කුඹල් කර්මාන්තය
per person
ඉතිහාසය
සභ්‍යත්වය කරා පා නගමින් දුරාතීතයේ එක් යුගයක විසූ මිනිසා ගින්නෙන් පුළුස්සා ගත් මස් අනුභව කරමින් විසූ බව ඉතිහාසයේ සඳහන් වේ. මිනිසා විසින් ආහාර පිස ගැනීම සඳහා මැටි භාජන තනන ලද්දේ ධාන්‍ය වර්ග ආහාර කොට ගැනීමට පුරුදු වීමෙන් පසුවයි. මුලදී මැටි භාජන තනන ලද්දේ මැටි පිඩක් ගෙන අතින් හැඩ ගසා අව්වේ වියලා ගැනීමෙනි. පසු කලෙක මෙම භාජන පුළුස්සා ගන්නා ලදී.
සක පෝරුව නිපදවන ලද්දේ ක්‍රි. පූ 31 වන ශතවර්ශයේ දී පමණ ඊජිප්තු දේශවාසීන් විසිනි. සකපෝරුව දෙවියන්ගේ තෑග්ගක් වශයෙන් සලකන ලදී. මෙය පළමුවෙන්ම භාවිතයට ගන්නා ලද්දේ පුරාණ ඊජිප්තුවේ අගනුවර වූ මැම්ෆිස් නගරයෙහිය. ශිල්පීන්ට අධිපති දේවියන් වූ “ ටා ” මෙම නගරයේ ආරක්ෂක දේවියන් වීම ද සක පෝරුව දෙවියන්ගේ තෑග්ගක් වශයෙන් සැලකීමට හේතු විය.
සජීවි සෑම සත්ත්වයෙකුම ස්වකීය ඉදිරි ගමන සකස් කරනුයේ නිරතුරුවම ආහාර හා සනීපාරක්ෂාව මූලික කරගෙනය. මූලික පරිණාම අවධියේ ගස්වල කොළ, ගෙඩි, මල් අමුවෙන් ආහාරයට ගත් මිනිසා අලයක් පොළොවෙන් හාරාගෙන අමුවෙන් භුක්ති වින්දේය. සතකු මරා අමුවෙන් පාරිභෝජනයට ගත්තේය. එහෙත් කල් යාමේ දී ඒවා පුළුස්සා අනුභව කිරීමට පුරුදු වූයේ දිවට දැනෙන රසය පදනම්කරගෙන පමණි. දිවට දැනෙන රසයේ ආශ්වාදයේ විවිධත්වයක් ඇති බව තේරුම්යාමත් සමඟ ජලයේ බහා අලයක් තම්බාගෙන භුක්ති විදීමේ අවශ්‍යතාවය ඇති වීම නිසා බඳුන් සොයන්නට විය.
ජනප්‍රවාදයේ එන පරිදි බඳුනක මුලාරම්භය ඇති වූයේ අලියෙකුගේ පාද සටහනක් පදනම් කරගෙනය. මැටි පොළොවක වු අලියෙකුගේ පා සටහන දුටු ආදී මානවයා එය පොළොවෙන් සියුම් ලෙස වෙන් කරවා ගත්තේය. ඊට ජලය පුරවා ඒ තුලට කැලයෙන් ගලවා ගත් අලයක් දමා ගින්න මතුපිට තබා රත් කර ගන්නා ලදී. ඔහුගේ මූලික අරමුණ වූයේ අලය තම්බා භුක්ති විදීමෙන් අමතර රසයක් ලබා ගැනීමය. එසේ වුවද අලියාගේ පා සටහන සහිත මැටි පිඩ බොහෝ වේලාවක් ගින්න මතුපිට තිබිම නිසා අමුතු පැහැයක් ගැනීම ඔහුගේ අවධානයට යොමු විය. අමු මැටි ගින්නේ පිලිස්සීමෙන් ඇතිවන තද බව නිසා එම මැටි හැඩය කල් තබාගෙන පාවිච්චි කළ හැකි වීම මැටි භාජනයේ ආරම්භය විය.
