පසුබිම

වර්ෂ 26ක් පුරා පැවති ඝට්ටනයෙහි නිමාවෙන් පසු ශ්‍රී ලංකාව දැනට ඒ හා සම්බන්ධ වූ මානුෂීය හා සංස්කෘතික බලපෑම් සලකා බලන අතර ජාතික සංහිඳියාව සඳහා වන වැඩපිළිවෙලක් ගැන ද සලකා බලමින් සිටී. ඝට්ටන අවධියෙන් පසු ප්‍රයත්නයන් විසින් මානුෂීය අභියෝගයන්ට මුහුණදීම අරඹා ඇතත් හානි වී ඇති සංස්කෘතික උරුමයන්හි පශ්චාත් ඝට්ටන පුනර්ජීවනයත්, සාමය ගොඩනැගීමටත්, ජාතික හා ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය මඟින් ආර්ථීක සංවර්ධනයටත් ඇති උපයෝගීතාව වටහා ගැනුණේ ඉතා මෑතක දී පමණි (Pushparatnam 2014).

ඝට්ටන අවධියෙහි දී බරපතළ ලෙස හානියට පත් එක් පුරාවිද්‍යා ස්මාරකයක් වූයේ යාපනය බළකොටුව ය. එහි කොටුපවුරේ ඇතැම් කොටස් හානියට පත් වූ අතර හෙක්ටයාර් 22ක් වූ එහි අභ්‍යන්තරයේ බොහෝ තැන් ද විනාශ විය. ව්‍ය.ව.1618 දී පෘතුගීසීන් විසින් ගොඩනගන ලද මෙය මුලින් ආයතශ්‍රාකාර බළකොටුවක් වූ අතර 1658 දී එය අත්පත් කරගත් ලන්දේසීන් විසින් එය විශාල කොට පස්කොන් ස්වරූපයට වෙනස් කරන ලදි. මෑත ඝට්ටන අවධියට පෙර එය ආසියාවේ තිබුණු යටත්විජිත අවධියට අයත් හොඳින් ම සංරක්ෂිත ස්මාරකය වූයේ ය (Nelson 1984). මෙහි පසුකාලීන එනම් යටත්විජිත ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතත් එහි මතුපිට පෙනෙන්නට ඇති තත්ත්වය හැරුණු විට එය ඉදිවීමට පෙරාතුව එනම් යටත්විජිත අවධියේ ඉදිකිරීම්වලට යටින් පිහිටි පැරණි අවස්ථා පිළිබඳ දැනුම ඉතා ස්වල්ප ය.

යාපනයේ සහ උතුරුදිග ලංකාවේ මුල්කාලීන පුරාවිද්‍යා අනුපිළිවෙළ පිළිබඳ ව ඉන්ද්‍රපාල (1965), පද්මනාදන් (1969) සහ රඝුපති (1987) ආදීන්ගේ පුරෝගාමී අධ්‍යයන පැවතුණ ද එම ප්‍රදේශය පිළිබඳ මූලික තොරතුරු දිවයිනේ අන්‍ය ස්ථාන පිළිබඳ මූලික තොරතුරු තරම් මනාව හෙළිදරව් වී නැත. මීට එක් හේතුවක් වන්නට ඇත්තේ ඝට්ටන අවධියෙහි තොරතුරු ලැබීමේ අපහසුතාවය නිසා මෙන් ම දිවයිනේ අන්‍ය ප්‍රදේශවල පිහිටි පැරණි අගනගරයන් කෙරේ අවධානය කේන්ද්‍රවීම නිසා විය හැකි ය. උතුරුදිග ලංකාවේ යටත්විජිත අවධියට පෙර යුගය පිළිබඳ ව ව්‍යතිරේඛ කීපයක් හැරුණු විට,  විද්‍යාත්මක ව දින නිර්ණය වූ අවධි ස්ථර විග්‍රහයන් පළ වී නොතිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ අතීතය පිළිබඳ සංකල්පීය පුනර්නිර්මාණය සඳහා ලේඛනාරූඪ මූලාශ්‍රයන්ට බරවීමක් පෙනෙන්නට තිබේ.

