බලි ශාන්තිකර්මය
per person
ශ්‍රී ලංකාවේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හා සම්බන්ධ ප්‍රධානතම යාග ක්‍රමය වන්නේ බලි යාගයයි. රවි/සූර්යා, චන්ද්‍ර/සඳු, කුජ/අඟහරු සහ බුධ ග්‍රහයා ද, ගුරු/බ්‍රහස්පති, ශුක්‍ර/සිකුරු, ශනි/සෙනසුරු ද ඡායා ග්‍රහයන් ලෙස සැලකෙන රාහු සහ කෙහෙතු යන දෙදෙනා ඇතුළත් මේ ග්‍රහයෝ නව දෙනා කෙරෙන් මිනිසාට සිදුවන නවග්‍රහ අපල උපද්‍රව දුරුකර ගැනීම පිණිස බලියාග පැවැත්වීම ඉතා ඈත අතීතයේ සිට සිංහල සමාජයේ පැවත එයි. තාරකා විද්‍යාවට අනුව සූර්යයා කේන්ද්‍රස්ථානයේලා සලකා සෙසු ග්‍රහයන් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. එසේ පරිභ්‍රමණය වන ග්‍රහයෝ තම තමන් වටා ද කැරකමින් ගමන් කරන බව ද තහවුරු කර ඇත. එසේ වුව ද ජ්‍යෝතිෂයේ කෙරෙන පිළිගැනීම ඊට හාත්පස වෙනස් ප්‍රතිකූල මතයක් බව පෙනේ. එනම් පෘථිවිය කේන්ද්‍රස්ථානයේලා සලකා සෙසු ග්‍රහයන් වූ සූර්යයා, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කෙහෙතු පෘථිවිය වටා ගමන් කරන බව උපකල්පනය කර කළ ශාස්ත්‍ර නියමයක් ජ්‍යෝතිෂයේ දී ඉදිරිපත් කෙරේ. බිළිඳෙකු උප්පත්තිය ලබන කල මේ කිසියම් ග්‍රහයෙකු ඔහුගේ ප්‍රධාන ග්‍රහයා බවට පත්වෙන බවත් ඒ සමඟ අන්තර් ග්‍රහබල ලැබෙන බවත් එම ශාස්ත්‍රයේ ඉගැන්වේ. ඒවා මහ දසාව, අතුරු දසාව නමින් ගණනය කර එම ග්‍රහයන්ගෙන් ලැබෙන ශුභ, අශුභ, සමපල අනුව අපල-උපද්‍රව, සැප, බලය, ප්‍රඥාව සශ්‍රීකත්වය වැනි යස ඉසුරු ළඟාවේ යැයි පවතින විශ්වාසය පිළිබඳව ද නිර්ණය කෙරේ.
අශුභ ග්‍රහයෝග බල පැවැත්වේ නම් ඒවායෙන් මිදීමට ග්‍රහයන්ට බලි දීම ජ්‍යෝතිෂයේ නියම කර තිබේ. ග්‍රහ බලපෑම කුස පිළිසිඳගත් දිනයේ සිටම දරුවන්ටත් දෙමාපියන්ටත් ශුභ අශුභ ඵල ගෙන දෙන බව එම ශාස්ත්‍රයේ විවරණය කෙරේ. දරුවෙකු මවකගේ කුස පිළිසිඳගත් දසාව පිළිසුන් දසාව ලෙස ජ්‍යෝතිෂයේ විස්තර කෙරේ. එම පිළිසුන් දසාව හෙවත් පිළිසිඳ ගත් දසාව අනුව දෙමාපියන්ට ශුභ ඵල හෝ අශුභ ඵල හෝ සිඳුවන අතර පිළිසුන් දසාවේ ප්‍රබලත්වය මත එම දරුවා ප්‍රබලයෙකු වේ යැයි ජ්‍යෝතිෂයේ සඳහන් වේ. එමෙන්ම පිළිසිඳ ගත් දසාව නීච නම් එහි නීචතා අනුව දෙමාපියෝ සහ දරුවා ද බොහෝ දුක් කම්කටොලු වලට මුහුණපාති. මේ සියල්ල කර්මය හෙවත් කුසල් බලයත් සහ අකුසල් බලය අනුව ද ගලපා කෙරෙන දීර්ඝ විග්‍රහයක් සිංහල සමාජයේ පවතී. මේ විලත් වලින් බේරීමට පවත්වන යාග ක්‍රමය බලි යාගය බව පුරාණ සම්මත චාරිත්‍රවලින් පසක් වෙයි. බලි යාග චාරිත්‍ර විශාල සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ආවේණිකව පවතී. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලි යාග සම්ප්‍රධායන් පහක් හඳුනාගත හැකිය.
