ජන සාහිත්‍ය, ජනශ්‍රැතිය හා ජනකවිය
per person
ජනකවි යනු ආරම්භය කෙසේ සිඳු වී දැයි නොදන්නා වූ ද කවර කාලෙකට අයත්දැයි හරි හැටි කිව නොහැකි වූ ද මුඛ පරම්පරාගතව පැවත ආවා වූ ද ඒක කර්තෘක නොවූ හා අඥාත කර්තෘක වූ ද නොවියත් හුදී ජනයා විසින් රචනා කරන ලද්දා වූ ද කවි වේ. ජන ගී, ගැමි ගී, දේශීය ගී, ජන සම්මත කාව්‍ය යන පදයට පර්යාය යි.
ජනශ්‍රැතියට අනුව ජනකවි, ජනප්‍රවාද, ජන කතා ආදිය එකට එක්කොට කියවී සහ ලියවී පවතින කලාව ජන සාහිත්‍ය ලෙස නම් කළ හැකිය. ජන සාහිත්‍ය ග්‍රන්ථ ලෙස සැලකෙන්නේ යම් සම්ප්‍රදායකට අනුගත නොවී, තම හැඟිම් එලෙසම කියාපෑම සඳහා සාමාන්‍ය ජනයා අතින් ලියවුණු කෘතීන්ය. ව්‍යවහාරයේ පැවති ඇතැම් ජනකවි රචනා කර තැබූව ද බොහෝවිට ජනකවි වර්තමානය දක්වා පැවත එන්නේ කටවහරිනි.
ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව සලකා බලන විට සිංහල ජනකවිය සිංහල ජාතිය තරමටම පැරණි බව හඳුනාගත හැකිය. සිංහල ජනකවියේ ඉතිහාසය වංශකතා ආරම්භයටත් ඔබ්බට දිව යයි. මහාවංශයේ සඳහන් වන විජයාවතරණයෙහි විජය කුමරු ලක්දිවට ගොඩබට දිනයේ රාත්‍රියේ සිරසවත්තු පුරයේ පැවති උත්සවයක් පිළිබඳව සඳහන් වේ. එහිදී, “ රාත්‍රී භාගයෙහි ඒ කුමර තූර්ය නාද සහිත ගී හඬක් අසා …… ” යනුවෙන් කරන සඳහන අනුව සිංහල වංශකතාව ආරම්භ වන විජයාවතරණයට පෙර පවා මෙරට ගීතය පැවති බව පෙනේ. ඒවා යම් ජන ගී විශේෂයක් වූවා විය හැකිය.
පැරණිම ජනකවීන් හමු වනුයේ සීගිරි ගී රචකයින් අතරින් ය. සීගිරි ගී රචකයන් අතර භික්ෂූන් වහන්සේලා, රජවරුන්, කුමාරවරුන්, ගුරුවරුන්, වෙළෙන්දන් සිටියත් ගොවියන් හෝ පොදු ජනයා දකින්නට නැත. එහෙත් ගැමි දිවියෙන් ගත් උපමා, රූපකාදිය සහිත කවි නම් සීගිරි ගී අතර ඇත. අනුරාධපුර යුගයේ අවසානයත් සමඟ භාරතීය ආක්‍රමණ ඔස්සේ මෙරටට සංස්කෘතික භාෂා සාහිත්‍යය ප්‍රවේශ වීමේ ප්‍රතිඵලයක් ලෙස කාව්‍ය නීති රීති අනුව කාව්‍යාදර්ශයේ පරිවර්ථනයක් ලෙසින් ලියවුණ සියබස්ලකර අනුව වියත් කවීන් කාව්‍යකරණයේ නිරත වීමත් එම කවීන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් කවිය රාජ සභාවට පිවිසීමත් යන කරුණු හේතුවෙන් ජනකවියේ පරිහානිය ඉක්මන් විය. මෙලෙස කාව්‍ය නීති රීති වලට අනුව රචනා වීම හේතුවෙන් ජනකවිය හා ශාස්ත්‍රීය කවිය ලෙස බෙදීමකට ලක් විය. මේ කවි සඳහා “ ජන ” යන විශේෂණ පදය යෙදුණේ ඒවා පඬිවරුන්ගේ කවි හෙවත් සම්භාව්‍ය සාහිත්‍යය “ මහා සම්ප්‍රදාය ” ලෙසත් ජන සාහිත්‍යය “ චූල සම්ප්‍රදාය ” ලෙසත් බෙදීමකට ලක් විය.
දැනට ප්‍රචලිතව ඇති කවි සියල්ල කෝට්ටේ සාහිත්‍ය යුගයෙන් මෙපිට රචනා වූ ඒවාය. ඇතැම් කවියක කාලවකවානුව නිශ්චිතව කිව හැකිය. උදාහරණ :- මිනිරන් සඳහා පතල් කැපීම ආරම්භ වූයේ 19 වැනි සියවස අග භාගයේ දී බැවින් ඒ වනාහි පතල් කවි කාලයයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් වැවිලි කර්මාන්තය ආරම්භ කොට මං මාවත් සකස් කළ කාලයේ රචනා වී ඇති කවි කරත්ත කවි වේ.
