පිදුරංගල
per person
ලොව පුරා ජනප්‍රිය සංචාරක සංධිස්ථානයක් වන “ සීගිරිය ” මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමට වන්නට පිහිටා ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් සියල්ලක්ම පාහේ නොවැරදිවම පැමිණෙන ස්ථානයක් වන්නේ ද සීගිරිය යි.
පිදුරංගල ද අතීතයේ පටන් සීගිරිය හා බැඳි ස්ථානයක් ලෙස හැඳින්විය හැකි අතර සීගිරියේ පවතින අතිශය වූ ජනප්‍රියතාවය හේතුවෙන් යම් අවස්ථාවන් වල දී පිදුරංගල අවධානයෙන් වසන් වුව ද ඓතිහාසික වැදගත්කම අතින් සීගිරිය සේම පෞඩ වේ.
පිදුරංගල පිහිටා ඇත්තේ කොළඹ සිට කි. මී. 180 ක් පමණ දුරකිනි. ඉනාමළුව සීගිරිය මාර්ගයේ සීගිරි පර්වතය නැගීම සඳහා ඇතුළු වන ස්ථානය පසුකර තවත් සැතපුමක් පමණ ඉදිරියට ගිය විට පිදුරංගල හමු වේ. මෙය ඉනාමළුව හංදියේ සිට දළ වශයෙන් කි. මී. 3 ක පමණ දුරකින් පිහිටා තිබේ. සීගිරිය මුහුදු මට්ටමේ සිට මීටර 349 ක පමණ උසකින් පිහිටා ඇති අතර, පිදුරංගල එම අගයට වඩා මීටර 1 ක පමණ උසින් අඩු ලෙස සැලකේ. පිදුරංගල මුදුනට නැගුණු විට හාත්පස සුන්දර දර්ශන නැරඹිය හැකි අතර සීගිරියේ මනස්කාන්ත දර්ශනයක් ද දැකගත හැකියි.
පිදුරංගලට වසර දහස් ගණනක් අතීතයට විහිදුණු ඉතිහාසයක් පවතී. මෙහි ඉතිහාසය සීගිරියටත් වඩා අතීතයකට දිවයන අතර ක්‍රි. පූ. දෙවන හා පළමුවන සියවස කාලයේ පටන් පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී ඇත. ක්‍රි .ව. 477 – 495 අතර කාලයේ දී සීගිරිය සිය පාලන මධ්‍යස්ථානය කරගෙන රජකම් කළ කාශ්‍යප රජු මෙහි විශාල සංඝාවාසයක් හා බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉදිකර එය රහතන් වනහ්සේලාට පූජා කළ බව ඉතිහාසයේ දැක්වේ.
පිදුරංගල මුදුනෙහි ඇති මනස්කාන්ත දර්ශන නැරඹීමට අමතරව එහි පාදමේ සිට ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුතු ස්ථාන රාශියක් එහි සංචාරය කරන්නන්ට හමුවේ. පිදුරංගල නැගීමේ ගමන ආරම්භ කරන ස්ථානය වම්පස කාශ්‍යප ස්ථූපය නම් චෛත්‍යයක නටඹුන් දැකගත හැකි වේ. මෙය කාශ්‍යප රජුගේ මරණයෙන් පසු ඔහුගේ ආදාහන පූජ්‍යෝත්සවය සිදුකළ ස්ථානය ලෙස සැලකේ. ඉන් මද දුරක් යාමේ දී පිදුරංගල පර්වතය පාදමේ පිදුරංගල රජමහ විහාරය හමුවේ. ලෙන් විහාරයක් වන මෙහි සීගිරියේ මෙන්ම පැරණි චිත්‍ර දැකගත හැකිය. මෙහි වර්තමාන විහාරස්ථානය මීට වසර 100 කට පමණ පෙර ඉදිකර ඇතිමුත් එය නිමවා ඇත්තේ ශත වර්ෂ ගණනාවක් ඉපැරණි විහාරයක ශේෂයන් මැදි කොට ගෙනය.
පිදුරංගල නැගීමට පැයක පමණ කාලයක් ගත වන අතර ගමනෙහි පළමු කොටසෙහි ගල් පඩි හා අත්වැට ඉදිකර තිබේ. එහි අවසාන කොටස මඳක් අපහසු නැගීමක් ඇති තරමක් තීව්ර එකකි. ඓතිහාසික වටිනාකමකින් යුතු තවත් ඉපැරණි ලෙන් විහාරයක් ගමන අතරමඟ දී හමුවන අතර, වර්තමානය වන විට මෙහි ඉතිරිව ඇත්තේ නටඹුන් කිහිපයක් පමණයි. මෙහි මීටර 12.5 ක දිගකින් යුතු සෙල්මුවා සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් ඇති අතර එහි ගරා වැටුණු සමහර තැන් මෑත යුගයේ දී නැවත පිළිසකර කර තිබෙනු දක්නට ලැබේ. මෙහි හිස සහිත කොටස මීට වසර 50 කට පමණ පෙර නිදන් සොරුන් විසින් විනාශ කර ඇති අතර, මෑත කාලීනව එය ප්‍රතිසංස්කරණය කර ඇති බව දක්නට ලැබේ. මෙම ඓතිහාසික ලෙන් විහාරයේ සිට එහි මුදුනට ඇත්තේ මිනිත්තු 5-10 ක පමණ ගමනකි.
පර්වතය මුදුනට ළඟා වූ පසු හාත්පස මනස්කාන්ත දර්ශනයක් දැක ගැනීමට හැකි වේ. විශේෂයෙන්ම පිදුරංගල සිට සීගිරිය දෙස බලන විට එය ඉතා අලංකාර ලෙස දිස්වේ. මෙහි උසම ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් හමුවේ. පිදුරංගල මුදුනතට සීගිරිය දිස්වන ආකාරයක් වේ ද, සීගිරිය මුදුනටත් පිදුරංගල එලෙස ම දිස්වේ. කාශ්‍යප රජ සමයේ දී කාශ්‍යප රජු මාළිගයේ සිටම පිදුරංගල වැඳ පුදාගැනීම සිදුකළ බව අතීත පොත පතෙහි ලියා ඇති බව සඳහන්ය. තවද සීගිරි චිත්රවල ඇති ළඳුන් මල් රැගෙන පිදුරංගල වැඳීට යන බවද දක්වා ඇති බව සැලකේ.
පිදුරංගල ගල මුදුනට සීගිරිය මෙන්ම රිටිගල ද වඩාත් මනස්කාන්ත අයුරින් දිස් වේ. දිනයේ උදය කාලයේ හෝ සවස් කාලයේ දී මෙහි ළඟා වන්නේ නම් හිරු උදාව හා හිරු බැසීම ඉතාමත් මනස්කාන්ත ලෙස දැක බලා ගත හැකිය.