කැටයම් කලාව
per person
සම්ප්‍රදායික කලා මාධ්‍යයන් කිසියම් සමාජයක ආධ්‍යාත්මය පිළිඹිබු කරන කැටපතක් ලෙස අගය කල හැකිය. කිසියම් ජන සමාජයක සිතුම් පැතුම් රටාව පමණක් නොව ඔවුන්ගේ කලා රසඥතාවයන්, විද්‍යාත්ම හා තාක්ෂණික ඥාණයන් සේම ශිල්පීය කුසලතාවයන් සාම්ප්‍රදායික කලා මාධ්‍යන්ගෙන් මනාව නිරූපණය කෙරේ.
සම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතර කැටයම් කලාව සඳහා ලැබෙනුයේ අග්‍රගන්‍ය ස්ථානයකි. විශේෂයෙන්ම ලක්දිව කැටයම් කලාව ඒ අතරින් සුවිශේෂී වනුයේ හෙළ ගල් වඩුවාගේ අප්‍රතිහත ධෛර්ය, හැකියාව, නිර්මාණ ශිල්පීයත්වය මනාව පිළිඹිබු කිරීම නිසා පමණක් නොව තමන්ට ආවේණික වූ නිර්මාණ ශිල්පීයත්වයක් එයින් පිළිඹිබු කරන හෙයිනි. ලක්දිව සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතීතයේ සිටම විකාශනයට පත් වූවකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ කවර අන්දමේ කැටයම් කලාවක් පැවතියේ ද යන්න කිසිවක් පැහැදිළිව කිව නොහැක්කේ ඒ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක ලැබී නොමැති හෙයිනි. නමුත් ක්‍රි.පූ 6 වන සියවසේ බුදු සමයේ හඳුන්වාදීමත් සමඟම දේශීය කැටයම් කලාවේ නව උනනතියක් හා නව මුහුණුවරක් ඇති වූ බව නිගමනය කළ හැකිය.
පැරණි ලක්දිව කැටයම් කලාවේ ස්වභාවය හා විකාශනය පිළිබඳව අධ්‍යනය කරන විට පැහැදිළි වන එක් කරුණක් වන්නේ දේශීය කැටයම් කලාව ආගමික කථා වස්තු, තේමාවන්, රැගත් වෘත්තාන්ත මාධ්‍යයකට වඩා හුදෙක් විචිත්‍රත්වය, සුන්දරත්වය, අලංකාරය ගෙන එන මාධ්‍යයක් වශයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. කැටයම් කලාව පිළිබඳ තුලනාත්මක අධ්‍යනයක දී එය පැහැදිළි වේ. පැරණි ලක්දිව කැටයම් කලාව අධ්‍යනය කරන විට විද්‍යාමාන වන කැටයම් අතර
-
-
-
- වාහල්කඩ
- මුරගල
- ඉසුරුමුණිය
- ඇත් දළ කැටයම්
- සඳකඩ පහණ
- කොරවක් ගල
- ඇම්බැක්කේ ලී කැටයම්
-
-
දක්නට ලැබේ.
වාහල්කඩ
පැරණි ලක්දිව කැටයම් කලාව අධ්‍යනයේ දී පැරණිතම කැටයම් හමුවන්නේ අනුරාධපුරයේ ඇති වාහල්කඩ යන ගෘහ නිර්මාණික අංගයෙන් බව පුරාවිද්‍යාඥයන්ගේ නිගමනයයි. පැරණි යුගයේ මෙම වාහල්කඩ යන අංගය හඳුන්වා ඇත්තේ “ ආයක් ” යනුවෙනි. වාහල්කඩ යනු ලක්දිව පැරණිම දාගැබ්වල සතර දිශාව බවත් දාගැබේ පහළ කොටසට සම්බන්දව ඉඳි කෙරුණ ප්‍රක්ෂේපන හතරක් බවත්ය. ගල් පුවරුවලින් නිමවන ලද මෙම අංගය මූලික වශයෙන්ම සෘජුකෝණාස්‍රාකාර ආකෘතියක් ගන්නා අතර එහි මධ්‍ය කොටස ඉදිරියට නෙරා ඇවිත් ඇත. මෙම වාහල්කඩේ පහළ කොටස කැටයම්වලින් තොර වූ සරල ගල් පුවරුවලින් සකස් වී ඇති අතර ඉහළ කොටස සකස් වී ඇත්තේ ඇතුළු පැත්තට හා පිට පැත්තට නෙරා ගිය ගල් තීරුවලිනි.
