ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක ඉතාම වටිනා ග්‍රන්ථ රාශියක් සහන මිලකට ඔබට ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත. විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති, මාර්ගෝපදේශක කෘති, ඓතිහාසික විස්තර ඇතුලත් සිතියම්, පින්තූර, තැපැල්පත්, පෝස්ටර්, ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථ රාශියක් මේ අතර වේ.

ඒ සමඟම බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කල විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica) සහ විවිධ කලා නිර්මාණද ඔබට මිලදී ගත හැක.

ජනවාරි මස 26 සිට 30 දක්වා පහත සඳහන් ස්ථාන වලින් මෙම ප්‍රකාශන සහ අනුරූ මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබේ.

*කොළඹ - අතපත්තු කාර්යාලය
*කොළඹ - අභයාරාම විහාරස්ථානය
*බටලීය - අනුරූ පාසල
*මහනුවර - මුලාදෑනි මන්දිරය
*පොළොන්නරුව - ව්‍යාපෘති පරිශ්‍රය
*දඹුල්ල - මධ්‍යම බස් නැවතුම්පොල (24-28)
*දඹුල්ල - නාමල් උයන ව්‍යාපෘති පරිශ්‍රය
*මොනරාගල - බුදුරුවගල පරිශ්‍රය
*තිස්සමහාරාමය - කතරගම පූජා භූමිය/තිස්ස රජමහා විහාරය
*රිදීගම - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
*අනුරාධපුරය - රුවන්මැලි මහා සෑය/අභයගිරි ස්තූපය
*මඩකලපුව - වාලච්චේන මධ්‍ය මහා විද්‍යාලය/ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
*ගාල්ල - ව්‍යාපෘති පරිශ්‍රය
*රත්නපුර - සමන් දේවාල පරිශ්‍රය (28-30)
*පඬුවස්නුවර - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (26-28)
*යාපනය - යාපනය කොටුව (21 දින සිට)
* රම්බා විහාරය - ව්‍යාපෘති රථගාල
* රිටිගල - ව්‍යාපෘති පරිශ්‍රයේදී
* මාතර - IGT ගොඩනැගිල්ල පහළ මහල
* යාපහුව - මධ්‍ය මහා විද්‍යාලය යාපහුව
* ත්‍රිකුණාමලය - ත්‍රිකුණාමලය කොටුව
* සීගිරිය - ව්‍යාපෘති පරිශ්‍රය
* දඹාන - ආදී වාසී ගම්මානය
* අම්පාර - ව්‍යාපෘති රථගාල
* දඹදෙණිය - පැරණි කාර්යාල පරිශ්‍රය

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරමින් අසමසම මෙහෙවරක් ඉටුකළ පී. ආර්. එස්. බණ්ඩාරනායක මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරා, පුහුණුවන පර්යේෂණ නිලධාරීවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ එතුමා කැණීම් පරීක්ෂකවරයකු වශයෙන්, සංරක්ෂණ නිලධාරීවරයෙකු වශයෙන් හා ස්ථිර ව්‍යාපෘති කළමනාකරුවකු වශයෙන් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දුන්නේය.

දිගු කලක් ව්‍යාපෘති ගණනාවක සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් රාජකාරි ආවරණය කරමින් ආයතනයේ අභිවෘද්ධියට මහත් කැපවීමෙන් සේවය කළේය.

රිටිගල ව්‍යාපෘතියේ කලමණාකරු සහ සීගිරිය, පොළොන්නරුව ව්‍යාපෘතීන්හි සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ අප අතරින් සමුගත් පී. ආර්. එස්. බණ්ඩාරනායක මහතාට නිර්වාණ සම්පත්තිය ලැබේවා යි ප්‍රාර්ථනය කරමු.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ සාතිශය සංවේගය මෙයින් පල කර සිටිමු.

අම්පාර ලාහුගල මඟුල් මහා විහාරයේ ඉදිකර තිබු හිටි බුදු පිළිම වහන්සේ නැවත පිළිසකර කර සැදැහැවතුන්ට වැදුම් පිදුම් කිරීම සඳහා නිරාවරණය කිරීම 2022 ජනවාරි මස 17 වන දින, මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ සිදු කළහ. ස්ඵටික රූපී හුණු ගලෙන් නිමවා ඇති මෙම බුදු පිළිම වහන්සේ ප්‍රධාන කොටස් හතරකට වෙන් වී තිබු අතර නිසි තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ මෙය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කළ අතර මේ සඳහා මුල්‍යමය දායකත්වය මාලා පෙරේරා මහත්මිය විසින් දරණ ලදී. මධ්‍යම සංස්කෘතික අරමුදල බටලීය ජාතික අනුරූ පාසලේ ශිල්පීන් මෙම පිළිම වහන්සේ ඒ ආකාරයටම නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායකත්වය දැක්වීය.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථාන අතුරින් මඟුල් මහා විහාරය සුවිශේෂි වැදගත්කමක් උසුලන ඓතිහාසික පින් බිමකි. ක්‍රි.පූ 2 වැනි සියවසේ දී ශ්‍රී ලංකාවේ රුහුණු රාජධානිය පාලනය කළ කාවන්තිස්ස රජු විසින් කැලණි තිස්ස රජුගේ දියණිය වූ විහාරමහාදේවී කුමරිය සමඟ විවාහ වූ ස්ථානයෙහි මෙම විහාරය ඉදිකර ඇති බවට විවිධ මතවාද පවති. ධාතුසේන රජු (ක්‍රි.ව 463-479) මෙම විහාරය ඉදිකර ඇති අතර තවත් බොහෝ රජවරුන් සියවස් ගණනාවකට පසු විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇති බව ද මූලාශ්‍රවල සඳහන්ව තිබේ. ඉතිහාසයේ දී භික්ෂුන් වහන්සේලා 12,000ක් පමණ මෙම ස්ථානයේ වාසය කළ බවට ද අනුමාන කෙරෙන අතර ස්තූප, බෝධිඝර, සියලු ගොඩනැගිලි වටකර ඉදිකර ඇති ඝන තාප්පයක්, ඇතුන් පිට සිටින ඇත් ගොව්වුන් නිරූපණය කෙරෙන ලංකාවේ මෙතෙක් සොයා ගෙන නොමැති සුවිශේෂි සඳකඩ පහණක් ද මෙම පුන්‍ය භූමියේ පිහිටා තිබේ.

