මහසෝන් සමයම ශාන්තිකර්මය
per person
දකුණේ ප්‍රචලිතව පවතින යකුන් අරබයා පවත්වනු ලබන ශාන්තිකර්ම අතර සන්නි යකුම, රිද්දි යාගය, සූනියම් කැපිල්ල, මහසෝන් සමයම, කළු කුමාර සමයම හා මහ කළු කුමාර සමයම ආදි වශයෙන් සර්වරාත්‍රිකව බෙර වයමින් පවත්වනු ලබන ශාන්තිකර්ම කිහිපයක් වේ. මේ ශාන්තිකර්ම අතරින් බෙන්තර පළාතට ආවේණික ශාන්තිකර්ම හැරුණු විට ගාල්ල, මාතර පළාතට ආවේණික සුවිශේෂ ශාන්තිකර්මයක් ලෙස මහසෝන් සමයම හැඳින්විය හැකිය.
මෙය අතිශය භයානක ශාන්තිකර්මයක් ලෙස හඳුන්වනු ලබන අතර මරණාසන්න තත්ත්වයේ සිටින රෝගාතුරයන්ට ඉරමුදුන් සමයම සමඟ මෙම ශාන්තිකර්මය පවත්වනු ලබන්නේ දැරහැව පිදේනිය සහිතවය. මහසෝනා විසින් ඇති කරනු ලබන ලෙඩ ලෙස පිස්සු විකාරයෙන් නන් දෙඩවීම, ඔල්මාදය, සිහිවිකල් වී දුව පැන ඇවිදීම, දිය තත්තය, කක්කල් කැස්ස, කෑම අරුචිය සමඟ බඩේ හට ගන්නා රෝග, ඉදිමීම ආදිය ඇතුළත්ය.
මහසෝනා ලෙඩ කරනු ලබන්නේ පාළු කනත්තකදී, සොහොන් පළකදී, තොටමුණකදී බලාපොරොත්තු රහිත ආකාරයෙන් පහර දීමෙන් බව විශ්වාස කරනු ලැබේ. ඊට මහසෝනා ගැහීම යනුවෙන් හඳුන්වනු ලැබේ. මහසෝන් යක්ෂයා ලෙස හැඳින්වීමට වඩා මහසෝන් දේවතාවා යනුවෙන් ව්‍යවහාර කරනු දැකිය හැකිය. ඊට හේතු වන්නට ඇත්තේ ඔහුගේ දේහධාරී ස්වරූපය හා කාය බල ශක්තිය නිසා විය හැකිය.
ගාලු පළාතේ දී ප්‍රධාන රංග සැරසිල්ලෙහි ඉදිරිපස මහසෝනාගේ රුව සිත්තම් කරන බවට තොරතුරු ඇතත් මාතර පළාතේ දී මහසෝන් බලියක් අඹනු ලැබේ. ඒ අනුව ඔහුට අත් සතරක් ඇත. එක් අතක කඩුවක් ද තවත් අතක හෙල්ලයක් ද තවත් අතක පන්දමක් ද ඇති අතර වම් අතකින් ඇතකු අල්ලා ලේ උරා බොමින් සිටියි. බඹරු කෙස් වැටියක් ද නිල් පාට සිරුරක් ද ඇති මහසෝනාගේ වාහනය ඌරෙකි. මහසෝනාට ඊස්වර අවතාරය අනුව නෙත් තුනකි. අසූ අට රියනක් උස ඇති මහසෝනාට පිරිවර තිස් දහසකි.
මහසෝන් උප්පත්තිය
මහසෝනාගේ උප්පත්තිය කවර ආකාරයකින් සිදු වී ඇත් ද යන වග විමසීම සඳහා භාවිතයේ පවතින මන්තර යාදිනි, කවි පන්ති ආදිය සොයා බැලීමට සිදු වෙයි. මහසෝන් උපත් කතා කිහිපයක් සිංහල ශාන්තිකර්ම ක්ෂේත්‍රයෙහි ප්‍රචලිතව පවතින බව පෙනේ.