එසේම මෙම වාහල්කඩේ දෙකෙළවර උස ගල් කණුවක් හා මිටි ගල් කණුවක් සෑම විටම දක්නට ලැබේ. මෙම වාහල්කඩ අංගය අලංකාර කිරීම සඳහා යොදා ගත් විවිධ කැටයම් වේ. මෙම කැටයම් වලින් සෞභාග්‍ය හා ආරක්ෂාව වැනි හැඟීම් සංකේතවත් කරන සම්ප්‍රදායික කැටයම් මෝස්තර නිරූපණය වේ. වාහල්කඩ ඉහල කොටසේ දිග් අතට වැටී ඇති ගල් තීරුවලත් දෙකෙළවර පිහිටි ගල් කණුවලත් කැටයම් මෝස්තර දක්නට ලැබේ. ඇතා, අශ්වයා, සිංහයා, ගවයා යන සතුන් හතරදෙනාගේ සත්ත්ව පෙරහැරත් චෛත්‍යකාවාට යන සංඛේතයත්, සිරිවක්ස යන සංඛේතයත්, ත්‍රිරත්නය යන සංඛේතයත්, පූර්ණ සමයත්, නාග රූපයත්, වාමන රූපයත්, මකර රූපයත්, හංස රූපයත්, නෙළුම් මලත්, කැටයම් අතර කැපී පෙනේ. විවිධ මල්වැල් හා ලියවැල් අලංකරණය සඳහා යොදා ගෙන ඇත.
දැනට ලක්දිව හමු වී ඇති පැරණිම වාහල්කඩ කැටයම වන්නේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ ඇති වාහල්කඩ කැටයමයි. මෙහි එන කැටයම් මෝස්තර පැරණි ඉන්දීය කැටයම් මෝස්තරය හා සමාන වේ.
සඳකඩ පහණ
සඳකඩ පහණ පැරණි ලක්දිව කැටයම් කලාවේ බෙහෙවින්ම කැපී පෙනෙන අංගයක් වේ. පැරණි ලක්දිව ඉදිකරන ලද ආගමික හා ගිහි ගොඩනැගිලිවලට ඇතුළුවීම සඳහා වූ පිටගැට පෙළෙහි මුලටම තබන ලද අර්ධ කවාකාර ගල් පුවරුව සඳකඩ පහණ වන අතර වර්තමාන පාපිස්සකින් සිඳුවන කාර්යය ඉටුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
සඳකඩ පහණ අනුරාධපුර යුගයෙන් ආරම්භ වී ඇත. අනුරාධපුර මුල්ම යුගයට අයත් සඳකඩ පහණ ඍජුකෝණාස්‍රාකාර ආකෘතියක් ගන්නට ඇතැයි උපකල්පනය කරන අතර එය කිසිඳු කැටයමකින් තොර වූ අතර සරල චාම් අර්ධකවාකාර ගල් පුවරුවකි (උදා: මිරිසවැටිය විහාර සංකීර්ණය). මීළඟ අදියරේ සඳකඩ පහණ සම්පූර්ණයෙන්ම පිපුණු නෙළුම් මලක අඩක් සරල ගල් පුවරුව මධ්‍යයෙහි නිරූපණය කර ඇත (උදා: ශ්‍රී මහා බෝධියට ඇතුළුවන දොරටුව අභියස). සඳකඩ පහණ විකාශනයේ තවත් දියුණු අවස්ථාවක් ලෙස පෙරහැර ඊට එක් වීම දැකිය හැකිය. සඳකඩ පහණ විකාශනයේ පරිසමාප්ත අවස්ථාවට පත් වීමෙන් අනතුරුව එය කලාත්මක පක්ෂයෙන් ද විශිෂ්ටත්වයට පත් විය. අනුරාධපුර යුගයේ දෙවන භාගයේ සම්පූර්ණයෙන්ම මුහුකුරා ගිය සඳකඩ පහණ කැටයම් මෝස්තර තුනකින් සමන්විත විය. පිටතින්ම ඇති තීරුවේ ගිනිදැල් හෝ පලාපෙති යොදා මෝස්තර කර ඇත. ඊළඟ තීරුවේ ඇත්, අස්,සිංහ හා ගව යන සතුන් හතරදෙනාගේ පෙරහැරක් මෝස්තරය කර ඇත. මෙම සතුන් වමේ සිට දකුණට ගමන් කරයි. ඉන් පසුව ලියවැලක් දක්වා ඇත. ලියවැලට පසුව හමුවන්නේ වමේ සිට දකුණට ගමන් කරන නෙළුම් පොහොට්ටු කටින් ගත් හංස පෙළකි. සඳකඩ පහණෙහි මධ්‍යයේම නිරූපණය වන්නේ සම්පූර්ණයෙන්ම පිපුණු නෙළුම් මලක අර්ධයකි. අනුරාධපුර යුගයට අයත් හොඳම සඳකඩ පහණ හමු වී ඇත්තේ අභයගිරියට නුදුරුව පිහිටි බිසෝමාළිගයේ බව සොයාගෙන ඇත.
