මහරාජ ධූරය දරමින් ලක්නව් නගරයෙහි රජ කළ වාජිත් අලිෂා නම් නවාබ් රජුගේ මාලිගයෙහි රඟ දක්වන්නට යෙදුණු ඉන්දර් සභා, රාස්ලීලා වැනි හින්දුස්ථානී නාටකයන්ය.
නූර්ති නාට්‍ය කලාවේ ලාංකේය පසුබිම
නූර්ති ශෛලිය පාර්සි ජාතිකයන් ඔස්සේ මෙරටට පැමිණීමත් සමඟම එතෙක් පැවති නාඩගම් ශෛලියෙහි ඌණතා ඉවත් කරමින් නූර්ති ආභාසය අනුව නාට්‍යකරණයෙහි යෙදුණු සී. දොන් බස්තියන් මහතා රසිකයන් වෙනත් අතකට යොමු කිරීමට කටයුතු කරමින් සිංහල නාට්‍ය ක්ෂේත්‍රයෙහි ආන්දෝලනයක් ඇති කිරීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව මෙම නෘත්‍ය ශෛලියට අවතීර්ණ වූ ජෝන් ද සිල්වා සහ චාර්ල්ස් ඩයස් යන නිර්මාණකරුවන් එම ශෛලිය අනුගමනය කළ ද ඊට තියටර් (theatre) යන නාමය ආදේශ කිරීමට කටයුතු කර ඇත. මෙය ජනතා අතර ප්‍රචලිත වූයේ ටීටර් නමනි. නමුත් බස්තියන්ගේ නිෂ්පාදනයන්හි ගද්‍ය සංවාද අල්ප වශයෙන් යෙදුන ද ජෝන් ද සිල්වා ආදීන්ගේ නාට්‍යවල ගද්‍ය සංවාද ප්‍රමාණයෙන් වැඩි වුවත් වෙනයම් කිසිඳු වෙනස්වීමක් සිදු වී නොමැත.
තියටර් යන නම පසුව ටීටර් යන නමින් ප්‍රචලිත වූ අතර ගම් දනව් පුරා ටීටර් රඟ දැක්වීමට ගැමි තරුණයන් පුරුදු පුහුණු වීම ද පසුකාලීනව සිඳු වූ විශේෂ ලක්ෂණයක් විය. ඓතිහාසික හා සමාජීය තොරතුරු ප්‍රබන්ධ කිරීමේ හැකියාව ඇති පිරිස් සහ සංගීතය පිළිබඳ හැකියාවක් හා ඇල්මක් ඇති පිරිස් එක්ව රංගන කුසලතා ඇති ගැමි තරුණයන් ටීටර් මඩු නැටීමේ උත්සාහයේ යෙදුණාහ.
ඒ සඳහා පොල්කොට සිටුවා ශක්තිමත්ව සකසනු ලබන වේදිකාවක් සහිත එළිමහනේ ටීටර් මඩුව සකසන අතර පොල් අතු වලින් වහළ සහ ඉදිරිපස හැරෙන විට අනෙකුත් පැති ආවරණය කරනු ලැබේ. පස් ගොඩ ගසා සකසනු ලබන සොකරි, කෝලම්, නාඩගම් වැනි නාට්‍යය විධීන්ට වඩා නෘත්‍ය නාට්‍යයේ වෙනස වූයේ වෙනම රංග ශාලාවක් ඒ සඳහා සකසා තිර වලින් අලංකාර කර, වේදිකා ආලෝකය, ශබ්ද විකාශන ආදී වූ අවශේෂ ප්‍රයෝග එහි දක්නට ලැබීම යි.
ගමේ සකසනු ලබන ටීටර් මඩුව පවා ඒ ආකාරයෙන් අලංකාර කරගනු ලබන අතර කථාන්දරයට අදාල වන ආකාරයෙන් පසුබිම් තිර වරින් වර මාරු කරමින් වේදිකාවෙහි වෙනසක් කර ගැනීම ටීටර් මඩුවෙහි ද දක්නට ලැබේ. ගමින් ගම මේ ආකාරයේ ටීටර් රඟ දැක්වීම වසරින් වසර අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර කාන්තා චරිත පිරිමි පක්ෂය විසින් ඉදිරිපත් කළ ද පසුකාලීනව කාන්තා චරිත සඳහා කාන්තාවන්ම යොදා ගැනීමට හුරුවීම සිඳු විය.
මේ ආකාරයෙන් විවිධ සන්ධිස්ථාන පසු කරමින් ගමන් කළ නෘත්‍ය කලාව පසුකාලීනව බටහිරකරණයට ලක් වූ ආකාරයක් ද දැකගත හැකිය. සිංහල රංග කලාවට වඩා බටහිර මුහුණුවරක් දීමට තැත් කළවුන් අතර ඇස්. ඩී. ස්ටීවන් සිල්වගේ නම සඳහන් කළ යුතුය.
1923 වසරේ දී ඔහු විල්සන් බැරට් නම් ලේඛකයාගේ කෘතියක් වන ද සයින් ඔෆ් ක්‍රෝස් (කුරුසියේ ලකුණ) සකස් කොට නිෂ්පාදනය කළේය. ස්ටීවන් සිල්වා මහතාගේ මීළඟ නිෂ්පාදනය වූයේ ශෙක්ස්පියර්ගේ නාට්‍යයකින් සකස්කොට කරනා ලද ඇන්ටනී සහ ක්ලියෝපැටිරා ය. එම නාට්‍යයන් කොතරමි දුරට බටහිර රංග ශිල්පයේ ප්‍රභවය ලැබුව ද ඒවායේ නූර්ති /නෘත්‍ය ස්වරූපය නොවෙනස්ව පැවතිණි.
නූර්ති නාට්‍ය කිහිපයක්
- රොම්ලින්
- රෝමියෝ සහ ජුලියට්
- ප්‍රෑන්ක්ලෝ සහ ඉංගර්ලි
- පෝටියස් සහ වැලන්ටයින්
- ලියොනයින් සහ එම්ලින්
- සිංහබා
- ෂූලා හෙවත් කපටි බෑණා
- ස්වර්ණතිලකා
- සුදාස සහ ශාලනි
- දිනතර
- දස්කොන්
- පරංගි හටන
- සිරිසඟබෝ චරිතය
- දුටුගැමුණු චරිතය
- අලකේෂ්වර චරිතය
- වෙස්සන්තර ජාතකය දෘශ්‍ය කාව්‍ය
- කුස ජාතකය දෘශ්‍ය කාව්‍ය
- විධුර ජාතකය දෘශ්‍ය කාව්‍ය
- ශකුන්තලා
- රත්නාවලි
- නාගානන්ද
- උත්තරරාම චරිතය
- ඔතැලෝ
- හැම්ලට්
- වැනිසියේ වෙළෙන්දා