ත්‍රිකුණාමලය
per person
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල නගරය කේන්ද්‍ර කරගෙන මෙම උරුම කලාපය හඳුනාගත හැකිය. මෙම කලාපය තුළ ප්රාග් ඓතිහාසික අවධියේ සිට යටත් විජිත යුගය දක්වා මානව ක්‍රියාකාරකම් සිදු වූ බවට පුරාවිද්‍යාත්මකව තහවුරුකොටගෙන ඇත. තැනිතලා භූමි කලාපයක් වන මෙහි ස්වභාවිකව පිහිටි ගල්ලෙන් බොහොමයක ප්රාග්ඓතිහාසික මානවයා වාසය කර ඇති බවට මෑතක සිදු කළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත. විශේෂයෙන් උරුම කලාපයේ පිහිටි ස්වභාවික සම්පත් දෙකක් නිසා ඓතිහාසික යුගයේ දී සුවිශේෂී මානව ක්‍රියාකාරකම් සිදු වූ කලාපයක් ලෙස හඳුනාගත හැකිය. එනම් ත්‍රිකුණාමල ස්වභාවික වරායත් සේරුවිල ආශ්රිත පිහිටා ඇති තඹ නිධියත් ය. ක්‍රි. පූ. 4 වන සියවසේ පමණ පටන් ක්‍රි.ව. 12 වන සියවස පමණ දක්වා සේරුවිල පිහිටි තඹ නිධිය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද භාවිත වූ තඹ නිධියක් බව පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික මූලාශ්‍ර මගින් තහවුරු වී ඇත. මෙම තඹ කැණීම් කළ ස්ථාන, තඹ නිස්සාරණ ස්ථාන හා තඹ නිස්සාරණ උදුන් පුරාවිද්‍යාත්මක පර්යේෂණ තුලින් හඳුනාගෙන ඇත. මෙම භූමි කලාපයේ නැගෙනහිර කොටස කඩතොළ සහිත වෙරළ තීරයක් නිසා ත්‍රිකුණාමලය ස්වභාවික වරාය ඇතුලූ අතීතයේ ක්‍රියාත්මක වූ වරායන් කිහිපයක් මෑතක දී හඳුනාගෙන ඇත. අතීතයේ ගෝකණ්ණ වරාය ලෙසින් හැඳින් වූ ත්රිකුණාමළය වරාය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වන්නේ ය. පෙර අපර දෙදිග සම්බන්ධ කරන්නා වූ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙසින් අතීතයේ සිටම ක්‍රියාත්මක වූ මෙම වරාය කඳුවලින් ආවරණය වූ බොකු සහිත ප්‍රදේශයක් වීම හා මෝසම් සුළඟින් නැව් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඉහළ මට්ටමකින් යුක්ත බැවින් බටහිර ජාතීන් යටතේ ඉන්දීය සාගරයේ ආරක්ෂාව හා වෙළඳ කටයුතු සිදු කිරීමේදී ත්‍රීකුණාමලය වරාය සුවිශේෂී වරායක් විය. වරාය ආශ්රිත කලාපයේ ආරක්ෂාව සඳහා බලකොටු කිහිපයක් ඉදිකරන ලද අතර වර්තමානයේ දී ෆෙඩ්රික් කොටුව නමින් හැඳින්වෙන ලන්දේසීන් විසින් ඉදිකරන ලද බලකොටුව අතීතයේ දී මෙන්ම වර්ථමානයේ දී ද ඉතා වැදගත් ආරක්ෂිත මධ්‍යස්ථානයකි. විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව අවධියේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහාමාර්ග පද්ධතියේ නැගෙනහිර කෙළවර වන්නේ ත්‍රිකුණාමලයේ පිහිටි මෙම වරායන්ගෙනි. මෙම උරුම කලාපය තුළ වූ තවත් විශේෂිත කරුණක් වන්නේ බෞද්ධ, හින්දු උරුමයන් සම්මිශ්‍රව පැවතීමයි.
යටත් විජිත යුගයේ දී ප්‍රධාන මර්මස්ථානයක් වන ත්‍රිකුණාමලය, පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසි යන බටහිර ජාතීන්ගේ පාලනයට ත්‍රිකුණාමලය නතු වෙයි. ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ෆෙඩ්රික් බලකොටුව මේ සඳහා සාධක සපයයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ෆෙඩ්රික් බලකොටුව කේන්ද්‍රකරගෙන උරුම කළමනාකරණ කටයුතු 2016 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. විශේෂයෙන් දීර්ඝ කාලයක් සිවිල් යුද්ධයක් පැවති කලාපයක් වූ මෙහි පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරගැනීම හා එම උරුමයන් සාමාන්‍ය ජනතාවට නැරඹීම සඳහා අවශ්‍ය කටයුතු සැලසීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ. එමෙන්ම මෙම උරුම කළමනාකරන වැඩපිළවෙළ යටතේ ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් මෙන්ම හින්දු උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරනු ලබයි.
