පිරිත් නූලේ බල මහිමය
per person
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ලද ආරක්ෂක දේශනා පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් හඳුන්වා ඇත. පිරිත් යනු, තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. එම පිරිත් සූත්‍රවලින් ස්වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක් වාරයක් හෝ ඊට වැඩි වාර ගණනක් ජප කිරීමෙන් පිරිත් නූලක් බවට පත්වේ.
පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන් නූල හැටියට දැක්වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම බුදුරජාණන් වහන්සේ සවණක් රැස් අර්ථ ගන්වමින් ඒ ඒ පාට නූල් ගෙන පාට නූල් ද සකස් කර ඇත. විවිධ රටවල එක් එක් පාටවලින් නොයෙක් හැඩතල දමා පිරිත් නූල් සකස් කර ඇත.
නූල යොදා ගනිමින් ඈත අතීතයේ ද විවිධ ආරක්ෂක විධි භාවිතා කර ඇත. ඒ අතර වෛදික ආගමේ තිබෙන පුන නූල ප්‍රධානත්වයක් ගනු ලබයි. යාග-හෝම, බලි-බිලි ආදියට මෙන්ම යන්ත්‍ර-මන්ත්‍ර ක්‍රම වලදී ද නූල සම්බන්ධ කරගෙන ඇත.
පිරිත් නූලේ ඉතිහාසය
මහාවංශයේ හත්වන පරිච්ඡේදයේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ උපුල්වන් දෙවියන් විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.
න සන්ති මනුජා එත්ථ
න ච හෙස්සති වෝභයං
ඉති වත්වා කුන්ඩිකාය
තේ ජලේන නිසිංචිය
මෙහි මනුෂ්‍යයෝ නැත. එනිසා ඔබට භයක් නොවේවා! කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්සේය.
සුත්තංච තේසං හත්ථේසු
ලගෙත්වා නභසාගමා
පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්තරයේ දැක්වේ.
පන්සිය පනස් ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේ සඳහන් වන්නේ මෙසේය. පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියකගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධි සත්ත්වයන් වහන්සේ ආරක්ෂා වුණු බවත් සඳහන් වේ.
පිරිත් නූල .......
මීට පෙර කාලයේ දී වර්තමානය තරම් පිරිත් නූල භාවිතයක් නැති නමුත් වර්තමාන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. අද බොහෝ දෙනා අත පිරිත් නූලක් තිබුණත් එහි අගය දන්නේ නම් ඉතාමත් අතලොස්සක් පමණි. එදා පිරිත් දේශනාවක් පවත්වා ගැනීමෙන් පසුව හෝ කෙනෙක් බියට පත්වුණු විටෙක පිරිත් නූල් ගැට ගසා තිබුණත් අද බොහෝ අය පන්සලට එන්නේ පිරිත් නූලක් ලබා ගන්නට විභාගයකට යන්නට පෙර ලෙඩක් දුකක දී කරදරයක දී ආදී සෑම අවස්ථාවකදීම පිරිත් නූල ප්රමුඛ ස්ථානයක් හිමිකරගෙන තිබේ.
අමුනුෂ්‍ය කරදර, හදි-හූනියම්, හදිසි විපත්, කරදර, වසංගත රෝග ව්‍යාධි ආදී මෙකී සියලුම කරදරවලට පිහිටක් මෙම පිරිත් දේශනාවලින් ලැබේ. එලෙසම සම්මා දිට්ඨි සූත්‍රයට අනුව පිරිත් නූලක් අතේ බැඳගෙන සිටින කාන්තාවකට කාමයේ වරදවා හැසිරිමට එන ලෙස පිරිමින් අයුතු යෝජනා නොකල යුතු බව සඳහන් වේ. කාන්තාවකට තම ආරක්ෂාව සැමියා, මව, පියා, දරැවෙක්, සහෝදර-සහෝදරියක් නැතිනම් පිරිත් නූලක් බැඳ ගත යුතු බවත් සඳහන් වේ.
පිරිත් නූලේ බලය රඳා පවත්වා ගැනීම, බලය ලබා ගැනීම ඒ ඒ පුද්ගලයා සතු වේ. පුද්ගලයා දැහැමි වන තරමට ධර්මයට අනුගතව ජීවත්වන තරමටම පිරිත් නූලේ බලය දිනෙන් දින වැඩි වේ. පස් පව්වල යෙදෙමින් කටයුතු කරන පුද්ගලයාට පිරිත් නූලේ බලය තුන් වරුවක්වත් රැඳී නොපවතී. පිරිත් නූලෙන් වැඩි බලයක් ලබා ගැනීමට දැනුවත් විය යුතු කාරණා කිහිපයක් වෙයි. ඒවා පහත පරිදි වේ.
- පිරිත් දේශනාවේ දී පිරිත් නූල අල්ලාගෙන මනා සිහියෙන් පිරිත් ශ්‍රවණය කිරීම.
- පිරිත් නූල කරේ පැළදීම.
- පිරිත් නූල ගැන මෙන්ම තෙරුවන් ගැන විශ්වාසයක් තිබීම.
- පිරිත් නූල පිරිසිඳුව තබා ගැනීම හා පන්සිල් ආරක්ෂා කිරීම.
- නිවසේ පිරිත් දේශනාව කරන අතරේ නිවසේ පිරිත් නූල් ඇදිය යුතුය.