නූතන ජනකවියෙහි ආරම්භකයින් නම් කෝට්ටේ යුගයේ විසූ වීදාගම මෛත්‍රී හිමි ප්‍රමුඛ වීදාගම පරපුරේ කවීන් යැයි සිංහල විශ්වකෝෂ කර්තෘහු පවසති. වීදාගම හිමිගේ ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය, හංස සංදේශය වැනි පොත්වල ජනකවි ආර ඇත. ශාන්තිකර්ම කවි ගණයට ගැනෙන කෝල්මුර කවි, බලිතොවිල් කවි, අඹ විදමන, සංහවල්ලි කතාව ආදිය වීදාගම පරපුරේ කවීන්ගේ රචනා ලෙස සැලකේ.
ජන ගී, ගැමි ගී, දේශීය ගී, ජන සම්මත කාව්‍ය ආදී නම් වලින් හැඳින්වුව ද භාවිතයේ දී ඒවායේ ලක්ෂ්‍යාර්ථය එකක් ලෙස සලකන බව පෙනේ. එයට එක් හේතුවක් වනුයේ කුමන නාමයකින් හැඳින්වුව ද ඒවා යම් තැනැත්තෙකුට, ජන කොට්ඨාසයකට හෝ රටකට පමණක් සීමා නොවී පොදු ජන වහරකින් සමන්විත වීමයි. එසේම ඒවා නිර්මාණය විධිමත් අධ්‍යාපනයක් නොලැබුවා ද උගතුන්ගේ ඇසුරට හෝ ඔවුන්ගේ බලපෑම් වලට භාජනය නොවූ සාමාන්‍ය ජනයා අතින් වීමත් අනෙක් හේතුවයි.
එනමුදු, ඔවුන් යම් වෘත්තිමය කොටසකට අයත්ව ජීවත් වන විට ඒ සමාජය තුළින් ලබන අත්දැකීම්, දැනුම් හා මානසික සංවර්ධනය ලැබුවෝ වූහ. එහෙයින් ඔවුන්ගේ සිතට නැගුණා වූ අදහස් උදහස් සිය ව්‍යවහාරික ඥානය හා පරිසරය විසින් සංස්කරණය වී කවියට නගා ප්‍රකාශ කෙරිණි. අනතුරුව ඒවා මුඛ පරම්පරාගතව ආරක්ෂා කොට පවත්වා ගෙන ආහ. මේවා වර්තමානයේ ජන කවි නමින් හඳුන්වනු ලබයි.
සිංහල ජනකවි අතරට ගැනෙන ලිඛිත ජන කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ද ඇත. යසෝධරාවත, වෙස්සන්තර ජාතක කාව්‍ය, තුන්සරණ යනු ඒවා වේ. එමෙන්ම ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, අන්දරේ ආදී ප්‍රකට ජනකවි ගැන ද අසන්නට ලැබේ. උගතුන් විසින් උගතුන් සඳහා රචනා කරන ලද විවිධාකාර කවි අතරින් ජනකවිය වෙනස් වනුයේ ජනකවි තුළ දක්නට ලැබෙන අව්‍යාජත්වය, පුනරුක්තිය, අනුවේදනීයත්වය, සංයමය ආදී ලක්ෂණ නිසාය. වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් සරල කෘෂිකාර්මික සමාජය ජනකවිය සඳහා උල්පත විය. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජනකවියෙහි විවිධ ස්වරූප දැකගත හැක්කේ කෙත, හේන් හා පැල ඇසුරු කොටගෙනය. ගැමි කතුන් එක්ව ගොයම් පැළ සිටුවිම, වල්පැළ ඉදිරීම හෝ ගොයම් නෙළීමේ දර්ශනයක් ගැමි කවියාගේ සිත පිබිදවීමට තුඩු බදන සුන්දර අත්දැකීමකි. එය සහජ කුසතලාවන් පිරිපුන් ජන කවියෙකුගේ අතින් රසවත් කවිවලට පෙරළී ඇති අයුරුයි මේ……
නෙළුම් කවි
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්
කරත්ත කවි
දුප්පත් කමට ගොන් බැදගෙන දක්කනවා
කන්නත් නැතුව රෑ දහවල් වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දිලා ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා
පැල් කවි
පැලේ පැදුර සුළඟට වැනි වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිඳි සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි පැසීයෝ
අපේ මෙවන් දුක දෙවිඳුට පෙනීයෝ
පාරු කවි
මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්
පතල් කවි
මහ බෝගලට අපි ඇවිදින් විඳිනා දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා
කවට කවි
මාමයි මමයි වැලි කුඹුරේ හානකොට
දත්කොට ඇතෙක් එනවා අපි මරන්නට
වටපිට බැලිමි ගසකුත් නැත නගින්නට
පිටපට ගසා පැන්නෙමි මාමාගේ කරට
ජන ගීවල නිර්මාණාත්මක ලක්ෂණ
- ශ්‍රැති ගෝචර රිද්මයක් ඔස්සේ රස උත්පාදනය කිරීම.
- සෞන්දර්යාත්මක චින්තනය ප්‍රකාශයට පත් වීම.
- ගැමි වහරේ අපූර්වාලංකාර භාවිතයන් සහිත වීම.
- ජන දිවියේ හා පරිසරයේ රිද්මය අව්‍යාජව ගැබ්කර තිබීම.
- ගැමියන්ට හුරු පුරුදු උපමා, රූපක භාවිතයෙන් ව්‍යංග්‍යර්ථ දැනවීම.