උඩරට නර්තනය, බෙර වාදනය හා ගායනය විධි නාදමාලා ක්‍රමය අනුව පවත්වන උඩරට බලියාග සම්ප්‍රදාය ඉන් පළමු වැන්න ලෙස පෙන්වා දිය හැකිය. දෙවැන්න වනුයේ පහතරට බලියාග සම්ප්‍රදායය යි. පහතරට ප්‍රදේශවලට ආවේණික පහතරට නර්තනය,පහතරට බෙර වාදනය, පහතරට ගායනය විධි අනුව සහ එම ප්‍රදේශවලට ආවේණික චිත්‍ර, මූර්ති, කැටයම් ඇඹුම් කලාව අනුව පහතරට බලියාග සම්ප්‍රදාය සිඳු කෙරේ. දිවයිනේ මැදරට හෙවත් සබරගමුවට ආවේණික නර්තනය, ගායනය, වාදනය සහ චිත්‍ර, මූර්ති කලාව අනුව පවත්වන සබරගමු බලියාග සම්ප්‍රදාය තෙවැන්න ලෙස දැක්විය හැකිය. අනුරාධපුරයේ කලා වැව, නුවර වැව, පදවි වැව යන මේ වැව් ගම්මාන ආශ්‍රිත රජරට හෙවත් නුවර කලාවියේ ප්‍රචලිත බලියාග සම්ප්‍රදාය සිව්වැන්න වන අතර එය උඩරට බලියාග ක්‍රමයට ඉතා සමීප සබඳතා පවත්වන සම්ප්‍රදායකි. පස්වැන්න වනුයේ ඌව බලියාග සම්ප්‍රදායයි. බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල ව්‍යාප්ත ඌව බලියාග සම්ප්‍රදාය සබරගමු බලියාග සම්ප්‍රදායට ඥාතිත්වයක් දක්වයි. දිවයිනේ සමස්ත බලියාගවල අන්තර්ගත යාග සාහිත්‍යය බොහෝවිට එකක්මය. ඒවා පවත්වන සාම්ප්‍රදායික ලක්ෂණ අනුවම පමණක් වෙන් වශයෙන් උක්ත බලි සම්ප්‍රදාය පහ හඳුනාගත හැකිය.
මිනිසාගේ පරමායුෂ වසර 120 ක් යැයි පවතින සම්මතය ගෙන මිනිස් දිවිය මහ දසා නවයකට වෙන්කර ගැනීම අනුව යෙදෙන මහ දසා කාලවල දී සිඳුවන අපල උපද්‍රව අනුව බලියාග පවත්වා ජීවිතය සාර්ථක කර ගැනීම මේ සෑම සම්ප්‍රදායකම අපේක්ෂාව වේ.
සබරගමු වැසියන් අතර ද පත්තිනි දේවාලය කේන්ද්‍ර කොට පහන් පූජා මුල් කර ගනිමින් සබරගමු ගායනය, වාදනය හා නර්තනය සාම්ප්‍රදායිකව යොදා සකස් කල පත්තිනි පූජාව පහන්මඩුව නමින් ප්‍රසිද්ධ විය.