පොළොන්නරුව යුගය තුළ දී සඳකඩ පහණ සැලැස්මෙහි යම් යම් වෙනස්කම් කිහිපයක් ඇත. සඳකඩ පහණ කවයකින් ¾ ක් පමණ වන අතර එහි මධ්‍යයේ ද නිරූපණය වන්නේ පිපුණු මලක ¾ ක් වේ. නෙළුම් මල අනුරාධපුර යුගයේ නෙළුම් මලට වඩා මදක් ඉහළට එසවී ඇත. ගවයාගේ රුව ඉවත් කර ඇත. මෙයට හේතුව වන්නේ හින්දු ආගමේ බලපෑමයි. අනුරාධපුරය යුගයේ සතුන් හතරදෙනාම එකම පෙරහැරක ගමන්ගත් අතර පොළොන්නරු යුගයේ දී එක් එක් සත්ත්වයා සඳහා වෙන වෙනම පේළි යොදා ඇත. අනුරාධපුර යුගයේ සදකඩ පහණෙහි නෙළුම් මල අසලින්ම නිරූපිත හංස පන්තිය පොළොන්නරුව යුගයේ දී පිටතම තීරුවට තල්ලු වී ඇත. උදාහරණ ලෙස දළදා මළුවේ ඇති සඳකඩ පහණ ගත හැක.
අඩ කවයකින් ඇරඹි සදකඩ පහණ බොහෝ දුරට සම්පූර්ණ කවයක ආකාරයට මහනුවර යුගයේ දී නිර්මාණය වී ඇත. පූර්ව යුගයන්හි අඩක් දැක්වූ නෙළුම් මල මහනුවර යුගයේ සම්පූර්ණයෙන්ම නිරූපණය කර ඇති අතර එය ඉහලට එසවී ඇති ආකාරයක් ද පෙනේ. මෙම යුගයේ මූලික අවධානයක් යොමු වී ඇත්තේ නෙළුම් මල සඳහාය. පැරණි යුගයේ සඳකඩ පහණ්වල නිරූපණය කෙරෙන සතුන් සියල්ලම මෙම යුගයේ දී අතුරුදහන් වූ අතර ඒ වෙනුවට විවිධ අලංකාර ලියවැලින් හා මල්වැලින් පිරීගිය බව පෙනේ. උදාහරණ ලෙස දළදා මාළිගයේ පිහිටි සඳකඩ පමණ ගත හැකිය.
මුරගල
ලක්දිවට ආවේණික කලා නිර්මාණයක් වන මෙය පැරණි ලක්දිව ආගමික හා ගිහි ගොඩනැගිලිවලට පිවිසෙන පියගැටපෙළ දෙපස සිරස් අතට තබා ඇති ගල් පුවරු වේ. සාමාන්‍යයෙන් මෙම මුරගල්වල උපරිභාවය අර්ධ කවාකාර හැඩයක් ගන්නා අතර ප්‍රමාණයෙන් උස අඩි 3 සිට 5 දක්වාත් පළල අඩි 1 සිට 3 දක්වාත් වේ. මුලින්ම ඉදි කරන ලද මුරගල් කිසිදු කැටයමකින් තොරව ඉතා සරලව චාම් ගල් පුවරුවකින් සමන්විත විය. ක්‍රම ක්‍රමයෙන් මෙම සරල ගල් පුවරුවල විවිධ අන්දමේ මංගල වස්තු සහ සෞභාග්‍යය සංඛේතවත් කරන වස්තු නිරූපණය විය.