මෙහිදී විශේෂ කාරණයක් ලෙස සැලකිය හැක්කේ ඓතිහාසික හා ජනකතා මෙන්ම භාරතීය හින්දු කතාන්තරයන්ගේ සම්මිශ්‍රණයක් සහිතව එකී තොරතුරු විකාශනය වී ඇති බවයි. ඉන් එක් කතාන්තරයකට අනුව බස්මාසුරයා අළු වුණු සොහොනේ සොහොන් අඟුරෙන් මහසෝනා උපන් බව කියැවෙයි.
ඒ අනුව බස්මාසුරයා හා සම්බන්ධ කතාන්දරය පිළිබඳව ද අපගේ අවධානය යොමු කළ යුතුව ඇත. එම කතාන්දරය කඳ කුමාර සිරිත මෙන්ම ස්කන්ද පුරාණය හා සම්බන්ධව පවතී. ස්කන්ද පුරාණයෙහි කියැවෙන පරිදි ඊශ්වර ළඟ තිබුණේ යැයි විශ්වාස කරන ගිනිසලා මන්ත්‍රය හෙවත් ඊශ්වර දැහැන ලබා ගැනීම සඳහා බස්මාසුරයා ඊශ්වර ළඟ බැල මෙහෙවර කරමින් සහ භාවනා කරමින් කල්ගත කරන ලදැයි පැවසේ. බස්මාසුර කොතෙක් බණ භාවනා කළ ද ඊශ්වර දැහැන ලබා දීම කෙරෙහි ඊශ්වරගේ අදහසක් නොවූ හෙයින් ඉදිකටු සෑයක් තුඩක් මතට වී අවුරුදු 12 ක් බස්මාසුර සත්‍යක්‍රියා කළ බවට ද තොරතුරු ඇත.
අවසානයේ මන්තර දැහැන ලබාගත් බස්මාසුරයා එහි සත්‍යතාව අත්දකිනා ලෙස ඊශ්වර පසු පස හඹා ගිය බවත් ඊශ්වර බේරා ගැනීමට විෂ්ණු මෝහිනී නම් අවතාරයක් මවාගෙන බස්මාසුරයා එන මඟ ඔන්චිල්ලා පදිමින් සිටි බවත් මෝහිනිය කෙරෙහි සිතු ඇදුණු බස්මාසුරයා ඇය විවාහ කරගැනීමට කැමති බව පවසා සිටි බවක් දැක්වේ. මෝහිනිය පවසා සිටියේ තමා අත් නොහරින බව හිසට අත තබා දිවුරන ලෙසය. තම අතට මතුරා ඇති බව අමතක වී ඇති බස්මාසුරයා තම අත තම හිස මත තබා ගැනීමත් සමඟම ඔහු අළු වී ගිය බව කියැවේ.
බස්මාසුරයා මෙලෙසින් අළු වී ගිය තැනින් මහසෝනා, කුරුම්බරයන් උපන් බවට යාග සාහිත්‍යයෙන් තොරතුරු ලැබේ. මේ අනුව සළකා බලන විට මහසෝනා බස්මාසුරයා දා පුළුස්සා ලූ සොහොනේ උපන් බවට කවි මන්තර ආදියෙන් පවා තොරතුරු ලැබේ.
