රිද්දියාගය හෙවත් රටයකුම
per person
දකුණු පළාතේ අතිශයින් ප්‍රචලිත කාන්තාවන් උදෙසා පමණක් පවත්වනු ලබන ශාන්තිකර්මය රිද්දියාගය හෙවත් රටයකුම යන නමන් හඳුන්වනු ලබයි. මෙය දරුවන් නොමැති කාන්තාවන් උදෙසා දරුඵල අපේක්ෂාවෙන් මෙන්ම පිළිසිඳ ගත් දරු ගැබ අතුරු ආන්තරාවලට ලක් නොවී ආරක්ෂා කර ගැනීම උදෙසා පවත්වනු ලබන ගර්භ සංරක්ෂණ වත් පිළිවෙත් ක්‍රමයක් ලෙස ද පවත්වනු ලබයි.
අතිවිශාල රංග භාණ්ඩ සහ රංග සැරසිලි රැසකින් සමන්විත රිද්දියාගය යනු ආරම්භයේ සිට අවසානය දක්වා රසවිඳිය හැකි ආකාරයේ රංග පෙළපාලි විධීන්ගෙන් පරිපූර්ණ වේ. මෙම යාගය දෙස ඕනෑකමින් බලන්නෙකුට මෙහි අන්තර්ගත වන්නේ භූත විද්‍යාත්මක වත් පිළිවෙත් ක්‍රමයට එහා ගිය මනෝ චිකිත්සක ක්‍රියාවලියක් ද ඇතුළත් බවක් නිරීක්ෂණය කළ හැකි බවය.
කාන්තාවන්ට දරු ගැබ් පිහිටීම වළකනු ලබන්නේත් පිළිසිඳ ගත් ගැබ අතර මඟදී විනාශ කරනු ලබන්නේත් කලුකුමාරයා විසින් යැයි සමාජයේ පවත්නා විශ්වාසය අනුව කලුකුමාර ඇදහිල්ල සමඟ රිද්දි ඇදහීම සම්මිශ්‍රණය වූ ආකාරයත් මෙහිදී දැක ගත හැකිය. රිද්දි බිසෝවරු ලෙස සැලකෙන මුදුන්මාල, ධර්මපාල, රනකපාල, කොණ්ඩමාල, ඕන්කාර, ගිරිමේකල, එර්දි යන සත්දෙනා සහ කලුකුමාරයා ප්‍රමුඛකොට මෙම යාගයේ වත් පිළිවෙත් සැකසී ඇත.
පුරාවෘත්ත කථාව
පුරාවෘත්ත කථාවලට අනුව මහාමේරුව පළාගෙන උපන් ගින්නෙන් රිද්දි බිසෝවරු සහ රිද්දි යක්ෂනීන් උපන්නාහ. එම බිසෝවරුන්ට එර්දි වරම් ලැබීමත් සමඟම ඔවුන් එර්දි හෙවත් රිද්දි බිසෝවරුන් බවට පත් වූ බැව් අදාළ යාග සාහිත්‍යයේ කියැවෙයි.
දීපංකර බුදුන් සමයෙහි සිදු වූවක් ලෙස සැලකෙන මෙම රිද්දි බිසෝවරු දරුවන් නැති ශෝකයෙන් පසු වූ අතර නෛමිත්තකයන්ගේ උපදෙස් පරිදි නැව් නැග ලංකාද්වීපයට පැමිණ දකුණේ උස්සන්ගොඩ නම් වූ ස්ථානයෙන් ගොඩ බැස්සාහ. වලවේ ගංතෙර ආසන්නයට පැමිණි සත්බිසෝවරු උස්සන්ගොඩ විලෙහි ස්නානය කර පිරිසිදු වී හේනක් කොටා කපු වපුරා ඉන් හටගත් කපු වලින් නොඉඳුල් සලුවක් වියා කඨින චීවරයක් ලෙස බුදුන්ට පූජා කිරීමෙන් අනතුරුව බිසවුන් සත්දෙනාට දරු ගැබ් පහළ වූ බවත් එ් අනුහසයෙන් ආතුරයන්ට සෙත් පැතීමත් සිඳු කෙරේ. උස්සන්ගොඩ විලේ ස්නානය කිරීම නානුමුරයෙනුත්, හේනක් කොටා කපු වපුරා සලුවක් විවීම කපුයක්කාරියෙනුත්, ඉන් අනතුරුව දරුවන් ලබා ගන්නා ආකාරය දරු නැළවීමෙනුත් අනුකරණය කෙරේ.
සැරසිලි
රිද්දියාගයෙහි ප්‍රධාතතම රංග සැරසිල්ල වන්නේ නවමල්පාය හෙවත් මල්මඬුවයි. එය සකස් කළ යුතු ආකාරය පිළිබඳ කාව්‍ය ප්‍රබන්ධයක සඳහන් කර ඇත. අට රියනක් දිග පස් රියනක් පළල වූ වපසරියක කණු 44 ක් සිටුවා හරස් අතට එළන ලද දඬු 17කින් යුතු මැස්සක් රූප සටහනේ පෙන්වා ඇති ආකාරයෙන් සකස් කරනු ලැබේ. තිත් දක්වා ඇති ස්ථාන වලින් ලී 44 සිටවනු ලබයි. එම සැලැස්ම ගොප් අතු සහ කෙසෙල් පතුරු ආශ්‍රයෙන් අලංකාර කරගනු ලබයි.