ත්‍රිකුණාමලය ආශ්රිත ඵෙතිහාසික ස්ථාන
ෆෙඩ්රික් කොටුව
ස්වාභාවික වරායක් ලෙස ප්‍රකට වූ ත්රිකුණාමළය වරායේ පිවිසුමට ආරක්ෂාව සැපයීමත් “ඩච් බේ” හා “බැක් බේ” නමින් හැඳින්වෙන පැරණි වරාය ලෙස හැඳින් වූ ප්‍රදේශයට ආරක්ෂාව සැපයීමත් මෙම බළකොටුව මඟින් සිදුවිය. පෘතුගීසීන් මෙම ස්ථානයේ 1624 දී (එහි ස්තූප කන්දෙහි) බලකොටුවක් ඉදිකරන ලද අතර එය “එලීසා බළකොටුව” නමින් හැඳින්විය. 1639 දී ලන්දේසීන් විසින් බලකොටුව යටත් කරගන්නාතෙක්ම යුධ හා වාණිජ කටයුතු සඳහා පෘතුගීසීන් විසින් බලකොටුව භාවිතා කර ඇත.
පෘතුගීසින් පන්නා දැමීමට උඩරට පාලකයා වූ රාජසිංහ රජු ලන්දේසීන්ගේ සහයෝගය ලබාගත් අතර ලන්දේසීන් ත්‍රිකුණාමල බලකොටුව අල්ලා ගැනීමෙන් පසුව ඔවුන් යටතේම බලකොටුව තබා ගත්තේය. ලන්දේසීන් 1795 දක්වා කාලය තුළ වරින් වර ස්ථානයේ භූගෝලීය පිහිටීමට ගැලපෙන පරිදි සැලසුම් සහගතව ඉතා පළල් වූ බිත්තිවලින් යුක්තව වර්තමානයේ දක්නට ලැඛෙන සැලැස්මට අනුකූලව යුධ අට්ටාල සහිතව කොටුව ඉදිකර ඒ තුළ පරිපාලන හා අනෙකුත් අවශ්‍යතා සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද තනා ඇත. ද කැට් සී බර්ග්, ඇම්ස්ට්‍රඩෑම්, එන්තූසිඇස්ට්ස්, හෝලන්ඩ් හා ද රෙඩ්වුට් යන යුධ අට්ටාලයන්ගෙන් සමන්විත මෙම කොටුව මුහුදින් හා ගොඩබිමින් එල්ලවිය හැකි ආක්රමණයන්ට මුහුණදිය හැකි ආරක්ෂක ක්රමෝපායන්ට අනුව සකස් කර තිබේ.
ලන්දේසි පාලනයෙහි අවසන් කාලසීමාව වන විට (ක්‍රි.ව. 1782 පසුව) ප්‍රංශ ජාතිකයින් වරින් වර ත්‍රිකුණාමලය බලකොටුව අල්ලා ගත් අතර ඔවුන් විසින් කොටුවේ විවිධ වෙනස්කම් සිදු කර ඇත.
ලන්දේසි පාලනය බිඳ දැමූ බ්‍රිතාන්‍යය ජාතිකයින් 1795 දී මෙම බලකොටුවේ පාලනය ගිවිසුමක් මගින් නතු කර ගත් අතර ඔවුන් විසින් කොටුව “ෆෙඩ්රික් බලකොටුව” ලෙස නම් කරනු ලැබිණි. ඉංග්‍රීසි ජාතිකයින් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි කොටුබැම්ම හා යුධ අට්ටාලවල වෙනස්කම් සිදු කර ඇති අතර එම කාලසීමාවේ දී ගොඩනැගිලි රාශියක් ද ඉදිකර තිබේ. විශේෂයෙන්ම දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදා යටතේ ලන්දේසීන් විසින් ඉදිකළ යුධ අට්ටාලවල නවීන ආයුධ ස්තාපිත කර ඇති අතර වෙනත් ස්ථාන කිහිපයකම කාලතුවක්කු ස්ථානගත කර තිබේ. 1948 දක්වාම ඉංග්‍රීසීන්ගේ පරිපාලන කටයුතු සඳහා මෙන්ම යුධමය කටයුතු සඳහා ද මෙම බලකොටුව භාවිත කෙරිණි.
පුරාවිද්‍යාත්මක කැණීම් - 2022
මෙම කැණීමේදී හා මතුපිට සමීක්ෂණ කටයුතු වල දී දේශීය මෙන්ම විදේශීය ඉපැරණි මැටි භාණ්ඩ, පබළු වැනි පුරාවිද්‍යාත්මක අවශේෂ රාශියක් හමු විය. එමගින් අනුරාධපුර මුල් අවධියේ සිට යටත් විජිත අවධිය දක්වා අදාල භූමියේ සිදුවූ අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකිවිය.
මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එක්ව ත්‍රිකුණාමලය කොටුව ඉදිරිපිට මැක්හෙයිසර් ක්‍රීඩාංගණය ප්‍රදේශය (පැරණි වරාය ලෙස භාවිත කළ ප්‍රදේශය) අධ්‍යයනය කිරීම සඳහා පුරාවිද්‍යා කැණීම් මාලාවක් 2022 සැප්තැම්බර් 01 වැනිදා සිට පවත්වන ලදී.
කෙටි තොරතුරු
පළාත | නැගෙනහිර පළාත |
|
|
දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමලය |
|
|
පොලිස් ස්ථානය | ත්‍රිකුණාමලය |
|
|
රෝහල | ත්‍රිකුණාමලය |
|
|
සම්බන්ධතා අංකය | +94 262 220 039 |