වැදි ජනයා හා බැඳි සංස්කෘතිය
per person
වැද්දන් ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එන බවට පිළිගැනේ. විජයාගමනයට පෙරාතුව පැවති ඉපැරණි ගෝත්‍ර වන යක්ෂ, නේසද, මිලක, ශබර වැනි ජන කොටස්වල සම්මිශ්‍රණයකින් වැද්දන් බිහි වී ඇති බවට විද්වතුන් පෙන්වා දෙනු ලබයි. එසේම වැද්දන්ගේ කපාල සන්සන්ධනය කිරීමේ දී ඔවුන් ප්‍රෝටෝ-ඔස්ට්‍රොලොයිඩ් ජනවර්ගයන්ට සමාන වේ. පරීක්ෂණයක් මඟින් පෙනී ගොස් ඇත්තේ ඔවුන් ලංකාවේ ආදිවාසීන් වූ බලංගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බවයි. වැදි ජනයාගේ සම්භවය ක්‍රි.පූ. 15,000 – 10,000 අතර මධ්‍ය ශිලා යුගයේ විසූ අයෙකු වූ දඩයක්කාර හා ආහාර එකතු කිරීමේ ජන ජීවිතයකට හුරු වූ ජන කොට්ටාශයකට අයත් බව පෙනේ.
සිංහල සාහිත්‍යයේ වැද්දන් හැඳින්වීමට යොදන වචන සැලකූ විට මලදරු (ගිරිවැසි), වනසර (වනචාරී/ වන්‍යවාසී), සැරව් (ඊතල දරන්නා) යන අරුත් දක්වා ඇත. වැද්දන් විසින් තමුන් හඳුන්වා ගන්නේ “ වන්නියලැත්තන් ” ලෙසිනි. වැද්දා යනු “ බැද්දා ” යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වදනකි. ගොවිතැන් නොකර, දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන් සහ වනගත වූවන් හැඳින්වීමට ද වැද්දන් යන වචනය භාවිතා කෙරේ. සිංහල ජාතක කතා පොතෙහි ද මොවුන් හැඳින්වීමට “ මස් වැද්දා ” යන යෙදුම භාවිතා කොට ඇත. නමුත් හේන් ගොවිතැන් කළ, දඩයම්කොට ජීවත් වූ නමුත් ඔවුන් වැද්දන් ගණයේ ලා නොසැලකුණි.
මහාවංශයට අනුව වැද්දන් යනු, සිංහල ජාතිය ආරම්භයේ දී ලංකාවට පැමිණි විජය කුමරු හා කුවේණි නම් හෙළ යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ලෙස ජනප්‍රවාදයේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කුවේණියගේ දරුවන් දෙදෙනා සමනොළ අඩවියට පලා ගොස් ආරක්ෂිතව ජීවත් විය. පසුකාලීනව මොවුන් “ පුලින්ද ” යන නාමයෙන් ව්‍යවහාර වු බව පෙනේ. වංසත්තප්පකාසිනිය පවසන්නේ වැද්දන් පැවත එන්නේ කුවේණියගේ දූ පුතුන් දෙදෙනාගෙන් බවයි.
මහාවංශයේ සඳහන් වන පරිදි විජය කුමරුවා කුවේණිය හා දරුවන් අතහැර දමා විවාහය සඳහා රාජ කන්‍යාවක් ඉන්දියාවෙන් ගෙනෙන ලදී. එහිදී කුවේණිය නැවත ලංකාපුරයෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව වෙත හරවා යවන අතර එහිදී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණීය. ඇයගේ බාල සොහොයුරා පැමිණ දරුවන් හට පලා යාමට පවසයි. ඔවුන් සමනොළ කන්දට ගොස් දෙටු සොයුරා හා වාසයකොට මලය රට හෙවත් කදුකර ප්‍රදේශයේ ජන ප්‍රජාවක් බිහි කළ අතර ඔවුන් පුලින්දන් ලෙස දක්වා ඇත. මෙම පුලින්දන් මිලේජ්‍ය ගෝත්‍රික ප්‍රජාවක් වන්නට ඇති බවත් ඔවුන්ගෙන් වැද්දන් පැවත එන බවටත් සමහර විද්වතුන් පවසනු ලබයි.