බලි ශාන්තිකර්මයේ උපන් කතාව
බලි ශාන්තිකර්මය සම්බන්ධයෙන් උපත් කතා දෙකක් ඇත. ඉන් එක් උපත් කතාවක එන ආකාරයට මහා සම්මත රජු තමාගේ ඇඟ මතට සර්පයකු වැටෙනු සිහිනෙන් දැක එ් හේතුවෙන් රජු රෝගාතුර විය. මේ සඳහා නොයෙක් ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබුණි. දක්ෂ බමුණන් ගෙන්වා මෙම සිහිනයෙහි අර්ථය කුමක්දැයි විචාළ කල්හි බමුණන් කියා සිටියේ රජතුමා හට ග්‍රහ දෝෂයක් වැළඳී ඇති බවයි. ඒ සඳහා බලි ශාන්තිකර්මය නම් ශාන්තිකර්මයක් පැවැත්විය යුතු අතර බොහෝ දෙනා එක්වී බලි තනා පේ කර මහා සම්මත රජු වෙනුවෙන් බලි ශාන්තිකර්මයක් කිරීමෙන් එතුමා සුවපත් වූ බවයි.
දෙවැනි උපත් කතාවෙහි තොරතුරු මෙම තොරතුරු වලට වඩා වෙනස් ස්වරූපයක් ගනු ලබයි. විශාලා මහනුවර සිටි එක්තරා කුමාරයෙක් තම පිරිවරත් සමඟ ජල ස්නානයට ගොස් පිරිවරත් සමග විලකට බැස සිත් සේ ජල ක්‍රීඩාවෙහි යෙදුණේය. එකී විල අසල ගසක සිටි වෘක්ෂ දේවතාවියක් ජල ක්‍රීඩාව කිරීම තුළින් කුමාරවරු තමා හට අපහාසයක් සිදු කළා යැයි සිතා කුමාරයා ක්ලාන්ත කළේය. වික්ෂිප්තව බලා සිටි කුමාරයාගේ යාළුවන් හට කිරීමට කිසිවක් නැති කල්හි කැලේට ගොස් වන මල් කඩාගෙන විත් කුමරු ගේ සිරුරට දමමින් ආයුබෝවේවා යැයි කියා කුමරුට සෙත් කළහ. මෙයින් තරමක් සුවය ලද කුමරු මාලිගාවට පැමිණියේය. මෙකී පුවත ඇසූ කුමාරයාගේ පිය රජතුමා වේද වේදාන්ත දත් නිපුණ බමුණන් ගෙන්වා මේ පිළිබඳ විචාර කල්හි බමුණන් කියා සිටියේ මෙය දෙවි දෝෂයක් නිසා හටගත් දෝෂයක් බවත් අසූ එක් ගැබකින් යුත් මල් බලියක් සකස් කොට එය පුද දෙන ලෙසටත් උපදෙස් දුන්හ. ඉක්බිති මාලිගාවෙහි යාගයක් සිදුකොට බලිය පොකුණට කැප කිරීමෙන් කුමාරයා සුවපත් විය.
පූජා විධි
- මහසෝන් සමයමේ පූජා විධි රටාව අනුව ත්‍රිවිධ රත්නයට නමස්‌කාර කොට තොවිලය ආරම්භ කෙරේ.
- “බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ධෘතරාෂ්ට, විරූඨ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දෙවියන්ගේ ආනුභාවයෙන් ආඥවෙන් අද මෙතනදී කරන්න යන යාග ශාන්ති කර්මයෙන් සෙතක් ශාන්තියක් අත්වෙනවයි මෙම ශරීරයට වැලඳ තිබෙන්නා වූ සියලු දෝෂාන්ධකාරයන්, යක්‍ෂ දෝස, දෙවි දෝස දූරින් භූත වෙනවයි කියල හිතින් හිතාගෙන පොල්තෙල් පහන අතට අරගෙන ගිහින් ආතුර පන්දලමෙන් වාඩිවෙන්න.” කියා ආරම්භ කරන තොවිලය කලුයකා, බිල්ලේ යකා, ඇතුළු යකුන්ට පිදේනි දී දිෂ්ටි මන්තර යාදින්න කොට ආශිර්වාද කවි, සිරස පාද කවි, ගායනා කොට ආවැඩීම් කර අභිමතා පිදෙන්න, දුම්මල උප්පැත්තිය ගායනා කෙරේ.