විවිධ සංකලනයන් මඟින් පැරණි කැටයම්කරුවා ඉතා අලංකාර කලාත්මකභාවයෙන් යුත් නාග රූප මුරගලත් අනුරාධපුරය යුගයේ දෙවන භාගයේ පහළ විය. මෙහි ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපිත හිටි ඉරියව්වෙන් යුත් නාග රාජයාටයි. ඔහුගේ හිසට පිටුපසින් පෙණ මණ්ඩලයක් දක්වා ඇති අතර එහි ශීර්ෂ සංඛ්‍යාව 3 හෝ 5 හෝ 7 හෝ වශයෙන් නිරූපණය කර ඇත. අලංකාර හිස්වැසුමක් ඇති මෙම නාග රාජයාගේ උඩුකය නග්නව දක්වා ඇති අතර යටිකය වැසී ඇත්තේ ජෝතියකිනි. කර්ණාභරණ, මාල, වළලු, බඳ පටි හා සළඹ පැළද ගත් මෙම නාග රූපය සෑමවිටම එක් කකුලකට බර දී අනෙක් කකුල පහසුවෙන් තබා ගත් ආකාරයෙන් දැක්වේ. එක් අතක ඇති පුන්කලස දිව්‍ය ලෝකයේ සිතූ පැතූ සම්පත් දෙන වස්තූන් හතරින් එකක් වූ භද්‍රා සමය නිරූපණය කෙරෙන අතර අනෙක් අතින් කල්ප වෘක්ෂය සංඛේතවත් කෙරේ. අනුරාධපුර මුරගල මේ ආකාරයේ කලාත්මක හා නිර්මාණශීලි වුව ද ඉන් අනතුරුව පොළොන්නරුව යුගය එතරම් නිර්මාණශිලි බවක් දක්නට නොලැබේ.
කොරවක් ගල
මුරගල ආසන්නයේම දක්නට ලැබෙන කොරවක් ගල ද ලක්දිව කැටයම් කලාව මූර්තිමත් කරන්නකි. ඉතා සරල අන්දමින් ආරම්භ වූ කොරවක් ගල අනුරාධපුර යුගයේ දෙවන භාගයේ දී මකර කොරවක් ගල බවට පත් විය. අඩක් ඉස්මතු කළ කුළුණක් මත සිටගත් මකර රූපයක් හා විවෘත මුඛයෙන් නික්මී පහළට වක් වී යන ලියවැලක් මෙම මකර කොරවක් ගල්වල දක්නට ලැබේ. මෙම මකර රූපයට භාරතීය අභාසය ලැබී ඇත. පැරණි භාරතීය කලාකරුවා මකරු නිරූපණය කර ඇත්තේ මනඃකල්පිත සත්ත්වයෙකු මෙන්ය. මකරු නිරූපණය කර ඇත්තේ ජීව ලෝකයේ හමුවන සත්ත්වයින් හත් දෙනෙකු අංගෝපාංග ඒකාබද්ධ කිරීමේ ප්‍රථිඵලයක් ලෙසිනි. එනම්, කිඹුලාගේ මුඛය, ඇතාගේ හොඬවැල, සිංහයාගේ පාද, ඌරාගේ කන්, මාළුවාගේ කඳ, වදුරාගේ ඇස්, හංසයාගේ පිල්කළඹ වේ.
අනුරාධපුරය යුගයේ පැවති කොරවක් ගල ඒ අයුරින්ම පොළොන්නරු යුගයේදී ද දක්නට ලැබේ. නමුත් සංක්‍රාන්ති යුගයේ දී මකර කොරවක් ගල ගජ සිංහ කොරවක් ගල බවට පරිවර්තනය විය. මෙය නිර්මාණය වී ඇත්තේ සිංහයාගේ ශරීරයත් ඇතාගේ ශීර්ෂයත් ඒකාබද්ධ වීමෙනි.
ඉසුරුමුණි කැටයම
කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහිලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් අතර ඉසුරුමුණි පෙම් යුවල ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. මෙහි උස අඩි 3 ක් හා පළල අඩි 2 ක් පමණ වේ. මෙහි මූලික වශයෙන්ම නිරූපණය කර ඇත්තේ ආසනයක වාඩි ගත් තරුණ පුරුෂයෙක් හා තරුණ කාන්තාවක් ය. පිරිමියා වාඩි වී සිටින ඉරියව්ව ලලාතාසන ඉරියව්ව යනුවෙන් හැඳින්වේ. කාන්තාව වාඩි වී සිටින්නේ තරුණයාගේ නවාගත් වම් කකුල මතයි. තරුණයාගේ දකුණු උරහිසට ඉහළින් කඩුවක මිටක් හා පළිහක් වැනි දෙයක් දක්නට ඇත. දෙදෙනාගේම උඩුකය නග්නව දක්වා ඇත. විවිධ මාල, වළලු හා කර්ණාභරණ පැළඳ ඇති බව පැහැදිළිව පෙනේ. පිරිමියාගේ වස්ත්‍රය කෙටිවන අතර කාන්තාවගේ වස්ත්‍රය ඇස්වටය දක්වා ඇත. දකුණතින් දැක්වෙන මුද්‍රාව අපහැදිළි වේ. ක්‍රි.ව 5 වන සියවසට අයත් මෙම කැටයම භාරතයේ විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වන ගුප්ත මූර්ති ගණයට අයත් වේ.