මඟුල් මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අම්පාර මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක ඉඳගස් ඇල්ලේ ශ්‍රී පුන්‍යසාර නාහිමියෝ, කොටවෙහෙර විහාරාධිකාරී ගෝනවල පියනන්ද හිමි, හුලංනුගේ කඳහිඳගම සම්බුද්ධාලෝක ධර්ම නිකේතන විහාරාධිපති කුරුදුගොල්ලේ සාරානන්ද හිමි, ලාහුගල නීලගිරි රජමහ විහාරයේ විහාරාධිකාරී ලාහුගල සුමනසාර හිමි, ලාහුගල කිරිවෙහෙර විහාරවාසී ලාහුගල සෝමසාර හිමි, ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ, මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුභාණු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ කේ. බී. චන්දන වීරසිංහ, අම්පාර ව්‍යාපාති කළමණාකරු එච්. එම්. සී. වීරසිංහ, මොණරාගල ව්‍යාපෘති කළමනාකරු, එච්. ඒ. සී. ගයාන්, මඩකලපුව ව්‍යාපෘති කළමනාකරු, තිළිණ පල්ලෙතැන්න යන මහත්ම මහත්මිහු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වුහ.

දිවයින පුරා පිහිටි සියලු ම බෞද්ධ සිද්ධස්ථානවල විස්තර ඇතුළත් තොරතුරු පද්ධතිය ජනගත කිරීම පසුගිය 29 වන දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත මෙම තොරතුරු පද්ධතිය dba.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කළ හැකි ය.

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවිය (mbs.gov.lk) භාෂා ත්‍රිත්වයෙන් ම එළිදැක්වීමේ කටයුතු ද මෙහි දී ආරම්භ විය. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මෙම තොරතුරු පද්ධතිය ජනගත කිරීමට සමගාමීව එහි රාජකාරී කටයුතු ද ලබන ජනවාරි 03 වැනි දා සිට දත්ත පද්ධතිය ඔස්සේ ඉටු කිරීමට අපේක්ෂිත ය.

ඒ යටතේ විහාරස්ථාන ලියාපදිංචිය, විහාරාධිපති තනතුරු පිළිගැනීම මෙන් ම විහාරාංග සංවර්ධනය සඳහා ආයතන හා පුද්ගලයින් සඳහා අවස්ථාව ලබා දීමේ කටයුතු විධිමත් කිරීමට ද නියමිත ය. මෙම දත්ත පද්ධතියේ දැනට විහාරස්ථාන 13,972ක් පිළිබඳ තොරතුරු ඇතුළත් අතර ඒ ඒ දිස්ත්‍රික්ක මට්ටමෙන් ඊට අදාළ තොරතුරු ලබා ගැනීමේ පහසුව ද සලසා තිබේ. මෙම විහාරස්ථාන 13,972කෙහි වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේලා සංඛ්‍යාව 44,846කි. මීට අමතරව දහම් පාසල් 10,417ක් පිළිබඳව හා එක් එක් දහම් පාසලේ සේවය කරන ගුරු භවතුන් 127,381 හා එහි ඉගෙනුම ලබන ළමුන් පිළිබඳ තොරතුරු ද නව දත්ත පද්ධතියට ඇතුළත් ය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් හඳුන්වා දෙන නවතම තොරතුරු පද්ධතිය ද මෙහි දී අන්තර්ජාලයට එක් කෙරිණි. දියේ ගිලුණු පුරාවිද්‍යා ස්මාරක 107ක් හඳුනා ගනිමින් කළ පර්යේෂණවල තොරතුරු මධ්‍යම සංස්කෘතික අරමුදලේ වෙබ් අඩවිය (ccf.gov.lk) වෙත ඉදිරියේ දී ඇතුළත් වනු ඇත.

දියේ ගිලුණු පුරාවිද්‍යා ස්මාරක යටතේ නෞකා 101ක් සහ ගුවන් යානා 6ක් පිළිබඳ තොරතුරු ද එම සිදුවීම්වල ඉතිහාසය, ඡායාරූප සහ වීඩියෝ ද මෙසේ අන්තර්ජාලයට එක් කිරීමට නියමිත ය. සංචාරක කර්මාන්තයට දායක වෙමින් මෙම ස්ථාන දෙස් විදෙස් සංචාරක ගමනාන්ත බවට පත්කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාව වී තිබේ. දැනට ඊට අදාළ තොරතුරු https://nsd.ccf.gov.lk/ වෙබ් ලිපිනයෙන් පරිශීලනය කළ හැකි ය.

ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ මෙම අවස්ථාවට විශේෂයෙන් වැඩම කළහ. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.