මිනිසා මේ පිළිබඳව අත්හදා බැලීම් සිඳු කරන්නට වූයේ මින් පසුවයි. වානර ආරම්භයක් සහිත මිනිසා බුද්ධි වර්ධනය කර ගිනිමින් ශීලාචාර වූයේ මැටි නිර්මාණයන් පිළිබඳව කරන ලද අත්හදා බැලීම් පදනම් කරගෙනය. සෙසු සියලුම කර්මාන්ත ලොව බිහි වූයේ මැටි කර්මාන්තය බිහි වීමෙන් පසුව වීම ඊට හේතු සාධක විය. මිනිසාට අලයක් හාරා ගැනීමට ආයුධයක් අවැසි වුවත් ඒ සඳහා උපයෝගී කර ගත්තේ ලී කැබැල්ලකි. සතෙකු දඩයම් කර ගැනීමට අවශ්‍ය වූ විට දී ඒ සඳහා යොදා ගත්තේ මුගුරක් හෝ ගලකි. නැතිනම් නැවෙන දණ්ඩකින් හා වැල් පොටකින් තනා ගත් දුන්නකි. සරළව ගතහොත් මිනිසා ශීලාචාර වූ දින සිටම මැටි කර්මාන්තය පැවත එන්නේය. එනිසා ලෙව පැරණිතම කර්මාන්තය මැටි කර්මාන්තය නොහොත් කුඹල් කර්මාන්තය යි.
අලියෙකුගේ පාද සටහනේ ප්‍රමාණයෙන් ආරම්භ වූ මැටි බඳුන් නිෂ්පාදනය මිනිසා ස්වකීය මොළය හා චින්තන ශක්තිය මෙහෙයවමින් විවිධ හැඩයන් හා ප්‍රමාණයන් කරා යොමු විය. ඒවා වෙනත් කර්මාන්ත ලොව බිහි වීමේ දී උපයෝගී විය. මැටි කාර්මිකයාගේ ඉතා සියුම් නිර්මාණයක් වන “ මැටි කෝව ” රන් භාණ්ඩ නිෂ්පාදනයේ දී රත්තරන් උණු කිරීමට යොදා ගැනීම එක් උදාහරණයකි. ඒ අනුව රන් කර්මාන්තය ද මැටි කර්මාන්තය ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති බව පිළිගත හැකිය.
මෙසේ මැටියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී උපතින්ම මිනිසා සතුව පැවති කලා කුසලතාවන් ද ඉස්මතු වෙමින් ඒවාද නිර්මාණයන් තුළ ගැබ් වන්නට වූයේ නිරායාසයෙනි. ශීලාචාර මිනිසෙකු සතුව තිබිය යුතු ශිෂ්ටසම්පන්න හැඟීම මෙන්ම නිර්මාණ කුසලතාවය ද මැටි කර්මාන්තය හා සමානුපාතිකව ප්‍රගතියක් ලැබුවේය. වනයේ නිදැල්ලේ වැවුණු අල වර්ග ආදිය ස්වකීය පාරිභෝජනය සඳහා භූමියේ වවා ගැනිමට පෙළඹුණු මිනිසා ඒ අභියෝගය ජය ගත්තේය. ඒ ජයග්‍රහණය සර්ව සාර්ථක වූයේ මැටි භාණ්ඩ උපයෝගීත්වයෙනි.
මැටි කර්මාන්තයේ යෙදිමට අමතරව ඔහු භෝග වගාව ද කළේය. ඊට අමතරව සෙසු මානව කොට්ඨාසයන් සමඟ සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් භාණ්ඩ හා ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමේ සහජීවන පිළිවෙතක නිරත විය. ඒ අනුව මැටි කාර්මිකයා සමාජයට අත්‍යාවශ්‍ය විය. ඔහු කොතැනක වාසස්ථාන පිහිටුවා ගත්ත ද කිසිවෙකුගෙන් ඊට අභියෝග එල්ල නොවුයේ මැටි කාර්මිකයා සෙස්සන්ට සමීපව ජීවත්වීම සම්පතක් සේ සැලකූ බැවිණි. මැටි කාර්මිකයා ඒ වන විට වෙනම සංස්ථාවක් ලෙස සමාජ ගත විය. ඔහු කුඹල් කාර්මිකයා ලෙස නම් කෙරුණේ බොහෝ කලකට පසුවය. කුම්භය යනු කළයයි. කුම්භය කරවන්නා යන අදහස ඇතිව ඔහු කුම්බකාර නම් විය.