මෑතක දී යාපනේ බළකොටුවේ තහවුරු කිරීම් කටයුතුවලට මීටර් හතරක් ගැඹුරු ගවේෂණ ආවාටයත් කැණීමත් ඇතුළත් විය. එහි දී මුල් අවධියට අයත් රූලට් ද ලැබුණි. ඒ සමග මධ්‍යකාලීන ඉස්ලාමීය හා චීන පිඟන් භාණ්ඩ අවශිෂ්ටයන් ද ලැබුණේ ය. දිවයිනේ වෙනත් ස්ථානයන්ගෙන් ලැඛෙන සාධකයන්ට සබඳතා පෙන්වමින් (Carswell, Deraniyagala and Graham 2013) මෙම ආම්පන්නවලින් ඉඟි කෙරෙන්නේ යාපන බළකොටුව තුළ සංස්කෘතිකමය පදිංචියෙහි ගැඹුර මෙන් ම යටත්විජිත අවධියට පෙර එය දකුණු ආසියාවේ සහ ඉන්දියානු සාගර වාණිජ ජාලය තුළ එහි භූමිකාව ය. තව ද භූමිය පසාර කරන රේඩාර් දර්ශන මඟින් බළකොටුවෙහි සම්පූර්ණ භූමිය ම තුළ ඇති පූර්ව අවධිවල ගොඩනැගීම් සැලසුම් පෙන්වා දෙමින් කැණීම් කර ඇති ස්ථාන හා බද්ධකර ගැනීමට ආධාරක වනු ඇත.

අරමුණු

මහාචාර්ය ගුණවර්ධන ප්‍රමුඛ ව මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි පුරාවිද්‍යාඥයන්, මහාචාර්ය පුෂ්පරත්නම් ප්‍රමුඛ ව යාපනේ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් ද ඩර්හැම් විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උරුමයෙහි පුරාවිද්‍යාත්මක සාරධර්ම සහ භාවිතාව පිළිබඳ යුනෙස්කෝ මහාචාර්යවරයා ද යන අයගේ සහයෝගීතාවයෙන් යාපනේ බළකොටුව කෙරේ අවධානය යොමු කොට පශ්චාද් ඝට්ටන පුරාවිද්‍යාව සඳහා විධික්‍රමයක් ගොඩනැගීම පිණිස ප්‍රස්තුත අධ්‍යයනයක් කරනු ලැබේ. බ්‍රිතාන්‍ය ඇකඩමිය ද අයි. එම්. ඊ. එම්. එස්. ආයතනය ද විසින් ප්‍රතිපාදන සපයනු ලදුව මෙම ඒකාබද්ධ පුරාවිද්‍යා ගවේෂණ මඟින් මෙවලම් හා වාස්තු විද්‍යාත්මක සාධක විද්‍යාත්මක ව කාල නිර්ණයට ද මග පෑදෙනවා ඇත. මෙය දැනට නොසලකා තිඛෙන ප්‍රාග් යටත්විජිත යාපනයේ උරුමය වටහා ගැනීමට විශේෂයෙන් උපකාර වනු ඇත. මෙම වැඩසටහන උතුරුදිග ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක කටයුතු වැඩිදියුණු කිරීමට ද සාධක වනු ඇත. මහාචාර්ය පුෂ්පරත්නම් පවසන පරිදි උතුරුදිග ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක ව්‍යාපාරයට දිරි දීම පිණිස අප විසින් මෙම පෙදෙසේ පැරණි ඉතිහාසය හා අළලා ඓතිහාසික ස්ථාන ඇතුළු සංස්කෘතික උරුම සංකේත හා ස්මාරක ජනප්‍රිය කිරීම පිණිස සහ අදාළ ඓතිහාසික ස්ථාන ජනප්‍රිය කිරීම පිණිස ධනාත්මක එළඹුමකින් ක්‍රියා කළ යුතු ය. එයින් සංස්කෘතික උරුම සංකේත හා ස්මාරක සංරක්ෂණය වනවා පමණක් නොව වටිනා විදේශ විනිමය ද උපයා දෙනවා ඇත (2014:10).