වදුරු වසංගත රෝග පීඩාදියෙන් සහ වැසි නියං දුර්භීක්ෂාදියෙන් මිදී සශ්‍රිකත්වය ලබා ගැනීම යනාදී පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පහන්මඩුව අත්‍යාවශ්‍ය පූජා අංගයක් විය. පහන්මඩුව ශාන්තිකර්මයේ පුද ලබන දේව සංකල්ප අතර ප්‍රධානත්වය ලබන්නේ පත්තිනි දේවතාවිය යි. ඊට අමතර දෙවොල් දෙවියන් මෙන්ම විෂ්ණු, සමන්, කතරගම, නාථ, දැඩිමුණ්ඩ සපිරිවාර දෙවිවරු ද පුද පූජා ලබති.
බලි ශාන්තිකර්මයේ ඓතිහාසික පසුබිම
දේශීය බලි ශාන්තිකර්මය කෝට්ටේ යුගයේ දී ආරම්භ වූ බව ඇතැම් පොත්පත් වල පෙන්වාදීමට උත්සාහ දරා ඇත. නමුත් දේශීය බලි ශාන්තිකර්ම ඉන් බොහෝ කලකට පෙර පටන් පැවතගෙන එන බවට ඓතිහාසිකව සාධක ලැබී ඇත. බලි ශාන්තිකර්ම සම්බන්ධයෙන් කෝට්ටේ යුගය ඉතා වැඳගත් වන්නේ එතෙක් කල් බමුණු ඇඳුරන් විසින් මෙරට පවත්වාගෙන ගිය බලි ශාන්තිකර්මය සඳහා සිංහල මුහුණුවරක් ලබා දීම එම යුගයේ දී සිඳුවීම හේතුවෙනි. මෙම කාර්යය සඳහා මුල් වූවා යැයි විශ්වාස කරන්නේ වීදාගම මෛත්‍රී හිමියන්ය. එම ජනප්‍රවාදය මෙසේය.
දිනක් නක්ෂත්‍ර විද්‍යාවේ ද බලි ශාන්ති කර්මයෙහි යාග හෝම ආදී නිපුණ බමුණු පඬිවරයෙක් වීදාගම හිමියන් මුණ ගැසීමට ගොස් ශාන්තිකර්ම පිළිබඳ විවාදයකට එළඹුණේය. බමුණා ග්‍රහ ශාන්තිකර්මය නැමැති ශාන්තිකර්මයක් ගැන සඳහන් කර එය දන්නේ දැයි විදාගම හිමියන්ගෙන් විමසූහ. අප ළඟත් එවැන්නක් තිබුණු බවක් මතකයේ ඇතැයි විදාගම හිමියන් තමන් වෙත ඇති ශාන්තිකර්මයත් බමුණා දන්නා ශාන්තිකර්මයත් එකක් ම දැයි දැනගැනීම සඳහා ඔහු දන්නා ශිල්පය විස්තර කරන ලෙස බමුණාට කියා සිටියහ. බමුණා ද තමා දත් බලි ශාන්තිකර්මය සැකයකින් හා බියකින් තොරව ගායනා කොට ඉදිරිපත් කළේය. මේ මොහොතෙහි තල්පත් සහ පන්හිඳක් ගෙන යාබද කාමරේ සිටි කුඩා රාහුල හිමියෝ බමුණා ගායනා කළ සියල්ල අකුරක්වත් වෙනස් නොවන පරිදි තල්පත්වල ලියා තැබුවේය. බමුණාගේ ගායනය අවසානයේ දී රාහුල හිමියන්ට කථා කළ වීදාගම හිමියෝ තමන්ගේ පොත්ගුල්හි කළු මදිනු නොලැබූ අලුත් තල්පත් කිහිපයක් ඇතැයි කියා ඒවා රැගෙන එන ලෙසට කියා සිටියේය. එවිට රාහුල හිමියන් ලියූ පුස්කොල පොත් ඉරැ රැගෙන ආවේය.ඉන් පසු එම සියල්ලම තමන්ගේ මතකයෙන්ම ඒ සියල්ලම බමුණා කී ආකාරයටම ගායනා කොට පෙන්වූහ. තමා කියූ සියල්ල පුස්කොළ පත් ඉරු වල ඇති බව දැනගත් බමුණා අතිශයින්ම ලැජ්ජාවට පත් වී ගියේය. මෙම සිද්ධියෙන් පසු බමුණාගේ මානය බිඳීම සඳහා සිංහල බලි ශාන්තිකර්ම ක්‍රමයක් සකස් කිරීම සඳහා වීදාගම හිමියන් විසින් බලි නිධානය, චින්තාම ශක්තිය වැනි ග්‍රන්ථ රචනා කළ බව විශ්වාස කෙරේ.