මෙම ශාන්තිකර්මයේ දී කලුකුමාරයා වෙනුවෙන් දොළ තැබීම සඳහා වෙනම වීදි සැරසිල්ලක් සකසනු ලබයි.එය වටකුරු වීදිය හෙවත් කුමාර වීදිය ලෙස හඳුන්වනු ලැබේ. එම වීදි සැරසිල්ල වට වූ තොරණ 4 ක් සහිතව මධ්‍යයේ රුක්අත්තන කරුවක් සහිත ආසනයක් සකසන අතර ආතුර කාන්තාවගේ හිස මතින් රැගෙන එන කුමාර පිදේනිය පෙරහරක් සමඟ පැමිණ එම වීදියෙහි රුක්අත්තන කරුව මත සකසා ඇති යහනාවෙහි තැන්පත් කරනු ලැබේ.
කුමාර පිදේනිය | රුක්අත්තන කරුව |
පිල්ලු වීදිය, කුමාර පිදේනිය, කත්තිරික්ක, සින්නිකූඩුව හා දහ අට පාලි තොරණ
රංග සැරසිලි ලෙස සරල සැරසිල්ලක් වූ පිල්ලු වීදිය හෙවත් සූනියම් වීදිය රඟමඩලට තරමක් ඈතින් සකසනු ලැබේ. යාගය ආරම්භ කරනු ලබන්නේ පිල්ලු වීදියට දොළ පුදා කැපකර දීමෙන් අනතුරුවය. අලංකාර ලෙස නෑඹිලියක සකසනු ලබන වටකුමාර පිදේනිය වටේට කුඩා පිදවිලි සතරක් සහ මුදුනට පිදවිලි එකක් සහිතව කෙසෙල් පතුරු සහ ගොප්කොළ සැරසිලි සහිතව අලංකාර කෙරේ.
සන්නි සහ පාලි සභාගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන සැරසිලි කිහිපයකි. සන්නි සහ පාලි සභාගත වන්නේ දහ අට පාලි තොරණ පිටුපස සිට වන බැවින් එහි මධ්‍යයෙහි ආවාටයක් සහිතව දෙපස කෙසෙල් පතුරු ආශ්‍රයෙන් ආවරණය කරනු ලැබේ. සන්නි යකුන්ට දොළ තැන්පත් කර තැබීම සඳහා සන්නි කූඩුව හෙවත් කපාල කූඩුව නම් වූ සැරසිල්ලක් සකස් කරනු ලබන අතර හැන්දෑ යාමයේ දී යකුන්ට දොළ දීම සඳහා සකසනු ලබන කතිර ආකාරයේ සැරසිලි කත්තිරික්ක ලෙස හැඳින්වේ.
පිල්ලු වීදිය | කත්තිරික්ක | දහ අට පාලි තොරණ |
රංග භාණ්ඩ
රිද්දියාගයට අයත්ව ඉදිරිපත් වන රංග පෙළපාලිවල දී භාවිතා කරන රංග භාණ්ඩ රැසකි. ඒවා කෙසෙල් බඩයෙන්, ගොප් කොළයෙන්, තැඹිලි ලෙල්ලෙන් අලංකාරව සකසා භාවිතයට ගැනෙයි. නානුමුර පෙළපාලියේ දී භාවිතයට ගැනෙන පිටවරල සහ හවරිය ගොප් කොළ සිහින්ව ඉරා සකස් කරගනු ලැබෙයි. තෙල් කුප්පිය, සබන් කෑල්ල සකස් කරගනු ලබන්නේ කෙසෙල් බඩයෙනි. පනාව, කූර තැඹිලි ගෙඩියක පිට ලෙල්ලෙන් සකසා ගැනේ. කැඩපත සකස් කරගනු ලබන්නේ කෙසෙල් පතුරු ආශ්‍රයෙනි. කපුයක්කාරිය පෙළපාලියේ දී භාවිතයට ගන්නා කපු ගස, කපු කටින යන්ත්‍රය ඇතුළු නඩාව, වෙල්ලිය, වලුකූර, වවුන්න ආදී වූ රංග භාණ්ඩ සියල්ල කෙසෙල් පතුරු හා ආදේශ භාණ්ඩ යොදා ගනිමින් සකසා ගනු ලැබේ.
