ඉබ්බන්කටුව
per person
ඉබ්බන්කටුව පිහිටා ඇත්තේ කුරුණෑගල ත්‍රිකුණාමලය පාරේ දඹුල්ලට සමීපව ය. එය ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුණු හොඳින් සංරක්ෂිත වූ පූර්ව-ඓතිහාසික සුසාන භූමිය කි. හෙක්ටයාර් 13 ක භූමිය වසා පැතිරී පවතින ඉබ්බන්කටුව සුසාන භූමිය මෙගලිතික සම්ප්‍රදායට අයත් ශීලා කුටීර ස්වරූපයේ සොහොන් ගණනාවකින් සමන්විත ය.
ඉබ්බන්කටුව සුසාන භූමියෙහි පළමු පුරාවිද්‍යා ගවේෂණය 1970 දී කරන ලද්දේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි ආචාර්ය රාජා ද සිල්වා මහතා විසිනි. ඉන් පසුව 1988 දී හා 1990 දී මෙහි පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදු කළ මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ ජර්මනියේ කාවා (The Kommission fur Algemeine und Vergleichende Archaeologie) යන ආයතනවල දෙස් විදෙස් ගවේෂකයන් විසින් සොහොන් කොත් 21 ක් සොයා ගැනුණි. මෙතැනින් ලැබුණු විකිරණශීලි කාබන් කාල නිර්පණ පරීක්ෂණයට භාජනය කරන ලදුව එය ක්‍රි.පූ. 6 වන සියවසට අයත් බැව් නිගමනය විය.
යළිත් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2015 වර්ෂයේ දී ඉබ්බන්කටුව සුසාන භූමියේ ගවේෂණයක් කරන ලදි. මෙහි දී කලින් සොයා ගෙන තිබුණු සොහොන් 21 ට නුදුරින් මීටර් 10«10 ප්‍රමාණයේ පෙදෙසක කැණීම් සිදු විය. මෙහි පස් ඉවත් කිරීමේ දී තවත් සොහොන් 47 ක් සොයා ගත හැකි විය. මෙයින් 26 ක් මළවුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ශිලා කුටීර සොහොන් විය.
මෙම සොහොන්කොත් නිමවා තිබුණේ සරල ගල් පුවරු භාවිතයෙනි. සොහොන් කොත් සමහරක් ගල් පියන්වලින් වසා තිබුණු අතර ඒවා තුළ විවිධ ප්‍රමාණයේ මැටි භාජන විය. එම භාජනවල මළවුන්ගේ අළු තැන්පත් තිබුණි. විවිධ ස්වරූප ගත් මෙම මැටි භාජන කාලරක්ත මැටි බදුන් විශේෂය හා රතු මැටි බදුන් විශේෂයට අයත් වේ. මීට අමතරව තඹ හෝ යකඩ ලෝහයෙන් නිර්මිත ආම්පන්න සහ විවිධාකාර අමුද්‍රව්‍යවලින් සෑදුණු පබළු වර්ග කීපයක් ද එම භාජනවලින් හමු විය.
කැණීමෙන් සොයාගැනුණු සොහොන්ගත කිරීම් 47 න් 21 ක් මළවුන්ගේ අළු තැන්පත් වූ මැටි භාජන වූයේ ය. මේවා බරණි සුසාන ලෙස හැඳින්වේ. ඉබ්බන්කටුව සුසාන භූමිය, ශ්‍රී ලංකාවෙන් හමු වූ ප්‍රාග් ඓතිහාසික සුසාන භූමි අතුරෙන් විශාලතම භූමිය වේ. මෙම භූමිය මීටර් 700 – මීටර් 400 ප්‍රමාණයක පැතිරී තිබුණි. මෙම සුසාන භූමියට නුදුරින් සොයා ගැනුණු පොල්වත්ත නම් ජනාවාස භූමිය හා සමග සලකා බලන විට මෙය මුල්කාලීන යකඩ යුගයට අයත් වූ ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුණු මානව ජනාවාසය හා ඊට අනුබද්ධ සුසාන භූමිය වන්නේ ය.