නියාමක කැණීම් මඟින් ඒ ඒ ස්ථාන සඳහා විද්‍යාත්මක ව දින වකවානු නිර්ණය කෙරෙනු ඇත. ඒ අනුව ඒවා ශ්‍රී ලංකාවේ හා ඉන්දීය සාගර කලාපයේ මෙවලම් වර්ගීකරණ පිළිබඳ ව ප්‍රකාශයට පත් ව ඇති වාර්තා සමග සම්බන්ධ කළ හැකි ය. පොළොව පසාරු කර දකින රේඩාර් දර්ශන මඟින් බළකොටුවේ පූර්ණකාලීන ඉදිකිරීම් සැලසුම් හඳුනා ගැනෙනු ඇත. එමඟින් මුල් ජනාවාස රටා පිළිබඳ සාධක සපයාදෙනු පමණක් නොව පොළොව යට පිහිටා ඇති උරුම ස්ථාන හඳුනාගැනීම ද සිදු වනු ඇත. මෙයින් සිදු කෙරෙන තවත් කාර්යයක් වන්නේ පුරාවිද්‍යා අවදානම් සිතියම් සම්පාදනය කරමින් අනාගත යටිතල සම්පාදන, එනම් ජල නළ හා භූගත විදුලි රැහැන් යෙදීම වැනි කටයුතුවලට අගනා මාර්ගෝපදේශයක් සලසා දෙනු ඇත. යාපනේ බළකොටුව මෙන් ම දේශීය හා ජාත්‍යන්තර වෙළඳාම් ජාලයන් සංවර්ධනය කරන අතර මෙම ව්‍යාපෘතියෙන් ඝට්ටනයට පසුව එන හානි වූ ස්මාරක පිළිබඳ පුරාවිද්‍යාත්මක කටයුතු ලේඛනාරූඪ කිරීම් සඳහා විධික්‍රම ද සලසා දෙනු ඇත. එසේ ම 2004 දී සිදු වූ ඉන්දීය සාගර සුනාමිය වැනි ස්වභාවික ආපදාවන්ගෙන් හානි වූ ස්මාරකයන්ට ද මෙය අදාළ වේ.

කිසියම් විනාශයකින් පසුව එන ගවේෂණයන්, උදාහරණ වශයෙන් නේපාලයේ මෑතක සිදු වූ මහා භූමිකම්පාවෙන් පසු සිදු වූ ගවේෂණ වැනි ව්‍යාපෘතීන් හා සමපතනය වන එළඹුම් මඟින් උරුමයන් පිළිබඳ විශේෂඥයන්ට පමණක් නොව ඉන් පරිබාහිර විශේෂඥයින්ටත් පුරාවිද්‍යා ස්ථානවලින් භෞතික සංස්කෘතික භාණ්ඩ බේරාගෙන සංරක්ෂණය සඳහා අවශ්‍ය විධික්‍රම සැලසුම් කරගත හැකි යැයි විශ්වාස කරමු. එසේ සංරක්ෂිත දේ ඝට්ටන කාල වකවානුවේ දී හෝ ස්වභාවික ව්‍යසනයන්හි දී හානි වූ ස්මාරක පුනරුත්ථාපනයට, පුනර්නිර්මාණයට හෝ ප්‍රතිසංස්කරණයට යොදාගත හැකි ය.

සොයාගැනීම්

වර්ෂ 2017 ජූනි - ජූලි කාලයේ දී යාපනේ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා රජයේ මධ්‍යම සංස්කෘතික අරමුදල අතර සහයෝගීතා වැඩපිළිවෙළක් යටතේ යාපනේ ලන්දේසි බළකොටුවෙහි පුරාවිද්‍යා ගවේෂණ වාරයක් පවත්වන ලදි. මෙම නියාමක ක්ෂේත්‍ර ගවේෂණයේ දී අප විසින් ගවේෂණ අගල් කැපීමෙන් කොටුවේ ස්ථරායන අනුපිළිවෙළ හෙළිදරව් කර ගැනීමටත් පොළොව යට ඇති උරුම ස්ථාන හඳුනාගෙන ඒවායේ ස්ථානගතවීම පිළිබඳ සිතියමක් සකස් කිරීම පිණිස පුද්ගල විරහිත ගුවන් යානා ගවේෂණ (UAV) සහ පොළොව පසාරු කරන රේඩාර් නිරීක්ෂණ සිදුකරන ලදි. මීට අමතර ව 18 වන සියවසේ ඉදි වූ ලන්දේසි පල්ලියේ නටබුන් මත පශ්චාත් ව්‍යසන පුරාවිද්‍යා සටහන් එක්රැස් කිරීමේ ක්‍රමවේදයන් අත්හදා බලන ලදි.