විජයාවතරණයෙන් පසුව දඹදිව සිට නොයෙක් වර විවිධ ගෝත්‍රවලට අයත් පිරිස් ලංකාවට පැමිණි බව මහා වංශයේ සඳහන් වේ. ඔවුහු බොහෝවිට මෙහි පැමිණියේ සාමූහික වශයෙනි. කුවේණිය අතහැර දැමූ විජය රජු තම බිසෝ තනතුරට මධුරාපුරයෙන් කුමාරිකාවක් හා පරිවාර කාන්තාවන් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගත්තේය. ඒ සමඟ අටළොස් කුලය පුරාණ පොත පතේ සඳහන්ව ඇත්තේ මෙසේය.
|
|
පොළොව යට තීබී හමුවන උළු, ගඩොල්, වළං ආදී භාණ්ඩ අතීත සභ්‍යත්වය පිළිබඳ තොරතුරු මනින මිනුම් දණ්ඩක් ලෙස පුරාවිද්‍යාඥෙයෝ සළකති.
මැටි කර්මාන්තකරුවා ස්වභාව ධර්මයත් සමඟ ජීවත් වූ අයෙකු විය. ඔහුට අවශ්‍ය වූ සියලුම අමු ද්‍රව්‍ය ලබා ගත්තේ මහපොළොව ඇසුරෙනි. එහෙයින් ඔහු භූමියට ගරුකල, ආදරය කල අයෙකි. පසුකාලීනව ඔහුට එරෙහිව නැගී සිටි සමාජ බලවේග විසින් ඔහුව පීඩනයට පත් කරමින් ඔහු සමාජයේ පහළ ස්ථරයක අයෙකු ලෙස නම් කරනු ලැබීය. සිංහල රජු දවස කුඹල් කාර්යංශය බඩහැල නමින් හඳුන්වන ලදී.
වර්තමානයේ දි කුඹල් කර්මාන්තය සිඳුවන ආකාරය
අතීතයේ සිට මෙම කර්මාන්තයේ නිරත වුණු පරම්පරාවල උදවිය තවමත් විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වේ. අදටත් ඔවුන් සිය ජීවිකාව ගෙනයන්නේ කුඹල් කර්මාන්තයේ නිරතවෙමිණි. කෑගල්ල, මාතර, ගම්පහ, ගාල්ල වැනි දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩි වශයෙන් කුඹල් කර්මාන්තය සිඳුවේ. එවැනි ප්‍රදේශයකට ගිය විට මැටි භාණ්ඩවලින් පිරුණු වෙළඳසැල් බහුලව දක්නට ලැබේ. එලෙස වෙළඳසැල් පවත්වාගෙන යන සමහර උදවිය ඔවුන් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණීම සිඳුකරනු ලබන අතර තවත් පිරිසක් මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානවලට ගොස් මිල දී ගන්නා භාණ්ඩ අළෙවි කිරීම සිඳුකරනු ලබයි.
භාවිතා කරන මැටි වර්ග
දේශීය කුඹල් කර්මාන්තයේ දී කෙයොලින් මැටි හා රතු මැටි යන වර්ග දෙක භාවිතා කරයි. ඒ අතුරින් කෙයොලින් මැටි, ජීර්ණය වූ පෙල්ස්පාර් පොළවේ තැන්පත් වීම මඟින් සෑදේ. සුදු පැහැති කෙයොලින් මැටි හැඳින්වීම සඳහා ප්‍රාථමික මැටි, ශේෂ මැටි සහ කිරි මැටි ආදී නම් ද භාවිතා කරනු ලබයි. සාමාන්‍යයෙන් කෙයොලින් මැටි හැකිළීමේ ගුණයෙන් හා ඇළෙන සුළුබවින් වැඩිය. එම නිසා ඒවායෙන් භාණ්ඩ තැනීමේ දී පෙල්ස්පාර්, සිලිකා වැලි, ක්වාට්ස් යන ඛණිජ වර්ග මැටි සමඟ මිශ්‍ර කරයි.