මෙයට අමතරව ඉසුරුමුණියේ ස්වභාවික පර්වතයක නෙලා ඇති වාඩි ගත් මිනිසෙකු හා අශ්ව හිසක් දැක්වෙන කැටයම ද විශිෂ්ට ගණයෙහිලා සැළකිය හැකිය. මෙය අඩි 2 ½ ක උසකින් යුක්ත වේ. මෙහි සිටින පුද්ගලයා මහාරාජා ලීලාවෙන් සිටී. ඔහුගේ දකුණු හිසට ඉහළින් අශ්ව හිස පිහිටා ඇත.
යි.
ඇම්බැක්කේ ලී කැටයම්
දැනට ලැබී ඇති පැරණිතම ලී කැටයම් හමුවන්නේ මහනුවරට නුදුරු ඇම්බැක්කේ දේවාලයෙන් බව පිළිගැනේ. ගම්පල රාජ්‍ය කල තුන්වන වික්‍රමබාහු රජුගේ කාලයේ දෙල්මඩ මූලාචාරියා නම් ශිල්පියාගේ ප්‍රමුඛත්වයෙන් මෙම කැටයම් සිඳු කර ඇත. මෙම දේවාලයේ දිග් ගෙය හෙවත් මණ්ඩපයේ හමුවන ලී කණු හා ලී බාල්ක විවිධ සාම්ප්‍රදායික මෝස්තරවලින් අලංකාර වී ඇත. මෙහි කැටයම් අතර හංස පූට්ටුව, සැරපෙයියා, භේරුණ්ඩ පක්ෂියා, කින්නර රූපය, ඇත්කඳ ලිහිණි වැනි මෝස්තර කැපී පෙනේ. ලී කණුවල මුදුනෙන් ඇති දැවමය පේකඩ ශෛලිගත නෙළුම් මල් මෝස්තරයෙන් අලංකාර වී ඇත. මෙහි නිරූපිත කැටයම්වල බොහෝදුරට ජන ආර මතු වී ඇත.
පැරණි ලක්දිව කැටයම් මෝස්තර මූලික වශයෙන් වර්ග පහක් වේ. මානව රූප, සත්ත්ව රූප, ශාක රූප, ජ්‍යාමිතික රූප හා මනඃකල්පිත රූප ලෙස වේ. එසේම පැරණි ලක්දිව කැටයම් කලාව බොහෝ දුරට දේශීය ගෘහ නිර්මාණ ශිල්පය ආශ්‍රයෙන් විකාශනයට ලක්ව ඇති අතර කැටයම් කලාව හුදෙක් අලංකරණය හා සැරසිලි මාධ්‍යයක් වශයෙන් විකාශනය වී ඇත. හෙළ ගල් වඩුවාගේ නිර්මාණ ශක්තිය මනාව විදහාපාන කැටයම් කලාව ඉතා සූක්ෂම නිර්මාණවල එකතුවකි.
ඇත් දළ කැටයම්
ශ්‍රී ලංකාවේ පැවති පාරම්පරික කලා කර්මාන්ත අතුරින් එකකි ඇත් දළ කැටයම් කලා කර්මාන්තය. ශ්‍රී ලාංකික ඇත් දළ කර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් ඇති නමුදු, එහි ආරම්භය කෙදිනක සිඳු වී ඇතිදැයි නිශ්චිතව කිව නොහැක. මහනුවර යුගයේ දී ඇත් දළ කැටයම් කලාව බෙහෙවින් ප්‍රචලිත වී ඇත. ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ගේ අතිශය සියුම් නිර්මාණ කුසලතාව මෙම ඇත් දළ නිර්මාණ මඟින් පැහැදිළි වේ.
විවිධ සම්ප්‍රදායික මෝස්තරවලින් අලංකාර වූ ඇත් දළවලින් නිමකල ආභරණ පෙට්ටි, පනා, පුස්කොළ පොත්, කම්බා, වටාපත් මිටවල්, ධාතු කරඬු, ආභරණ වැනි දේ ලැබී ඇති අතර කුරුණෑගල රිදී විහාරයේ ඇති ඇත් දළ කැටයමින් අලංකාර කෙරුණු දොර උළුවස්ස ද විශේෂ ගණයේ නිර්මාණයක් ලෙස පිළිගැනේ. මෙම ලෙන් විහාරය 18 වන සියවසේ රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නිර්මාණයක් වන අතර මෙහි පංචනාරීඝටය නම් කැටයම විශේෂයෙන් කැපී පෙනේ.