හෙළයන් සමඟ සබඳතාව
මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණ, බලි, තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර 5000 කට පමණ පෙරය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර 30000 කට වඩා පැරණිය. මීට වසර 25000 කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණී කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබුණු ප්‍රධාන නගර වේ. විවිධ ගෝත්‍රිකයන්ගෙන් සැඳුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වූයේ හෙළයින් යන නමිනි. කුවේණී හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යත්වය ලබා ගත් ආර්යයයෙකු වූ විජය කුමරු හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාති ද්‍රෝහියක වූවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණීයගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නූතන වැදි පරපුරේ ආරම්භයයි.
විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්යය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේදීය. මහාවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මව වූයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වූ උන්මාද චිත්‍රා දේවියයි. පියා වූයේ දීඝගාමිණීය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වූ භද්දකච්චායනා දේවියගේ සොහොයුරෙකු වූ දිඝායුගේ පුතාය. නමුත් වෙනත් මූලාශ්‍රයන්ට අනුව නම් දීඝගාමිණී හෙළයෙකකි. එබැවින් පණ්ඬුකාභය කුමරුගේ මව ආර්යයයෙක් වන විට පියා හෙළයෙකි. එබැවින් ඔහු හෙළයන්ට හෙළයෙක් ද ආර්යයන්ට ආර්යයයෙක් ද විය. මෙනිසාම ආර්යය ආධිපත්‍යයට එරෙහිව හෙළයන් පණ්ඩුකාභය වටා එක්රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන්පසු ආර්යයන් හෙළයන් සමඟ මුසුවිය.
ඉන්පසු විවිධ යුගයන්හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයයෝ මෙන්ම ද්‍රවිඩයෝ ද සිංහල ජාතියට මුසු වූහ.එසේ මුසු වූවන් අතර අරාබි, චීන සහ මැලේ ජාතිකයෝ ද වූහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක්ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතියේ සංක්‍රමණිකයන්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාව ද විවිධ කැලෑ වැඳිම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්‍යන්තර අරගලයන්හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනක් පුරා සිඳු කළේ ඉන්දියාවට පලා යාමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනයා සමඟ එකතු වීමයි. අවසන් වරට එසේ වැදි ජනයා සමඟ මුසු වූයේ 1848 නිදහස් අරගලයට එක් වී සුදු ජාතිකයන්ගේ උදහසට ලක් වූ වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනී යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වූ බවත් පසුගිය වසර 2500 තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන් වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහි වූ බවත්ය.
වැදි සමාජ සංවිධානය
වැදි සමාජය තුළ කැපී පෙනෙන ධූරාවලියක් දක්නට නැති තරම්ය. බොහෝවිට වැදි රැලක් වැදි නායකයෙකු යටතේ පාලනය විය. ආදිවාසී ජන ප්‍රජාවන්හි දක්නට ඇති ආකාරයේ ගෝත්‍ර අතර වෛරයක් හෝ ගෝත්‍ර සටන් දක්නට නොමැත. එකම ප්‍රදේශයක වරිග කිහිපයක වැදි ජන ප්‍රජාවන් සමාදානයෙන් ජීවත් වුව ද ප්‍රදේශයට ඇතුල්වීමේ දි විවිධ තහංචි ඔවුනොවුන් අතර විණ. සමහර වැදි වරිගයෝ ගඟක් හෝ කැලෑ පෙදෙසක් හරහා වෙනත් ප්‍රදේශයන් වලට සංක්‍රමණය වූහ. මෙසේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැදි ප්‍රජාවගේ ව්‍යාප්තවීම සිඳු විය.