කැඩපත | කූර | හවඩිය | කපු ගස |
පනාව | සබන් කැටය | කපු යන්ත්‍රය |
පුද පූජා රටාව
මෙම යාගය පටන් ගැනීමට ප්‍රථම බුදුන් සරණ යා යුතු ය. ඒ සඳහා ඇදුරා පූර්ව සූදානම් විය යුතුයි. ඊට පෙර ඇදුරා නා පිරිසිදු වී පිරුවට ඇඳ සූදානම් වීම යාග ආරම්භයේ දී සිරිත වේ. මෙම යාගය පැවැත්වීම සඳහා සතියේ දින හතෙන් සඳුදා, බදාදා හැර අනෙකුත් දිනයන් යොදා ගත යුතු බව යාග ප්‍රබන්ධයෙහි සඳහන් වේ.
යකුදුරු පක්ෂය පමණක් නොව රෝගාතුරයා ද කිළිකුණු ආදියෙන් වැළකී දින හතක් පේවී සිට දෙහි ගා නා පිරිසිදු වී ශ්වේත වස්ත්‍රයෙන් සැරසී සිට පිරුවටයක් හිස සිට පොරවා ගනිමින් යාග භූමියට පැමිණෙන ආතුර කාන්තාව අසලට පැමිණෙන යකැදුරු තැන පන්දම ඊ ගහ සහ වස්දණ්ඩ රැගෙන පැමිණී ඇයගේ සිත යම් ආකාරයකින් සමාධි කරනු ලබයි. මෙහිදී රෝගාතුරයාගේ සිතට කා වද්දනු ලබන්නේ මෙම යාගයෙන් පසුව ඇයට වැලඳී තිබෙන්නා වූ රෝග පීඩාවන් දුරුවන බවයි. රෝගාතුරයා ඉදිරියෙන් තබා ඇති යකුන්ගේ පිදවිනි තටුවලට බත් භෝජන ආදිය පුදා විලක්කු දල්වා ආතුරයාත් පිදවිනි සහිත යකැදුරාත් වෙන්වන සේ කඩතුරාවක් අදිනු ලබයි. යකදුරා විසින් දිෂ්ටි මන්තර කියා යකුන්ට අඩ ගසා, යාදිනි, කන්නලව් ආදිය කියා අටකොනින් යකුන් කැඳවා ආතුර කාන්තාව දුකින් මුදවන ලෙස අයදීමෙන් ආතුර කාන්තාවට දැනෙන්නේ සැබැවින්ම යකුන් පැමිණ බත් භෝජන කැප ගන්නා වගයි.
කඩතුරාව මඟින් අදාල දර්ශනය කොපෙනෙතත් කියන කියමන් අනුව ඇයගේ සිතට එවන් අදහසක් දැනේ. අවසානයේ දුම්මල කීර ගසා කඩතුරාව ඉවත්කරනවාත් සමඟ ඇයට දර්ශනය වන්නේ විශාල ගිණි ජාලාවකි. ඉන් ඇඟවෙන්නේ ලෙඩකල යකුන් බත් භෝජන පිළිගෙන රෝ දුක් දුරුකර පිටවී යන බවකි. මේ තුළ ගැබ්ව ඇත්තේ මනෝ චිකිත්සක ක්‍රියාවලියකි. අනතුරුව යකදුරා විසින් ගයනු ලබන සිරසේ සිට දෙපතුල දක්වා දොස් දුරු කරවමින් සිරස පාද කවි ගායනාවලින් ඇයගේ සිතට ශාන්තියක් අත්වෙයි. මෙයට පසුව කුමාර සමයම් නැටීම, පැඳුරු උපත හා පැඳුරේ දැපවිල්ල, මහ සමයම හෙවත් රිද්දි සමයම, හත්පද පෙළපාලි සහ කොතල නැටවීම, නව මාලේ මල්බලිය සහ රිද්දි බිසවුන්ට ආරාධනා කිරීම, නානුමුර පෙළපාලිය, කපුයක්කාරිය, දළුමුර කැඩීම සහ දරු නැළවීම, රොඩී පිදේනිය හෙවත් කුල්ලේ පිදේනිය, පාලි සහ සන්නි නැටීම, අලුයම් යාමයට කළුකුමාර සමයම නැටීම සහ අවතාර ඉගිල්ලීම ආදී අංගයන් පිළිවෙලින් සිඳු කරනු ලබයි.
මෙම ශාන්තිකර්මයේ අවසාන පිළිවෙත වන්නේ කළුකුමාර බලිය පාවාදීමයි. දරුවන් කොහෙත්ම නැති වඳ ස්‍ත්‍රියකට නම් සන්නි කළුකුමාර බලියත් දරුවන් ලැබීමට සිටින කාන්තාවක් නම් කළුකුමාර බලියත් පාවා දිය යුතුය. අවසානයේ ආරක්ෂක නූල් ගැටගසා රෝගාතුරයා ආරක්ෂා කර දෙවියන්ට පිං දී යාගය අවසන් කරනු ලබන්නේ පිං බෙර ගැසීමෙනි. ආතුරයා නිවසට පිටත් කර හරිනු ලබන්නේ තමන්ගේ ආරක්ෂාවට ඊ ගස ද ළඟ තබා ගන්නා ලෙස ඊ ගස ලබා දීමෙන්ය.