බලි ශාන්තිකර්මයේ උපන් කතාව
බලි ශාන්තිකර්මය සම්බන්ධයෙන් උපත් කතා දෙකක් ඇත. ඉන් එක් උපත් කතාවක එන ආකාරයට මහා සම්මත රජු තමාගේ ඇඟ මතට සර්පයකු වැටෙනු සිහිනෙන් දැක එ් හේතුවෙන් රජු රෝගාතුර විය. මේ සඳහා නොයෙක් ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබුණි. දක්ෂ බමුණන් ගෙන්වා මෙම සිහිනයෙහි අර්ථය කුමක්දැයි විචාළ කල්හි බමුණන් කියා සිටියේ රජතුමා හට ග්‍රහ දෝෂයක් වැළඳී ඇති බවයි. ඒ සඳහා බලි ශාන්තිකර්මය නම් ශාන්තිකර්මයක් පැවැත්විය යුතු අතර බොහෝ දෙනා එක්වී බලි තනා පේ කර මහා සම්මත රජු වෙනුවෙන් බලි ශාන්තිකර්මයක් කිරීමෙන් එතුමා සුවපත් වූ බවයි.
දෙවැනි උපත් කතාවෙහි තොරතුරු මෙම තොරතුරු වලට වඩා වෙනස් ස්වරූපයක් ගනු ලබයි. විශාලා මහනුවර සිටි එක්තරා කුමාරයෙක් තම පිරිවරත් සමඟ ජල ස්නානයට ගොස් පිරිවරත් සමග විලකට බැස සිත් සේ ජල ක්‍රීඩාවෙහි යෙදුණේය. එකී විල අසල ගසක සිටි වෘක්ෂ දේවතාවියක් ජල ක්‍රීඩාව කිරීම තුළින් කුමාරවරු තමා හට අපහාසයක් සිදු කළා යැයි සිතා කුමාරයා ක්ලාන්ත කළේය. වික්ෂිප්තව බලා සිටි කුමාරයාගේ යාළුවන් හට කිරීමට කිසිවක් නැති කල්හි කැලේට ගොස් වන මල් කඩාගෙන විත් කුමරු ගේ සිරුරට දමමින් ආයුබෝවේවා යැයි කියා කුමරුට සෙත් කළහ. මෙයින් තරමක් සුවය ලද කුමරු මාලිගාවට පැමිණියේය. මෙකී පුවත ඇසූ කුමාරයාගේ පිය රජතුමා වේද වේදාන්ත දත් නිපුණ බමුණන් ගෙන්වා මේ පිළිබඳ විචාර කල්හි බමුණන් කියා සිටියේ මෙය දෙවි දෝෂයක් නිසා හටගත් දෝෂයක් බවත් අසූ එක් ගැබකින් යුත් මල් බලියක් සකස් කොට එය පුද දෙන ලෙසටත් උපදෙස් දුන්හ. ඉක්බිති මාලිගාවෙහි යාගයක් සිදුකොට බලිය පොකුණට කැප කිරීමෙන් කුමාරයා සුවපත් විය .