- වර්ග බෙදීම
වැද්දන් අතර වර්ග බෙදීමක් දක්නට ඇති අතර එය කෙසේ ආරම්භ වූයේ ද එහි ප්‍රයෝජ්‍යත්වය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුන් තුළ නැත. එහෙත් ඔවුන් තමුන් හඳුන්වා ගැනීමේ දී මෙකී වරුග බෙදීම “ පෙළපතක් ” වශයෙන් භාවිතා කරනු පෙනේ. ප්‍රධාන වශයෙන් වරුග හයක් වැද්දන් අතර පවතී. එනම්, මොරාන වරුගේ, උනාපාත වරුගේ, ඌරු වරුගේ, ඇඹල වරුගේ, නමුඩන වරුගේ, තලා වරුගේ වශයෙනි. මෙයට අමතරව වැද්දන්ගේ පදිංචි ස්ථානයන් ආශ්‍රිතයෙන් ද වරුග බෙදීමක් දක්නට ඇති අතර ඒවා මෙසේය. හේනෙ බැද්ද වරුගේ, ගොඩතලාව වරුගේ, එලකොතලිය වරුගේ, සීතල වන්නිය වරුගේ, ගිරාදුරු වරුගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරුගේ, හොරබොර වරුගේ, යක්කුරේ වරුගේ, උනිච්චිය වරුගේ යනාදිය යි. සමහර අවස්ථාවල දී, ආවාහ-විවාහ සම්බන්ධතාවල දී වරුග උස්පහත්කම් සැලකූ බව වාර්තා වී ඇත. සමහර විශාරදයන් දක්වන්නේ වැද්දන් විසින් වරුගෙන් පිට විවාහයක් කරත් බහිර්-වෛහිවක සමාජ පද්ධතියක් වරුග ආශ්‍රිතව පවතින බවයි.
- දිවි පෙවෙත
මුල් කාලයේ දී වැදි ජන ප්‍රජාව ගල්ලෙන් ඇසුරු කොට ජීවත් වූ අතර පසුව පැල්පත් ආශ්‍රිත ගම්මාන කරා සංක්‍රමණය වන්නට ඇත.
ඒවා වැදි කොරටු ලෙසින් හැඳින් වූ අතර වරින් වර ආහාර සොයා ගත හැකි පමණට කොරටුවෙන් කොරටුවට වැදි ප්‍රජාව සංක්‍රමණය වීමේ සිරිතක් විය. පසුකාලිනව ඇති වූ ගම්වැද්දන් ප්‍රධාන වශයෙන් හේන් ගොවිතැන ඇසුරු කොට ජීවත් වූ නමුදු, ඔවුන්ගේ සාම්ප්‍රධායික දිවි පෙෙවත සම්පූර්ණයෙන්ම අත් නොහැරියේය.
වැද්දන් ප්‍රධාන වශයෙන් දඩයම් කිරීමෙන් ජීවත් වූ අතර ඔවුන්ගේ මූලික ප්‍රවනතාවය වූයේ ගෝනා දඩයම් කිරීමය. ගෝනා ගිරි ආශ්‍රිතව වාසය කළ නිසා වැද්දන් ද ගිරිලෙන් ආශ්‍රිත දිවි පෙවෙතකට හුරු වන්නට ඇති බව බොහෝ විද්‍යාර්ථයින් විශ්වාස කරති. මෙයට අමතරව ඔවුන් ඵල-අල ආහාරයට ගනිමින් ද වන මී රැස්වෙන කාලයට මී කැඩීමෙන් ද දිවි පෙවෙත සරි කර ගත්හ. වැද්දන් ආහාර පුළුස්සා ගැනීම කරන අතර අල වර්ග බොහෝවිට උණු අළු පල්ලේ ලා තම්බා ගැනීම කරනු ලබයි. දඩයම් කිරීම හා ආහාර අනුභවය කණ්ඩායමක් වශයෙන් එකටම කරනු ලැබේ. වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය හිඟ කාලයන් සඳහා කල් තබා ගැනීමට මස් වර්ග වියලීම හෙවත් කරවල කිරීම, එල්ලා දුම් ගැස්සවීම හෝ මී පැණිවල බහා තැබීම වැනි ක්‍රියාවන් කළහ.
