සාම්ප්‍රදායික සොකරි නාටකය
per person
දේශීය ගැමි නාටක කලාව මානව සංස්කෘතිය තුළ පැවැති ඇදහිලි, විශ්වාස, සිතුම්-පැතුම්, ජීවන වෘත්තීන් හා බැඳි වත් පිළිවෙත් ආදිය මුල් කොට ගෙන එහි හර පද්ධතීන් උකහා ගනිමින් පෝෂණය වූ නාටක කලාවකි. සොකරි, කෝලම්, නාඩගම් හා කවි නාඩගම් සහ රූකඩ එසේ බිහි වූ නාට්‍ය කලාවන් ලෙස හැඳින්විය හැකිය. මේ අතුරින් සොකරි ගැමි නාටකය ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශයට අයත් මහනුවර, මාතලේ, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශයන් හි ව්‍යාප්තව පවතී. මෙම ගැමි නාටකය ශ්‍රී ලංකාවේ ඉතාම පැරණිම ජන නාටකය ලෙස පිළිගැනේ.
සොකරි නාට්‍යයෙ හි බොහෝ විට දක්නට ලැබෙන්නේ, ග්‍රාමීය ලක්ෂණයන් ය. මෙහිදී යොදා ගනු ලබන සංවාදයන් හි වචන උවමනාවෙන්ම තේරුම් ගැනීමට අපහසු බව ඇඟ වීමත්, එකම ක්‍රියාව පුන පුනා නිරූපණය කිරීම, හාස්‍ය රසය උත්පාදනය කිරීම, සුළු සිද්ධීන් පවා දිගින් දිගටම පුන පුනා නිරූපණය කිරීම, නාට්‍යයෙහි ගොනු කිරීමක් නොමැති වීම ආදී කරුණු නිසා මෙහි ඇති ග්‍රාමීය ලක්ෂණ විදහා පානු ලබයි.
කවිය මූලික කොට ගෙන නර්තනය, අභිරූපණය, නිරූපණය, නිරූපණ හා සංවාද යොදා ගනිමින් ගුරුහාමි, සොකරි හා පරයා යන තිදෙනා මූලිකව ගොඩ නැගුණු කතා ප්‍රවෘත්තියක් ප්‍රේක්ෂකයා වෙත ගෙන හැර දැක්වීම සොකරි නාට්‍යයෙ හි දක්නට ලැබෙන සාමාන්‍ය ස්වරූපය යි.
සොකරි ගැමි නාටකය විනෝදාස්වාදය පිණිස කරනු ලබන නාටකයක් ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීම යි. එහෙත් ප්‍රාථමික ජන කොටස් අතර භාවිත සශ්‍රීකත්වය අරබයා කෙරෙන අභිචාර විධීන් හි ඇතැම් ලක්ෂණ සොකරි නාටකය තුළින් විද්‍යාමාන වේ. සොකරි නාටකය සශ්‍රීකත්වය මෙන්ම රෝග නිවාරණය, අස්වනු සරුසාර කර ගැනීම වැනි කරුණු අපේක්ෂාවෙන් ද පැවැත්වෙන නාටකයක් ලෙස ද හැඳින්විය හැකිය.
සොකරි නාටකයේ ඇතැම් චරිත සඳහා වෙස් මුහුණු පැලඳීම සිදු කරනු ලැබේ. වෙස් මුහුණු නිර්මාණය සඳහා භාවිතා කරනු ලබන්නේ කොළපත් ය. කල් වේලා ඇතිව නිර්මාණය කරගත් මුහුණු සොකරි නාටකයේ භාවිතා නොවන අතර, අවස්ථානුකූලව අවට පරිසරයෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය භාවිතයෙන් වෙස් මුහුණු සහ රඟමඬල නිර්මාණය කරනු ලැබේ. එසේම රංග වස්ත්‍රාභරණ සඳහා යොදා ගනු ලබන්නේ, ගැමියා එදිනෙදා නිවෙස්වල දී අඳින පලඳින ඇඳුම් පැලඳුම් ය. ගුරුහාමි, සොකරිය හා සහාදූතයා සඳහා පමණක් කල් වේලා ඇතිව ඇඳුම් සකසා ගනී. එහෙත් චරිත ස්වභාවය පිළිබිඹු වන අයුරින් කොළපත් වලින් මුහුණු නිර්මාණය කිරීම ඉතා භාරදූර කාර්යයක් වන අතර, මනා සංයමයකින් එය කළ යුතු වේ. එසේම එම වෙස් මුහුණු තාවකාලික වෙස් මුහුණු වේ. එහෙත් එක් එක් චරිත ස්වභාවය අනුව සකසා ගනු ලබන මුහුණු ආකෘතිය එකිනෙකට වෙනස් වේ. නරඹන්නා තුළ චරිතයේ ස්වභාවය පිළිබඳව යම් අදහසක් ඇති කරලීමේ අරමුණ ඇතිව කොළපත් මුහුණු නිර්මාණය කිරීම විශේෂත්වය කි. මෙය මුහුණු නිර්මාණකරුවාගේ සුවිශේෂී දක්ෂතාවය කි.