පුද්ගල විරහිත ගුවන්යානා නිරීක්ෂණය (UAV) සහ පොළොව පසාරු කරන රේඩාර් නිරීක්ෂණ (GPRS)

අපගේ GPRS ගවේෂණය මඟින් බළකොටුවෙහි අභ්‍යන්තරයෙහි පවතින ස්මාරක මෙන් ම එහි ප්‍රාකාරය, දිය අගල, ප්‍රාකාරයේ පිට චක්‍රය සහ අවට භූමිය පරික්ෂාවට භාජනය විය. එම ගවේෂණයේ දී වයඹදිගට අර්ධ කවාකාර ප්‍රාකාර මුරකුටි තුනක් තිබුණු බව තහවුරු විය. ඒවා කළින් තිබුණු පෘතුගීසි බලකොටුවේ අවශිෂ්ටයන් ලෙස සැලකේ. මෙම ගවේෂණය මඟින් ඨඡඍ ගවේෂණයේ ප්‍රතිඵල ද තහවුරු කරගත හැකි විය. වර්තමානයේ බලකොටුවේ භූමියට යටින් ඇති භූ අභ්‍යන්තර පුරාවිද්‍යා තොරතුරු හඳුනා ගැන්මට උපකාරී විය. එහි ගැඹුරත්, විහිදුණු ප්‍රමාණයත් මෙහි දී පැහැදිලි විය. විවෘත ප්‍රදේශවල කළ ගවේෂණයේ දී මුලින් පැවති ඉදිකිරීම් පද්ධතියක් දක්නට ලැබුණි. ඒවාද කළින් වූ පෘතුගීසි බළකොටුව හා සම්බන්ධ යැයි සැලකේ. තවදුරටත් කෙරෙන GPRS දත්ත විශ්ලේෂණය මඟින් කොටුව තුළ ඇති පූර්වකාලීන අවධීන් වැඩිදුර හඳුනාගැනීමට, වර්ගීකරණයට සහ ස්ථාන සිතියමකට ඇතුළත් කිරීමට හැකි වනු ඇත. ඒ අනුව මෙම ස්ථානයේ වර්ධනය කාලානුකූල ව සිදු වූ ආකාරය ගැන අපේ අවබෝධය වඩා ශක්තිමත් වනු ඇත. තවද අනාගත සංවර්ධන කටයුතුවලදී ද යළි ඉදිකිරීම්වල දී ද භූගත උරුමය ආරක්ෂා කරගැනීමට මෙය මහෝපකාරී වනු ඇත. එසේ ම මෙම ගවේෂණ මඟින් අනාගතයේ පුරාවිද්‍යා නිරීක්ෂණ සිදුවිය යුතු ප්‍රදේශ හඳුනාගැන්මට ද ඉඩ සැලසෙනු ඇත.

කැණීම්

අපේ කැණීම් අගල් ස්ථානගත කරන ලද්දේ ස්ථානයෙහි සංවර්ධනාත්මක අනුපිළිවෙළ වඩා හොඳින් වටහා ගැන්ම සහ එහි මානව ක්‍රියාකාරකම්වල ඉතිහාසය වටහා ගැන්මත් සඳහා ය. පළමු අගල ස්ථානගත කෙරුණේ ලන්දේසීි බලකොටුවේ බටහිර ප්‍රාකාරයේ අභ්‍යන්තර මූණතට සමීපව ය. මෙහි දී අපේක්ෂිත වූයේ ලන්දේසි අවධියේ ප්‍රාකාරයේ ගැඹුර වටහා ගැනීමත් ඊට පූර්වකාලීන ව සිදුවිය හැකි වූ බළකොටු බැඳීම් හඳුනා ගැනීමත් ය. මෑතකාලීන සුන්බුන් ඉවත් කළ කල ඉස්මතු වූයේ යටින් වූ ශක්තිමත් තැන්පත්වීම් ය. ඒවා ප්‍රාකාරයේ පහත කෙළවර මත ගොඩගැසී ප්‍රාකාරයේ යට කොටසින් ඉදිරියට නෙරාවුත් තිබිණි. කොරල් සහ හුණුගල් කුට්ටි හුණු බදාමයෙන් බඳිමින් මෙය සුවිශාල ලෙස ඉදි වූයේ බලකොටුවේ නැගෙනහිර මුහුණත පැරණි පෘතුගීසි ප්‍රාකාරයට බොහෝ ඈතට ප්‍රසාරණය කොට විශාල කිරීමට ලන්දේසීන් ගත් තීරණය නිසා ය.