බලි වර්ග
අතීතයේ බලි ක්‍රම 84000 ක් පමණ පැවති බව සඳහන් වේ. ඇතැම් තැනක කියවෙන්නේ බලි 7707 ක් තිබුණු බවයි. එසේ වුවද වර්තමානයේ ප්‍රචලිතව පවතින්නේ පන්තිස් බලි හෙවත් ප්‍රධාන බලි 35 කි. නමුත් ප්‍රාදේශික ප්‍රභේද වශයෙන් බලන කල දී එම ගණන ඉක්ම යාමක් පවතින බව පෙනී යයි.
උදා :–
අත් බලි | බත් බලි | කුළු බලි | දින බලි |
වරුස බලි | දිෂ්ටි බලි | සක බලි | ඒරාෂ්ඨක බලි |
සැන්දෑ බලි | කල්යාණි බලි | රාක්ෂ බලි | මංගල්ල බලි |
අධිපති බලි | මල් බලි | විවිධ සංඥා බලි |
බලි ඇඹීම
ඇඹුම් බලි යනු පොල්පිති හෝ වෙනත් ලී වර්ග සහ පට්ටා යොදාගෙන සකස් කරනු ලබන මැස්සක පදම්කරගත් හුඹස් මැටි වලින් අඹා වර්ණ කරගත් අර්ධ උන්නත රූප විශේෂයකි. රූප බලි යනු රෙද්දක හෝ කැන්වසයක තෙල් සායමින් හෝ බලි සායමෙන් අඳින ලද ද්විමාන රූපයකි.
මෙකී රූප ඇඳීම හෝ ඇඹීම එකිනෙකාගේ අභිමතයට සිදු කිරීමට නොහැකි වේ. එකී රූප කවර ප්‍රමාණය විය යුතුද කවර ලක්ෂණ ඇතුළත් විය යුතුද කවර ආභරණ ආයුධ දරා සිටිය යුතුද යන්න සියල්ල ඇතුලත් ඇඹුම් කවි නමින් හැඳින්වෙන කාව්‍ය විශේෂයක් පාරම්පරිකව පැවතගෙන එයි. එකී නිර්මාණයන් කරනු ලබන්නේ ඇඹුම් කවිවල දැක්වෙන ස්වරූපයට සහ එහි පරිමාණ ලක්ෂණයන්ට අනුව ය.
බලියක හෝ බලි මැස්සක දිග පළල ගණනය කරනුයේ වියත නමින් හැඳින්වෙන පැරණි මිණුම් ක්‍රමයක් යොදා ගනිමින්ය. මෙහිදී වියත් 5 ක් පළල සහ වියත් 10 ක් උස ලෙස යොදාගනිමින් බලි මැස්ස සකස් කිරීම සාමාන්‍ය පිලිවෙත වේ.
ඇඹුම් බලි නිර්මාණය සඳහා තුඹස් මැටි යොදා ගනු ලබන අතර ආතුරයාගේ නිවසට උතුරෙන් පිහිටි තුඹසකින් එකී මැටි ලබා ගත යුතු අතර තුඹස අවට පිරිසිදු කර කහ දියර ඉස එයින් මැටි කපා ගනු ලබයි. පැරණි සම්මතයට අනුව ස්ථාන නමයකින් ගත් මැටි බලි ඇඹීම සඳහා යොදාගත යුතු වේ. එහෙයින් තවත් ස්ථාන අටකින් ගත් මැටි එම මැටි සමඟ මුසු කරනු ලැබේ. මැටි පදම් කිරීමට අවශ්‍ය ජලය ලබා ගන්නේ ද ස්ථාන නමයකිනි. බලි අඹන ඇදුරා ද ඉතා පිරිසිදුව පේ වී සිටිය යුතු අතර අලුයම කපුටන් හැඬලීමට පෙර බලි මැස්සට පේ කරන ලද පළමු මැටි පිඬ දැමිය යුතුය.