සොකරි නාටකයට මූලික වූ කතා පුවත
ඉන්දියාවේ කාසි දේශයේ සිටින ගුරුහාමි නම් වූ ආඬි ගුරෙක් සොකරිය නම් වූ රූමත් තරුණ ළඳක් සරණ පාවා ගනී. ඔවුන්ගේ මෙහෙකරුවා පරයා නම් වේ. හරියාකාර ජීවනෝපාය මාර්ගයක් නොමැති මොවුන් සාස්තර කීම සහ ගරුකම් කිරීමෙන් මුදල් සොයමින් විවිධ ප්‍රදේශයන් හි සැරිසරති. මේ අතර සොකරියට දරු ඵල ද නොමැති බව දැනගන්නට ලැබේ. එම නිසා හරියාකාර රැකියාවක් සොයා ගැනීමට සහ සොකරියට දරුඵල අපේක්ෂාවෙන් සිංහල දේශයට පැමිණීමට තීරණය කරයි. ශුභ මොහොතින් පිටත්ව නැව් නැග මුහුදු හතක් තරණය කොට ලක්දිව වැලිමන්නා තොටට ගොඩ බසී. සිව්වරම් දෙවියන්ගෙන් ලංකාවට ඇතුළුවීමේ දී ඇතිවන බාධක මැඬ ගෙන පත්තිනි දේව තොටමුණෙන් වරම් ගෙන පිරිස තඹරාවිට ගමට පැමිණේ. එහි සිටින යමක්කමක් ඇති අයෙකු වන තඹරාවිට වෙදරාලගේ අනුමැතියෙන් ඔහුට අයිති ඉඩමෙහි පැලක් අටවා ගෙන බිම ගොම ගා පිඑිසිදු කර එය වාසස්ථානයක් කර ගනී. අනතුරුව ආහාරයට යමක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් ගමේ ඇවිද යති. සිංහල හරිහැටි නොදන්නා ගුරුහාමිට නොයෙකුත් බාධක, කම්කටොලුවලට හා අතවරයන්ට මුහුණ දීමය සිඳු වේ. අනතුරුව අපහසුවෙන් වී ටිකක් සොයා ගන්නා ගුරුහාමි මඩමට පැමිණ සොකරි ලවා වී වේලා, කොටා, පොළා, සහල් ලිප තැබීම සඳහා වතුර ගෙන එන ලෙස ගුරුහාමිට දැනුම් දෙයි. වතුර ගෙන ඒමට නික්ම යන ගුරුහාමිගේ කකුල ගමේ වෙදරාලගේ බල්ලා සපා කනු ලැබේ. බොහෝ අපහසුවෙන් මඩමට පැමිණෙන ගුරුහාමි බිම ඇද වැටේ. ගුරුහාමි මිය ගොස් ඇතැයි සිතන පරයා සොකරිය අනාචාරයට පොළඹවා ගැනීමට තැත් කරයි. පරයාගේ උත්සාහයට අවනත නොවන සොකරිය පරයා සමඟ උරනව වහාම වෙදරාල කැඳවා ගෙන එන ලෙසට අණ කරයි. වෙද රාල සොයා යන පරයා ගුරුහාමිගේ කකුල බල්ලකු සපා කා ඇති බැවින් වෙදරාලට පැමිණ වෙදකම් කරන ලෙසට ඉල්ලා සිටී. එහෙත් වෙදරාල ප්‍රකාශ කරන්නේ සොකරිය ගොස් තමාට ආරාධනා කළොත් මිස තමා නොපැමිණෙන බවයි. පරයා විසින් මෙය දැන් වූ පසු සොකරිය ගොස් වෙදරාල කැඳවා ගෙන එනු ලැබේ.