භූමියේ බටහිර පාර්ශවයේ වූ පසුව සිරගෙයක් ලෙස භාවිත වූ බැරැක්ක ගොඩනැගිලිවලින් එකක නටබුන් මත අපි දෙවන කැණීම් අගලක් කැපුවෙමු. මෙහි ඉහළ ස්ථරයෙහි වූයේ පහළ ස්ථරයන් වසමින් ඇති ලන්දේසී පිඟන් කැබලි හා පයිප්ප ආදිය ඇතුළත් යුරෝපීය ඉදිකිරීම් අවධි කීපයක අවශිෂ්ට ය. ලන්දේසී බරණි, මුල්කාලීන ඉස්ලාමීය ඔපදැමූ භාජන, රූලට් භාජන මෙන් ම කළු හා රතු භාජන ආදියේ අවශිෂ්ටයන් මෙතැනින් ලැබීමෙන් තහවුරු වන්නේ ස්ථානයෙහි ප්‍රාග් යටත්විජිත අවධිය හා සම්බන්ධ ඉන්දියානු සාගර කලාපීය වැදගත්කම ය.

අවසාන වශයෙන් අපි ලන්දේසී අවධියෙහි ලූතිනන් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස වූ රැජින මන්දිරයේ නටබුන් මත තවත් කැණීම් අගලක් කැපුවෙමු. එහි ඉහළ ස්ථරයෙහි වූයේ බිත්ති හා සම්බන්ධ අවශිෂ්ටත් දහ නවවන හා විසිවන සියවසේ මුල අවධියට පිඟන් කැබලි සහ නූතන දේවල් ය. අගල තුළ වූ එක් කොටසක පෙර දවස බිත්ති බැඳීමක ලකුණු දක්නා ලැබුණි. එය බැඳ තිබුණේ කොරල් කුට්ටිවලිනි. යුරෝපීය සබඳතා දක්වන පිඟන් කැබලි ද සහිත ව සංස්කෘතික අවධි කීපයක තොරතුරු  ද මෙයින් ලැබුණි. මෙම තැන්පතු පසුව කොරල්පරය වෙත ඉවත් කරන ලදි. මෙම ස්ථානයේ මීට පෙර අවශිෂ්ටයන් නොමැති බව සහ කොරල්පරය හෙළිදරව් වීම යන කරුණුවලිින් පෙන්නුම් කෙරෙන්නේ මෙම රැජින මන්දිරය පිහිටි ස්ථානය වෙත පදිංචිය පැතිර යාම බළකොටුවේ පසුකාලීන ප්‍රසාරණය හා සම්බන්ධ බව ය. එනම් ස්ථානයේ නැගෙනහිර ප්‍රදේශය ලන්දේසීන් විසින් අලූතෙන් ගොඩනැගීම හා සමග සම්බන්ධ වීමට ඉඩ ඇති බව ය.

