කටු මැටි ගෙවල් සංස්කෘතිය
per person
විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සැකසුණු මෙම නිවාස වාතාශ්‍රය, සිසිලස සහ ආලෝකය ලැබෙන පරිදි සැකසුනු අතර පසුකාලීනව ලී වලින් සැකසූ ජනෙල් පවා එක් කරනු ලැබීය. කටු මැටි නිවාසවල කොටස් කිහිපයකි. ගෙහිමියා සඳහා බූරු ඇඳක් තැබූ පිල, බොහෝවිට නිදන කාමරය ලෙස භාවිතා වූ සාලය සහ කුස්සිය ( නිවසේ පසුපස කොටස ) එම කොටස් අතර වේ.
ක්‍රි.ව 240 දී පමණ තිබූ නිවෙස්වල සෙන්ටි මීටර 35 ක් පමණ ගැඹුරට පොළොව සෑරීමෙන් අත්තිවාරම සකසා ගැණිනි. එම නොගැඹුරු වළෙහි පතුලේ සහ ඉවුරුවල ගොම මිශ්‍රිත හුඹස් මැටි ආලේප කර ගෙබිම නිමැවිණි. පොළොව හාරා ගෙබිම සකස්කර ගැනීමෙන් අත් වන නිවාසයේ වහල උස් නොකොට සකසා ගත හැකි වූ නිසා කොළ අතු සෙවිළි කළ විට ඒවා සුළඟට ගසාගෙන යාමේ අවදානම පහ කරගන්නට අපේ අතීත වැසියෝ ඥානාන්විත වූහ.
ගෙබිම බොරළු, කළුගල් අතුරා මට්ටම් කර ගැණුනු අතර ඉන් හොඳ සවිමත් බවක්, භූ ඛාදනයන්ට ඔරොත්තු දීමක් ලබා ගැනීමට හැකි විය. අනතුරුව ගෙබිම සුමට කිරීම සඳහා ගොම මිශ්‍රිත මැටි යොදාගෙන තිබේ. නිවස සැකසීමෙන් අනතුරුව ගෙබිම පිරියම් කිරීම බොහෝවිට කාන්තාවන් අතින් සිඳු කෙරිණි.
කටු මැටි නිවෙස් වලට නම ලැබෙන්නට ප්‍රධානම හේතුව එහි ඇති “වරිච්චි බිත්තිය” යි. වරිච්චි බිත්ති යනු, බිත්ති බැඳීමේ දී මැටි පිඬු රඳා සිටීම සඳහා බිත්තියේ ප්‍රමාණයට ලී කණු සිටුවා හරස් අතට රිටි බැඳ සාදන සැකිල්ලයි. මෙම වරිච්චි බිත්ති සකස් කිරීමේ දී බට දඬු, උණ පතුරු, පුවක් පටි ආදිය යොදා ගනිමින් රාමුව හෙවත් වරිච්චිය සකස් කරගනු ලැබිණි. රාමුව ශක්තිමත්ව බැඳ ගැනීම සඳහා ඔවුහු විවිධ වැල් වර්ග යොදා ගත්හ.
අනතුරුව බිත්ති බැඳීම සඳහා මැටි සකස් කිරීම සිදු කෙරේ. මේ සඳහා පස් කොටා, ජලයෙන් මිශ්‍ර කොට, කකුලෙන් පාගමින්, තෙරපීමට ලක් කොට, පදම් කර දින දෙකක් තැම්බෙන්නට ආවරණය කර තැබේ. ඉන්පසු ඒවා බෝල ආකාරයට ගුලි කර ගනියි. එම මැටි බෝල නිසි අයුරින් පේලියකට අඩුක් කරමින් හිස්තැන් ද මැටියෙන් වසමින් බිත්ති සැකසීම සිදු කරයි. ඉන්පසු අතිරික්ත ජලය ඉවත්ව බිත්ති ශක්තිමත් වන්නට දින දෙක තුනත් ඉඩ හැර, ක්‍රම ක්‍රමයෙන් බිත්තිය ඉහළට නැංවීම සිදු කරති.
මෙම බිත්තිවල තිබූ සුවිශේෂිතාව නම්, කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දීම, අමුද්‍රව්‍ය ඉතාම පහසුවෙන් සොයාගත හැකි වීම හා නිවසේ සිසිලස රඳා පැවතීම යි.
දොර සැකසුණේ බට පැළලි ( බට පතුරු එකට තබා බැඳි ) වලිනි. එය ඉතා සරලව අසව්වක් හෝ නොමැතිව උස්සා පැත්තකින් තැබිය හැකි ලී රාමුවක් බඳු විය. පසුකාලීනව අතමිට ඇති අය තම නිවස හුණු පිරියම් කරන්නට (කපරාරු කරන්නට) කටයුතු කළහ. යාපනය වැනි ප්‍රදේශවල ඇති පැල්පත්වල වර්ණ සහිත ගල් කුඩු වලින් සකසාගත් සායම් වලින් නිවස අලංකාර කිරීම ද සිදුකෙරේ. ඊට අමතරව ශාක ඇට සහ සත්ත්ව ඇට යොදාගෙන නිවාස අලංකරණයට අපේ ජනතාව උත්සුක වූහ.
කෘෂිකාර්මික පෙදෙස්වල නිවසට යාබදව වී බිස්සක් දක්නට තිබිණි. ගල් කණු මත බුරුත දැවයෙන් කළ සමචතුරස්‍රාකාර වේදිකාවක් හෝ දෙකක් මත ඉලිප්සාකාර හැඩැතිව වරිච්චි බිත්ති බැඳ සකස් කළ ගෘහයට ඉවත් කළ හැකි වහලක් යොදා වී බිස්ස නිර්මාණය කෙරිණි. උස්ව සැකසූවක වී කිලෝ ග්රූම් 300 ක් පමණ යෙදවිය හැකි විය.
තමන්ගේ නිවස හොඳින් සකසා ගැනීම අපේ පුරාතනයන් ඉතා හොඳින් අවධානයට යොමු කළ කාරණාවක් වන අතර එහි කල් පැවැත්ම, විසීමට සුදුසු බව, කාලගුණයට හා උෂ්ණත්ව වෙනස්කම් වලට ඔරොත්තු දීම පමණක් නොව අලංකාරය සඳහා ද ඔවුන් තම කාලය හා ශ්‍රමය වැය කළහ. නිවසේ හැඩි දැඩි වූ පුතෙක් ඉඩමක් එළි පෙහෙළි කොට කටු මැටි ගෙයක් තනන්නට පටන් ගැනීම වනාහි තමා විවාහයට සූදානම් බව දෙමාපියන්ට නොකියා කීමක් ද විය.