බොහෝ වේලාවක් ගුරුහාමිට වෙදකම් කරන වෙදරාල සොකරියට අඳුනක් දී හාද වී අලුයම් කාලයේ දෙදෙනාම පලා යති. අනතුරුව සුවය ලැබූ ගුරුහාමි සොකරිය නොමැති සොවින් කතරගම දෙවියන්ට බාරවී කන්නලව් කර පේනයක් අසා සොකරිය සිටින තැන දැනගනු ලැබේ. සොකරිය සොයා යන ගුරුහාමි තමා නිදොස් බව පවසා සොකරිය හොඳින් රැක බලා ගන්නා ලෙසට පරයාට පවසයි. මේ අතරතුර සොකරියට දරුවකු ලැබීමේ සලකුණු පහළ වේ. සියලු දෙනාගේ සහයෙන් දරු ප්‍රසූතිය සිදු කරන සොකරියට බිහි වූ දරුවා සභාවට පෙන්වා නැළවිලි ගී ගයා තෑගි බෝග ලබා ගනී. මෙම ප්‍රවෘත්තිය කවි ගායනා, සංවාද සහ චරිත නිරූපණ මාර්ගයෙන් ඉදිරිපත් කිරීම සොකරි නාටකයක දී දක්නට ලැබේ.
සොකරි නාටකයේ චරිත නිරූපණය
ප්‍රාදේශීය වශයෙන් හා එක් එක් ගුරුකුල අනුව සොකරි කණ්ඩායම්වල දක්නට ලැබෙන චරිතවල විවිධතා තිබේ. කෙසේ නමුත් සොකරි, ගුරුහාමි හෙවත් ආඬිගුරු, පරයා සොත්තානා, වඩුරාල, වෙදරාල සහ කපුවා යන චරිත කවර සොකරි කණ්ඩායමක වුව ද දක්නට ලැබෙන චරිත වේ. මෙහි විශේෂත්වය වන්නේ, සියලු චරිත රඟදක්වනු ලබන්නේ පිරිමි පක්ෂය වීමයි.
සොකරි නාටකයේ රංගනය අතරතුර බොහෝ විට සංවාද භාවිත වේ. මෙම සංවාද ගැමි වහරකින් යුක්ත වන අතර මෙහි දී භාවිතා වන වචන ඉතාම ග්‍රාම්‍ය බවින් යුක්තය. උඹ, තෝ, බොල, වරෙං, පලයං, හිටපං, යකෝ ආදි වචන ඊට නිදසුන් ය.
අප සොකරි නාටකයේ අන්තර්ගත සෑම චරිතයක්ම පාහේ සමාජයේ අප අතර ජීවත්වන එකට නිතර ගැවසෙන අපට පුරුදු චරිතයන් ය. විශේෂයෙන්ම මෙම චරිත වලින් නිරූපණය වන්නේ, එම පුද්ගල චරිතවල සැඟවී සිටින යථාර්ථවාදියා මිස මතු පිටින් පෙනෙන සාමාන්‍ය ජීවිතය නොවේ.
සොකරි රංගභූමිය සහ රඟමඬල සැරසිලි
සොකරි රඟමඩල වනුයේ කමත යි. නොඑසේ නම් වැඩි දෙනාගේ කැමැත්ත මත ඒ සඳහා ඉඩකඩ සහිත එළිමහන් සුදුසු ස්ථානයක් තෝරා ගනී. මෙකී ස්ථානය හේතුවෙන් ප්‍රේක්ෂකයන් අතර ගොඩ නැගෙන ඍජු සම්බන්ධතාවය දුරස් වීමට ඉඩකඩ තිබේ.
ශිල්පීන්ගේ රංග කාර්යය සඳහා ඇඳුම් ආයිත්තම් වලින් සූදානම් වීමට සහ දෙවිවරුන්ට මල් යහන් දීම සඳහා තබනු ලබන මල් පැලට පිටුපසින් ශිල්පී මඩු ගෙයක් සාදා ගනු ලැබේ. මල් පැල සාදා ගනු ලබන්නේ ගොක් අතු, හබරල කොළ, කෝටු භාවිතා කරමිනි. මෙම මල් යහනෙහි නාථ, විෂ්ණු , කතරගම, පත්තිනි, දැඩිමුණ්ඩ සහ සූනියම් දෙවිවරු වෙනුවෙන් පහන් පැල් වෙන් කරනු ලැබේ.
සොකරි නාටකයේ ආරම්භක කාර්යය වන්නේ මල් යහනෙහි පහන් දැල්වීම යි. එසේම සොකරි නාටකය අවසානයේ දී කිරි උතුරුවා වස්දොස් හැරීමේ චාරිත්‍රය ඉටු කරනු ලබන්නේ ද මල් යහන ඉදිරිපස සිට ය. සාම්ප්‍රදායික සොකරි නාටකයක් සඳහා රංගභූමි අලංකරණය සිදු කෙරෙන්නේ රඟමඩල වටා පොල් පන්දම් පත්තු කිරීමෙන් සහ රඟමඩල මැද මුනින් අතට තබා ඇති වංගෙඩියක් මත තබන ලද ලන්තෑරුම භාවිතා කරමිනි. පසු කාලයේ දී එය පෙට්ට්‍රල් ලාම්පු මඟින් ද රංග කාර්යයට අවශ්‍ය ආලෝකය සපයා ගනු ලැබේ. රඟමඩලෙහි තමාට අභිමත ස්ථානයක සිට සොකරි නාටකය නැරඹීමට ප්‍රේක්ෂකයාට ඉඩ ප්‍රස්ථාව සැලසුණු අතර, කවර වේලාවක වුව ද පැමිණීමට හෝ පිටව යාමට බාධාවක් නොවුණි.