- රැහේ නායකයා
වැදි ගෝත්‍රය සංවිධානය වන්නේ නායකයෙකු වටාය. එහෙයින් විවිධ වූ වැදි ජන ප්‍රජාවන් සඳහා නායකයෝ සිටියහ. එහෙත් පසුකාලීන වශයෙන් වැදි ජනතාවගේ ප්‍රමාණාත්මක අඩුවීම නිසා සහ ආණ්ඩුව විසින් ඔවුන් වසන ප්‍රදේශ පාලනය නායකයන්ගේ පැවැත්ම ක්‍රමයෙන් නැතිව ගියේය. වැදි ප්‍රජාවේ කැපී පෙනෙන නායකයෙක් ලෙස මෑත යුගයේ සිටියේ දඹානේ මහාවන්නියලැත්තෝ හෙවත් තිසාහාමිලැත්තෝය.
- පවුල් දිවිය
වැදි ජනයා අතර ඥාතීත්වය සහ ඔවුන්ට ආමන්ත්‍රණය සිංහල ජන ප්‍රජාව මෙන්ය. අප්පිලැත්තෝ (පියා), අම්මිලැත්තෝ (මව) ආදී වශයෙන් “ ලැත්තෝ ” යන පාඨය ඥාතීත්වයට පසුව යෙදීමෙන් ඔවුහු ආමන්ත්‍රණය තනා ගනිති. බිරිද (කුඩ්පෙත්ත)ට බොහෝවිට නංගිලැත්තෝ යන යෙදුම යොදනුයේ වැදි ප්‍රජාවේ දක්නට ඇති බෑණා සහ නෑනා (ඇවැස්ස හුරා-නෑනා) විවාහයන් නිසාවෙනි. සිංහල සමාජයේ මෙන්ම විවාහ සහ ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් විවිධ වූ තහංචි පැනවී තිබිණි. නිදසුනක් ලෙස, මාමා සහ නෑනා අතර, බෑණා සහ නැන්දා අතර මෙන්ම මවු-පිය පාර්ශවයේ සහෝදරයන් හෝ වියපත් සහෝදර සහෝදරියන් අතරත් විවාහයන් තහනම් විය. නමුත් මරණයක දී මළ සහෝදරිය හෝ සහෝදරයා වෙනුවෙන් සැමියා හෝ බිරිය එකී පවුලේ තව සහෝදරියක් හෝ සහෝදරයෙක් විවාහ කර ගැනීම සිඳු වීම නිසා නැවතත් දරුවන් හට ආරක්ෂාව ලැබිණ.
- පවුල් සම්බන්ධතා
අඹු-සැමි දිවිය අගය කළ වැදි ජනයා අතර සිංහල ජන ප්‍රජාවේ දක්නට ලැබෙන බහු භාර්යා සේවනය හෝ බහු පුරුෂ සේවනය, පරදාර සේවනය දක්නට නොලැබේ. වැදි ජනයා ස්වකීය භාර්යාවන්ට මනා සේ ඇළුම් කළ අතර එකිනෙකාට විශ්වාසවන්ත ලෙස ද ජීවත් විය. එහෙයින් විදේශීය මිශනාරිවරුන් විසින් කේවල විවාහ ක්‍රමය ලංකාවට හඳුන්වා දීමට පෙර සිටම වැද්දන් අතර කේවල විවාහ ක්‍රමය තිබූ බව පෙනේ. වැදි ප්‍රජාව අතරේ ගැහැණිය හට මනා ආරක්ෂාවක් ලැබුණු අතර ඇය පවුලේ පළමු කොට ආහාරයෙන් කොටස භුක්ති වින්දහ. මෙයින් පෙනෙන්නේ කාන්තාව වැදි ප්‍රජාව අතරේ ගෞරවයට පාත්‍ර වූ බවකි.