පූජා විධි රටාව
පළමුවෙන්ම සිදුකරන්නේ ආතුරයාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ඒ අනුව කළ යුතු බලිය කුමක්ද යන්න තීරණය කිරීමයි. පළමුව සිදුවන චාරිත්‍රය වන්නේ බලි ඇඹීම සඳහා මැටි කැපීමයි. අනතුරුව පොල් පරාල, පොල්පිති, ලී පට්ට ආදියෙන් ශක්තිමත්ව බලි මැස්ස සකස් කර ඒ මත බලි ඇඹීම සිදුකරයි. මෙම බලි ඇඹීම අවසන් වන්නේ නේත්‍රා තැබීමෙන් පසුවයි. මෙය චාරිත්‍රානුකූලව සිදු කරන කටයුත්තක් වේ. අනතුරුව බලිය ඔසවා තැබේ. මෙසේ බලිය සිටුවා එහි අත්වලට ගොක්කොල වලින් කළ ආයුධ සවිකර බලියට පහලින් තට්ටු දෙකකින් යුත් මල් යහනක් සකස් කරනු ලබයි. උඩ යහනේ පොල්, මල්, දෙහි, සුදුරෙදි, රතු රෙදි, ශ්‍රියා කාන්තාවට ගොක්කොල හවරිය, පනාව හා කැඩපත ද සකස් කරනු ලබයි. පහල යහනේ මල් වර්ග තබනු ලැබේ.
ආතුරයා දැල්වෙන පහනක් අතින් ගෙන වියනක් යටින් පැමිණ කඩතුරාවෙන් ආවරණය කර ඇති බලි තොරණ ඉදිරියේ පහන් දල්වා ආතුර යහනාව දෙපස පහන් දල්වා ආතුර පන්දලමේ වාඩි කරවනු ලබයි. ආතුරයා දෙපස සුදු පාටින් සැරසුණු කාන්තාවන් දෙදෙනෙකු බැගින් වාඩි කරවීම සිරිතයි. අනතුරුව ශ්ලෝක සන්න සැහැලි ආදි ගායනා කර ත්‍රිවිධ රත්නයේ ඇතුළු සියලුම දෙවි දේවතාවන්ගෙන් ශාන්තිකර්මය සඳහා අවසර ගනු ලැබේ. මීළඟට කරනු ලබන්නේ ආතුරයාගේ අතට පිරිත් හුය දීමයි මහ දසාවට අයත් බලියෙන් පටන් ගෙන අනික් බලි හා ස්පර්ශව සිටින සේ යොදා ඇති පිරිත් හුයේ රත් මල් පොකුරක් දෙහි ගෙඩියක් සහ පස්ලෝ පතුරක් දවටා ඇත. අනතුරුව පිරිත් හුයේ කවි ගායනය අරඹයි. ඉන්පසු කඩතුරා කවි කියා කඩතුරාව ඉවත් කෙරේ. මෙහි දී පොල් ගෙඩිය, මෝල් ගස, සහල්, දිවි හිස, තොලබෝ, සිරැස්ස, හීන් දෙහි ආදී ද්‍රව්‍ය දුම් ගසා ආතුරයා දෙපස දුම් ගැස්සීම කරනු ලැබේ. අනතුරුව මඩුපුරේ කවි ගායනා කර බලි පාවාදීම සිදු කෙරේ. අනතුරුව කහ වතුරෙන් දෝවනය කළ පඬුරු හෙවත් රන් පනම් ආතුරයා අතින් ගෙන බලිවලට ඔප්පු කෙරේ. මීළඟට සිදු කරනු ලබන්නේ මංගල අෂ්ඨක ගායනය සහ දිවකුරු හෑල්ල ගායනා කිරීමයි. දිවකුරු හෑල්ල ගායනයේ දී බෙර වාදනය නොකරන අතර අත්මිණිය හෙවත් කුඩා සීනුව වාදනය කරනු ලබයි. අනතුරුව සිදුවන්නේ ග්‍රහ පන්ති ගායනා කිරීමයි. මින් අනතුරුව සුවිශේෂී චාරිත්‍ර කිහිපයක් දැකගත හැක.