මහාචාර්ය පුෂ්පරත්නම් විසින් කළින් කර ඇති වාර්තා තහවුරු කරමින් අප යාපනේ බළකොටුව තුළ සිදු කළ පළමු සහසම්බන්ධී ගවේෂණ වාරයේ දී ප්‍රාග් යටත්විජිත අවධියට අයත් සබඳතා පිළිබඳ බොහෝ දේ හෙළිදරව් කරගත හැකි විය. මෙම සාධකවලට අයත් දේ අතර යාපනය පුළුල් ඉන්දීය සාගර සබඳතාවන් පෙන්නුම් කරන කලූ හා රතු (ව්‍ය.ව. පූර්ව 1000 - ව්‍ය.ව.100 පමණ), ග්‍රේ (ව්‍ය.ව. පූර්ව 500 - ව්‍ය.ව.200 පමණ), රූලට් (ව්‍ය.ව. පූර්ව 200 - ව්‍ය.ව.200 පමණ), රතු මැදපු (ව්‍ය.ව. පූර්ව 100 - ව්‍ය.ව.800 පමණ) මෙන් ම බටහිර ආසියාව හා සිදු වූ වෙළඳාම් පෙන්නුම් කරන සැසේනියන් - ඉස්ලාමීය (ව්‍ය.ව. පූර්ව 200 - ව්‍ය.ව.800 පමණ) මෙන් ම නැගෙනහිර ආසියාව සමග වෙළඳාම් පෙන්නුම් කරන යූ ඒ කොළ පැහැති (ව්‍ය.ව. පූර්ව 800 - ව්‍ය.ව.900 පමණ), ලන්දේසී පාෂාණ (ව්‍ය.ව. පූර්ව 700 - ව්‍ය.ව.1100 පමණ) සහ මිං අවධියේ පිඟන් (ව්‍ය.ව. පූර්ව 1300 - ව්‍ය.ව.1600 පමණ) ආදියයි. යුරෝපීය සහසම්බන්ධතා පෙන්වන පිඟන් භාණ්ඩ කොටස් ද තිබුණි. මීට ලන්දේසි හා බ්‍රිතාන්‍ය අවධිවලින් ලැබුණු නිෂ්පාදකයන්ගේ නම් ද සහිත භාණ්ඩ අවශිෂ්ට ද විය. අපි දැනට රේඩියෝ කාබන් පරීක්ෂණවල ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින නමුත් ලැබුණු භාණ්ඩ පිළිබඳ මූලික විශ්ලේෂණයන් පෙන්නුම් කරන්නේ යාපනයේ විශ්ව ව්‍යාප්ත සබඳතාවයන්හි දීර්ඝ ඉතිහාසය ය. එය සැබවින් ම අන්තර්ජාතික වෙළඳාම් හා සන්නිවේදන ජාලයන් තුළ කේන්ද්‍රීය ස්ථානයක් දරා සිටි බවත් පෙනේ. එය යුරෝපීය සබඳතා ඇරඹීමට පෙර ඒවායින් පරිබාහිරවත් තිබුණේ ය. තවදුරටත් සිදුකෙරෙන විශ්ලේෂණ මඟින් විවිධ බඩු භාණ්ඩ වර්ගීකරණයටත් මෙන් ම ප්‍රාග් - යටත්විජිත අවධියෙහි යාපනය ඉන්දීය සාගර කලාපයෙහි දැරූ තත්ත්වය පිළිබඳ ව වඩා පැහැදිලි ව වටහා ගැන්මට හැකි වනවා ඇත.

පශ්චාත් ව්‍යසන කැණීම්

මෑතක ඝට්ටන අවධියේ දී යාපනේ බළකොටුවේ පිහිටා ඇති ගොඩනැගිලි රාශියක් හානියට පත් වී ඇත. ස්ථානය සඳහා සංරක්ෂණ හා යළි ගොඩනැගීම් වැඩසටහන් සැලසුම් කර ඇති අතර යටින් ඇති බිත්ති හා පදනම් හෙළිදරව් කර ගැනීමේ දී එකතු වූ සංස්කෘතික වශයෙන් වැදගත් සුන්බුන් එතැනින් ඉවත් කිරීමට පෙර සටහන් කොට වාර්තාගත කිරීමේ පැහැදිලි අවශ්‍යතාවයක් ඇත. නේපාලයේ කත්මණ්ඩු මිටියාවතේ පශ්චාත් භූ කම්පන පර්යේෂණ මත පදනම් කරගත් ක්‍රමවේදයක් අප විසින් යාපනේ බළකොටුවේ කෘයිස් කර්ක් පල්ලියෙහි කැණීම් සඳහා පිළියෙළ කර ගැනුණි.