- විවාහ චාරිත්‍රයන්
වැදි දරුවෝ කල් නොයවා ස්වකීය නෑන-හුරා විවාහයන්ට ඇතුළු වෙති. ඔවුන් අතර සහෝදර සහෝදරි විවාහයන් හෝ විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයන් සිඳු නොවේ. විවාහ චාරිත්‍රයන් බොහෝ සේ ලුහුඩුය. සරලය. තරුණ වැදි කොල්ලෙකු හිත ගිය තරුණියගේ පියාගේ ගෙට මී පැණි මුලක් හා මස් රැගෙන ගොස් යෝජනාව පියාට පවසන අතර පියා විසින් ඇයට නියද පට්ටාවලින් ඇඹරූ රෑනක් ගෙන ඔහුගේ ඉන වටා බඳිනු ලැබේ. අතැන් සිට දෙදෙනා අඹු-සැමියෝ වෙති. එ් රූන දිරා ගිය කල්හි අලුත් නියද රෑනක් අඹරා බැඳීමේ කාර්යය භාර්ය්‍යාව සතු වේ.
සාමාන්‍යයෙන් මාමලැත්තෝ විසින් බඹර වද ඇති තැනක් පවරා දීමත් දඩ බල්ලන් සහ දුනු ඊතල දීමත් කරනු ලැබේ. සමහර අවස්ථාවල දී මනමාලයා විසින් මනමාලියට රෙදිපිළි දීම පසුකාලීනව ඇති වූ සිරිතක් බව පෙනේ. විවාහයෙන් පසුව බෑණා මාමාගේ රෑණට එකතු වි දඩයමට සහයවීම සිඳු වේ. එබැවින් වැදි ජනයා අතරේ පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කෙරෙහි ඇල්මක් ඇත.
- දරු-දැරියෝ
විවාහයෙන් පසු, දරු ගැබක් පහල වූ පසු වැදි ජනයා අතර ආරක්ෂාවන් සදහා විවිධ අභිචාරී විධි භාවිතා කරයි. පුරාණයේ දී “ පට්ටා යකා ” පූජාවක් කරමින් ගැබ් ආරක්ෂා කළ බව ප්‍රකටය. ප්‍රසූතිය ගල් ලෙනක හෝ පැලේ දී සිඳු විය. ප්‍රසූතියෙන් පසු විවිධ මස්-මාංශ වර්ග අනුභවය නුසුදුසු යැයි පිළිගැනීමක් විය. එසේම කිරි එරීම සඳහාම යෝග්‍ය යැයි පිළිගත් අල වර්ග ආහාරයට දීම සිදු කරන ලදී.
දරුවා හට මසක් තුළ නමක් ලබා දුන් අතර යකුන්ගේ දොස් වලින් ආරක්ෂා කර ගැනීමට දරුවා බොහෝවිට හඳුන්වනු ලැබුවේ විවිධ වූ හුරතල් නම් වලිනි. ඔවුන්ගේ නියම නමින් හඳුන්වන්නට පටන් ගන්නේ දරුවා වැඩුණු පසුය. දරුවන්ගේ වයස අවුරුදු 7 පමණ වනතුරුත් ඔවුන් නිර්වස්ත්‍රව සිටිති. වයස අවුරුදු 10-12 පමණ වයසේ දී දරුවන් විසින් ගල් දුනු භාවිතයෙන් කුරුල්ලන් සහ කුඩා සතුන් දඩයම් කරති.
දරුවන් වැඩිවියට පැමිණෙත්ම විවිධ දඩයම් කරන ශිල්පයත් බඹර කැඩීමේ ආකාරයත් ඔවුන්ට කියා දෙනු ලැබේ. මෙසේ වැඩුණු පිරිමි දරුවන් දඩයම් සහ බඹර කැඩීමේ දී හවුල් කර ගන්නේ එහි කුසලතා වර්ධනය කිරීමටය.