කෙයොලින් මැටි වැසි ජලයත් සමඟ සේදී ගොස් ගංගා දෙපස සහ වෙල් ආශ්‍රිතව තැන්පත් වේ. එලෙස තැන්පත් වන මැටි, කාලයක් ගත වුණු පසුව ශාක හා සත්ත්ව රසායනික ද්‍රව්‍ය සමඟ සංයෝජනය වීමෙන් රතු මැටි බවට පත් වේ. රතු මැටි සඳහා දියළු, ද්විතීයික මැටි ආදී වෙනත් නම් භාවිතා කරනු ලබයි. කැළණි ගඟ සහ ගිං ගඟ ආශ්‍රිතවත් බංගදෙණිය, අනුරාධපුරය, කොච්චි කඩේ, අලුත්නුවර වැනි ප්‍රදේශවලත් රතු මැටි නිධි පිහිටා තිබේ. රතු මැටි ස්වභාවිකවම තැනිමට සුදුසු ආකාරයට සැකසී ඇති හෙයින් වෙනත් ඛණිජ වර්ග මිශ්‍ර කිරීමට අවශ්‍ය නොවේ.
කුඹල් කර්මාන්තයේ දී යොදාගන්නා උපකරණ
යම් කර්මාන්තයක් සිඳු කිරීමේ දී එයටම ආවේණික වුණු උපකරණ කට්ටලයක් භාවිතා කරනු ලැබේ. ඒ අනුව, කුඹල් කර්මාන්තය සඳහා භාවිතා කරන උපකරණ කිහිපයක් තිබේ. ඉන් සමහර උපකරණ අතීතයේ සිටම භාවිතා කලත් ඇතැම් උපකරණ පසුගිය දශක කිහිපය තුළ දී භාවිතයට පැමිණි ඒවා වේ. පහත දක්වා ඇත්තේ මැටි භාණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන උපකරණයි.
- සකපෝරුව
- ජිගර් යන්ත්‍රය
- පග්මිල් යන්ත්‍රය
- පිල්ටර් යන්ත්‍රය
- ජොක්‍රෂරය
මැටි භාණ්ඩ සෑදීමේ ක්‍රියාවලිය
මැටි භාණ්ඩ නිපදවීම සඳහා භාවිතා කරනු ලබන්නේ සකපෝරුව නම් උපකරණය යි. අත් සකපෝරුවෙන් භාණ්ඩ සෑදීමේ දී එක් අයෙකු තෙත මැටි පිඬෙන් අවශ්‍ය භාණ්ඩයේ හැඩය සකස් කරන අතරේ තවත් කෙනෙකු සකපෝරුව කරකවනු ලබයි. නමුත් පා සකපෝරුවෙන් භාණ්ඩ සාදන විට තනි පුද්ගලයෙකුට සකපෝරුව කරකවමින් භාණ්ඩය සෑදිය හැකිය. එසේ සකස් කරන භාණ්ඩ වියලෙන්නට තැබීමෙන් පසුව පෝරණුවකට දමා පුළුස්සා ගනියි. මැටි භාණ්ඩ පිළිස්සීම සඳහා පහත සඳහන් පෝරණු වර්ග භාවිතා කෙරේ.
- දර පෝරණුව
- දහයියා සහ ලී කුඩු පෝරණුව
- ගෑස් පෝරණුව
- විදුලි පෝරණුව
- දැවි තෙල් භාවිතයෙන් ක්‍රියා කරන පෝරණුව
දර පෝරණුව
පුළුස්සා ගත් මැටි භාණ්ඩ අලංකාර කිරීම සඳහා කැටයම්, මුද්‍රා සහ දියර චිත්‍ර යෙදීම යන ක්‍රම තුන භාවිතා කරනු ලබයි. එලෙස අලංකාර කරගැනීමෙන් පසුව මැටි භාණ්ඩයට මනා පෙනුමක් ලැබේ. එසේම එහි වටිනාකම ද වැඩිය.
මැටි භාවිතයෙන් සාඳන භාණ්ඩ
- ගෘහ උපකරණ – මුට්ටිය, කළය, වළඳ, ගුරුලේන්තුව, ලිප, නෑබිලිය
- ගොඩනැගිලි ද්‍රව්‍ය – උළු, ගඩොල්
- කලාත්මක භාණ්ඩ – මල් පෝච්චිය, අලංකරණ විසිතුරු නිර්මාණ, විවිධ සතුන්, කැට