අංගම්පොර සටන් කලාව
per person
සිංහලයාගේ සාම්ප්‍රදායික යුධ සටන් ක්‍රමයක් වන “ අංගම්පොර ” සතු මූලික ලක්ෂණ වන්නේ සියුම් බව, ශක්තිමත් බව හා ජවසම්පන්න බවයි. අංගම්පොර සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන් උඩුකය නිරුවත්ව ද යටකය සඳහා පාරම්පරික දියකච්චිය, වවුල් අමුඩය, මල්වාටිය, සරුවාලය හෝ කොට සුදු සරම අඳිනු ලබයි. කාන්තාවන් සඳහා සාම්ප්‍රදායික හැට්ටය භාවිත වේ.
අංගම්පොර සටන් කලාවේ ආරම්භය පිළිබඳව විවිධ ජනප්‍රවාද මෙන්ම මත ද පවතී. ඒ අතරින් වඩාත් ප්‍රචලිත වන්නේ රාවණ ජනප්‍රවාදය යි. මින් වසර 25000 කට පෙර ලක්දිව ඉපිද සිංහල සටන් ශිල්පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීනව මහා රාවණ නම් රණ ශූරයා දියුණුවට පත් කරන ලද බවයි. පසුකාලීනව අංගං/ අංගම් නමින් හඳුන්වන මෙම විශිෂ්ඨ සටන් කලාව සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.
ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණ යුගයෙන් ඔබ්බට එනම් වසර 33000 කට පෙර ඉතිහාසයකට දිව යයි. ජනවහරේ සඳහන් සුර අසුර, රාම රාවණ ආදී යුද්ධ වලදී ද හෙලයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇති බවට සාක්ෂි දරයි.
උඩරට ගිවිසුමෙන් එනම් 1815 දී ඉංග්‍රිසීන් හට සිහලය අයත් වීමෙන් පසු අංගම් කලා ශිල්පයට උදා වූයේ අශුභ කාලයකි. අංගම් ශිල්පයට භාවිතා කරනු ලබන අවි ආයුධ, ශිල්පය පුහුණු කරවීම ද තහනම් කරන ලදී. එම තහනම් පිළිනොපැද්දොත් මරණීය දණ්ඩනය ලබා දීමටද නියෝග කරන ලදී. මෙම හේතුවෙන් අංගම් ශිල්පීන් රහසිගත වන අතර තමන් ශිල්පය පුහුණු වූ සටන් මඩු ඉංග්‍රිසීන් විසින් විනාශ කරන ලදී. මෙම තත්ත්වය හමුවේ ශිල්පීන් වන ගත වී රහසිගතව තම පරම්පරාවට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කළ අතර එහිදී යම් යම් නව සටන් උපක්‍රම මෙම ශිල්පයට එකතු කර ඇත.
වර්ෂ 1818 දී එන්ගලන්ත යටත් විජිත ආණ්ඩුව නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයක් මඟින් මෙම කලාව තහනමට ලක් කරන ලදී. එවිට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව සඳහන් වේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසින් විසින් යටත් කර ගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැඳින්විණි. එය පුහුණු වුවහොත් දණ හිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිණි. එසේ වුවත් සිංහලයන් රහසිගතව මෙම සටන් කලාව ප්‍රගුණ කළහ.
එකී කාරණා හේතුවෙන් මෙම සටන් කලාව අප්‍රකට රහස් ශිල්පයක් ලෙසට පැවතුණි. මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා නර්තනය තුළට මෙම සටන් ශිල්පීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. උදාහරණ වශයෙන් වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, දිවි නැටුම, කොටි නැටුම, ලී කෙලි නැටුම ගත හැකිය.
පුහුණු වීම
මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය/ හඳහන බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර පිරිසිදු සිංහල බෞද්ධ වීම අනිවාර්යය වේ. මෙයට හේතුව වන්නේ අංගම් ශිල්පය හැදෑරීමේ දී සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි.
පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා පවත්වා ඉගෙනුම ආරම්භ කරන සිසුන් දේශිය යක්ෂ ගෝත්‍රික භාවනා ක්‍රම මඟින් සිත දමනය කිරිමට පුහුණු වෙයි. සටන් කලාව ඉගෙනීමට පෙර ආධුනිකයෙකුගේ ශරීරය ශිල්පයට ගැළපෙන අයුරින් සකස් කරගත යුතුය. ඒ සඳහා විශේෂ සම්බාහන ක්‍රමවේද සමූහයක් පවතී. ආරම්භයේ පටන්ම ආධුනිකයාගේ ශරීරය සම්බාහනය කරන අතර පසුව ඉදිරියට ශිල්පය හැදෑරීමේ දී ඒ ඒ සටන් කොටස් හැදෑරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සකස් කරගැනීම සඳහා දිගින් දිගටම සම්බාහන ප්‍රතිකාර දෙනු ලැබේ. ඒවා ආධුනිකයාගේ වයස්, ශරීර තත්වය ආදී කරුණු මත වෙනස් වේ. එමෙන්ම දේශීය යෝග ක්‍රමය ද හෙල සටන් ශාස්ත්‍රය හා බද්ධව පවතී. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූත් දැඩි වූත් රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙයි. ගුරුවරයා විසින් ශිල්පය උගන්වන අවස්ථාවල හා සටන් හැකියාව උරගා බැලීම වැනි වෙනත් විශේෂ අවස්ථා කිහිපයක දී හැරුණු විට සාමාන්‍යයෙන් සටන් පුහුණුවීම් සිදුකරන්නේ තමා හා සම ශාස්ත්‍රීය මට්ටමේ පසුවන සටන්කරුවන් සමඟය. පුහුණුවීම්වලට හෙල වෙදකම, ඉතිහාසය, රණ බෙර වාදනය, දේහ ලක්ෂණ ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, යෝග ශාස්ත්‍රය, නර්තනය වැනි ශාස්ත්‍රීය කොටස් ද එකතු වේ.
මූලික අංග
ආයුධ
අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 ක් දක්වා යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූල ඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීණ සටන් ශිල්පීහු භාවිතා කරයි.
අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර සිංහල කඩුවට ද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පළිඟු යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මෙයට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මූලික අවි ආයුධ 21 ක් භාවිතා වේ.