එම පල්ලිය ලන්දේසීන් විසින් 1707 දී ඉදි කරන ලද්දකි. එය ඝට්ටන සමයේ දී බිම් බෝම්බ වළලා විනාශ කරන ලදුව එහි බිත්ති විශාල සිමෙන්ති කැබලි හා ගල් සුනුබුන්වලින් වැසී තිබුණි. ඒ නිසා අපි ස්මාරකයේ ඊසානදිග කෙළවර කොටස්වලට ඛෙදමින් කටයුත්ත ඇරඹුවෙමු. එක් එක් හතරැස් කොටුවෙන් සංස්කෘතික වශයෙන් වැදගත් සුන්බුන් ඉවත්කොට ගොඩනැගිල්ලෙන් පිටත සමාන්තර ව සැලසුම් කළ චතුරශ්‍රවල තැන්පත් කළෙමු. මේ මඟින් ඉඩකඩ පරිපාලනයට අවකාශය සපයන අතර ඉක්මනින් සුන්බුන් ඉවත් කිරීමට ද හැකියාව සැලසුණි. එක එක චතුරශ්‍රයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ගණන් කර, කිරා යළි භාවිතය සඳහා අඩුක්කු කරන ලදි. මෙය යාපනේ කොටුව තුළ වූ ස්මාරක සඳහා විශේෂයෙන් වැදගත් විය. කුමක් හෙයිින් ද යත්, එම ගොඩනැගිලි ද්‍රව්‍ය යළි සපයාගත නොහැකි හෙයිනි. කොරල් කුට්ටි යළිත් ලබා ගත නොහැක්කේ ශී්‍ර ලංකාවේ පවතින නීතිය අනුව මෙන් ම ජාත්‍යන්තර නීති අනුව ද කොරල් පර කැණීම තහනම් හෙයිනි. එසේ ම 18 වන සියවසේ ලන්දේසි ගඩොල් තවදුරටත් අලූතෙන් ලබා ගත නොහැක.

සුන්බුන් ඉවත් කිරීමේ දී අපට ප්‍රතිමාවල කැඩුණු කොටස් කීපයක් වාර්තාගත කිරීමට හැකි විය. එම තැනින් තැන ගෙන ගිය හැකි භාණ්ඩවල කොටස් මඟින් පල්ලියේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ද හෙළිදරව් විය. මෙම සුන්බුන් අතර පල්ලියේ බිත්තිවලින් ශේෂ වූ සැමරුම් පුවරුවල කොටස් ද විය. මේවා යළි එකට පුරුද්දන කටයුතු දැන් සිදු කෙරෙන්නේ පල්ලියේ දේහ තැන්පත් කළ අය ගැන මෙන් ම මෙහි දී සැමරීමට භාජනය වූවන් ගැන ද තොරතුරු ලබා ගැන්ම පිණිස ය.

සුන්බුන් ඉවත් කිරීමේ දී පල්ලියේ ගොඩනැගිලි අත්තිවාරම පරීක්ෂා කිරීමටත් ඇගයීමටත් ඉඩ සැලසුණි. මෙය ඉතා වැදගත් කරුණක් වන්නේ ගොඩනැගිල්ල සංරක්ෂණය හෝ යළි ඉදිකිරීම පිණිස බිත්තිවල බර දරා සිටීමේ ශක්තිය වටහා ගත යුතුව ඇති හෙයිනි. අත්තිවාරමේ සම්පූර්ණ ගැඹුර අප හෙළිදරව් කරගත් අතර එම අත්තිවාරමේ කොරල් ගල්වලත් හුණුගල්වලත් පිපිරුම් ඇති බව ද පෙනුණි. ලන්දේසි කාලීන පල්ලියේ බාහිර බිත්තියේ සවිබල ගැන්වීම් අපට පෙනෙන්නට ලැබුණු හෙයින් නිගමනය කළ හැක්කේ එහි ගල්වල ඇති පිපිරුම් ඝට්ටන සමයට අයත් ඒවා ම නොවන බව ය. දැනට ලැබී ඇති ප්‍රතිපාදන අනාගත තහවුරු කිරීම් සඳහා සැලසුම් සකස් කිරීමටත් අනාගතයේ දී පල්ලියේ ඉතිරි කොටස් තහවරු කිරීම් සඳහා මෙන් ම බළකොටුවේ අන්‍ය ස්මාරකවල සුන්බුන් ඉවත්කරලීම සඳහා ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට ද ප්‍රමාණවත් වනු ඇත.

මුද්‍රිත ප්‍රතිඵල

පොතේ පරිච්ඡේදය

  • Coningham, R.A.E., Manuel, M.J., Davis, C.E. & Gunawardhana, P. (2017). Archaeology and Cosmopolitanism in Early Historic and Medieval Sri Lanka. In Sri Lanka at the Crossroads of History. Biedermann, Z. & Strathern, A. London: UCL Press. 19-43.