සොකරි නාටකය හා බැඳි චාරිත්‍ර විධි
දේශීය ශාන්තිකර්ම කිරීමේ දී මෙන්ම සොකරි නාටකය රඟදැක්වීමේ දී ද පේ වීම සිඳු වේ. පේ වීම යනු කාර්යය සඳහා සූදානම් වීම නැතහොත් කැපවීමයි. මෙය මාස තුනක කාලයකට යොදා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය යි. මෙම කාල සීමාව තුළ මස් මාංශ අනුභවයෙන් හා කිලිවලින් වැළකී සිටීම පමණක් නොව ස්ත්‍රීන් හා සංවාසයේ යෙදීමෙන් පවා වැළකී සිටී. මෙසේ කිරීමෙන් ඉටු කරන කාර්යයෙහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවේය යන විශ්වාසය ඔවුන් තුළ තිබේ.
සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික සොකරි නාටකයක් පැවැත්වීම සඳහා බාරවීම සිඳු කෙරෙන්නේ ඒ සඳහා පඬුරක් ගැට ගැසීමෙනි. පුරාණයේ දී සොකරි නාටකය රඟදැක්වීම නොකඩවා දින හතරක් පුරා සිදුව තිබේ. එහෙත් අද්‍යතනයේ සොකරි නාටකයක් පැවැත්වෙන්නේ එක් දිනක දී පමණි. සොකරි නාටකයක් පැවැත්වෙන්නේ එක් දිනක දී පමණි. සොකරි නාටකය අවසන් වීමෙන් පසුව කිරි උතුරුවා ගමට රටට සෙත් පතා සොකරිය පැවැත්වීමට බාර වූ බාරය ඔප්පු කිරීම සදහා පත්තිනි දේවාලයකට යාමත් චිරාගත සම්ප්‍රදාය යි.
සොකරි නාටකය රඟ දැක්වීමේ දී ඒ සඳහා භාවිත ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ ගැටබෙරය යි. එහෙත් ඌව ප්‍රදේශයේ දී ඒ සඳහා දවුල භාවිතා කරන අතර වන්නි ප්‍රදේශයේ දී උඩැක්කිය භාවිතා කරනු ලැබේ. තාල වාද්‍ය භාණ්ඩ ලෙස ගනු ලබන්නේ තාලම්පටයි. සොකරි නාටකය සඳහා වාදනය සැපයීමේ දී සංකීර්ණ පද භාවිතා නොකරන අතර සරල බෙර පද වාදනය කිරීම සම්ප්‍රදාය වේ.
සොකරි නාටකයේ නර්තනය සඳහා යොදා ගෙන ඇති චලනයන් ඉතාමත් සරල වන අතර ගුරුහාමි උඩරට ගොඩ සරඹ මාත්‍රා භාවිතයෙන් නර්තනය ඉදිරිපත් කර ඊට අදාල කෙටි කස්තිරම් නැටීම සිඳු කෙරේ. සොකරිය පළමු ගොඩ සරඹයට සමාන අඩි, දෑඩිය, ගමන් මාත්‍රය වැනි අඩි පාගනු ලැබේ. සොකරි නාටකය පුරාවට බොහෝ විට දක්නට ලැබෙන්නේ ගමන් කාල හා අනුකරණාත්මක ප්‍රකාශන සහිත චලනයන් ය. සොකරි නාටකයේ කතා පුවත ගෙන හැර දැක්වීමේ දී කවි ගායනයට මෙන්ම සංවාදයන්ට ප්‍රමුඛස්ථානය ලැබේ. හාස්‍ය රසය ජනිත කරවීම සඳහා හැකි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගැනීම මෙහි විශේෂත්වය කි.
සොකරි නාටකය අවසන් වන්නේ සොකරිය දරු සුරතල් පෙන්වා ප්‍රේක්ෂකයාට දරුවා පෙන්වමින් තෑගි බෝග ලබා ගැනීමෙන් අනතුරුව ය. ඉන් පසුව කිරි උතුරුවා සෙත් පැතීමෙන් සහ පිං බෙර වාදනයෙන් පසු සොකරි නාටකය අවසන් වේ.