- ආතුරයා ආවේශ කිරීම
මෙහිදී ආතුරයා ආවේශ වීමෙන් පසු නටවා ප්‍රශ්න කරනු ලැබේ. ආවේශ ආතුරයා යකදුරා අතේ ඇති ඊගසට අවනත වේ. ඇඟට ආරූඪ වී ඇති යක්‍ෂයා විසින් ආතුරයාගේ පාලනය තමා නතුකර ගනී. එතැන් පටන් ආතුරයා කරන කියන සියලු දේ කරනු ලබන්නේ ආවේශ යක්‍ෂයා විසිනි. සමහර අවස්‌ථාවන් වලදී කුකුළා අතට ගන්නා ආතුරයා කුකුළාගේ බෙල්ල කඩා ලේ බොන අවස්‌ථා ද වෙයි. ඉතා වේගවත් බෙර පද නැටුම් වලින් පසු ආතුරයාට සිහිය නැති වී වැටෙන අවස්‌ථා ද වෙයි. පසුව කුකුළා අතට ගන්නා ඇදුරා කුකුළාගේ පිහාටුවක් ගලවා තම හිසේ කෙස් ද පුළුස්‌සා යකුන්ට පුදා ආතුරයා ළඟ කුකුළා තබා සුදු රෙද්දකින් වසා ඒ මත අයිලයක් හා විලක්‌කු පත්තු කර දුම්මල මතුරා දිෂ්ඨි කරනු ලබන අතර මතුරනු ලැබූ දුම්මල කීලක් කුකුළාට ගසනු ලබයි. - යකුන් වෙනුවෙන් පැවැත්වෙන යාග වලදී කුකුළා අනිවාර්ය වෙයි. මෙහිදී රෝගාතුරයා බේරාගනු ලබන්නේ නරබිල්ල වෙනුවට කුකුළු බිල්ල දීමෙනි. කුකුළාගේ ලේ මස් යකුන්ට කැප කර ආතුරයා යකුන්ගෙන් ගලවා ගනී.
- මහසෝනා රඟමඬලට පැමිණීමට පෙර උප්පත්ති කවි ගායනා කරති.
- දිගු කෙස් වැටියක් සහිතව වලස් මුහුණක් බැඳ දැතින් පන්දම් අතැතිව සභාවට අවතීර්ණ වන යකුගේ ස්‌වරූපය අතිෂය බියකරුය. බෙර පදට නටමින් ආරූඪ දොල පුදා ළඟට පැමිණ ඒවායේ සුවද විඳියි. ඉන් පසු මහසෝන් දිෂ්ඨිය වේගයෙන් ආතුරයා වටා නටයි.
- මන්ත්‍ර ජප කිරීම් වලින් පසු මහසෝන් යක්‍ෂයා යකදුරු විසින් අවනත කර ගනී. යකදුරාත් යක්‍ෂයාත් අතර වන සංවාද වලින් පසුව රෝගාතුරයා හැර යන බවටත් එසේ යන විට සලකුණක් තබා යන බවටත් ප්‍රකාශයක් ලබා ගනී. මෙහිදී නියමිත වේලාවකදී හූ තුනක් තියමින් නිවස ආසන්නයේ ඇති ගසකින් අත්තක් කඩාගෙන යන බවට පොරොන්දු වෙයි. මහසෝන් සමයමකදී මෙවැනි සලකුණක් තබා ආතුරයාගේ ඇඟෙන් දිෂ්ඨිය ඉවත් වීම ශාන්තිකර්ම වලදී සත්‍ය වශයෙන්ම සිදුවන සිදුවීමකි.
- දිෂ්ඨි මන්තර යාදිනි කන්නලව් උපත් කවි කියා නැටීමෙන් පසු ආතුරයාගේ අතින් පඬුරු ගෙන සියලු දෝශයන් දුරුකොට මුහුණ අත පිස දමා ආතුරයාට ආවඩයි.