වැදි දැරිවිය මල්වර වූ විට ඇය නුග ගසක් වෙතට ගොස් ගල් කැටවලින් එයට ගැසීමත් එය කන වැකුණු මව වතුර කළයක් ගෙන ගොස් ඇය නහවා හිසට පිටුපසින් එය බිමට වැටී බිදී සියලු දොස් දුරුප කිරීම හැර වෙනත් විශේෂිත කොටහළු සිරිත් නැත. පසුකාලීන වශයෙන් සිංහල මල්වර සිරිත් වැද්දන් අතර ප්‍රචලිත වීම නිසා මල්වර දැරිය කිළි පැලක වැඩි මහළු කාන්තාවක් හා තැබීමත් ඒ ආශ්‍රිත අභිචාර විධි කිරීම දැන් දක්නට ලැබේ.
මරණය වැද්දන් කෙරෙහි භිය උපදවන අවස්ථාවකි. එම අවස්ථාවන් වලදී ඔවුන් ගල් ලෙන් අත්හැර යනු ලබයි. එසේ කරනුයේ මළ පුද්ගලයන් ඔවුන් හඹා එනු ඇතැයි බියෙනි. වැද්දන් විශ්වාස කරන පරිදි මරණයෙන් පසු ස්වකීය ඥාතියා නෑ යකෙකු කිරීමට දින කිහිපයක් මළ පුද්ගලයා වෙනුවෙන් පුද පූජා පවත්වති.
- බාහිර සම්බන්ධතා
රොබට් නොක්ස් පවසන පරිදි ඔවුන් මුව දඩයමෙහි සහ දුම් ගැස්සවීම් කිරීම් තුලින් වියලා ගැනීම කරනු ලැබේ. සිංහල මිනිස්සු දඩමස් ලබා ගැනීමට වැද්දන් වෙත පැමිණියහ. රජුගේ කෑම මේසයට දඩමස් සැපයීම කාර්යයේ ද නිරත විය. ඒවාට අමතරව රජු හට ඇත් දළ සැපයීම ද මී පැණි සහ මී ඉටි සැපයීම ද කරන ලදී. රජු ද ඔවුන්ට ප්‍රති උපකාර වශයෙන් වැද්දන් හට රෙදිපිළි සහ ඊතල ආදිය දුන්නේය.
රොබට් නොක්ස්ගේ වාර්තාවට අනුව වැද්දෝ වරක් රජුට එරෙහිව පැමිණි යුද්ධවල දී සටන් කළහ. එසේම, ඔවුහු ඔවුන්ට අයිති ප්‍රදේශ ආරක්ෂා කරමින් රජුට වක්‍රාකාරව ආරක්ෂාව සපයන ලදී.
- වැදි බස
වැදි භාෂාව ආශ්‍රයෙන් කළ පර්යේෂණයන් ඇසුරින් විලියම් ගයිගර් වියතාණන් දක්වන්නේ වැදි ප්‍රජාව දකුණු ඉන්දියාවේ පෞරාණික ගෝත්‍රයන්ට නෑ සබඳතාවක් දක්වන බවයි. ආර්යයන් සංක්‍රමණය වන්නට පෙර සිටම ඔවුහු ශ්‍රී ලංකාවේ විසූ ආදිවාසීන් වූ අතර අනාර්යය භාෂාවක් කතා කළ බවකි.
වැද්දන් විසින් වනාතරයේ දඩයමට යන අතර භාවිතා කළ රහස් බසක් වශයෙන් ඔවුන්ගේ භාෂාව වර්ධනය වන්නට ඇත. අද ද දඩයක්කරුවන් අතර මෙවැනි “ කැලෑ බසක් ” භාවිතා කරන්නේ යක්ෂ හෝ දේව බලපෑම්වලින් ස්වකීය දඩයම ආරක්ෂා කර ගැනීමටය. මූලික වශයෙන් ආදිවැසියන් ලෙස වර්ධනය වූ වැද්දන්ගේ අනාර්යය බස ක්‍රමයෙන් ආර්යයන්ගේ පැමිණීම හා සිංහල භාෂාව හා සම්මිශ්‍රණය වීමෙන් දුන් භාවිතා කරන ආකෘතියට පරිවර්තනය වන්නට ඇතැයි සැළකේ. එසේම විවිධ අවශ්‍යතාවන්ගේ වර්ධනය සමඟ නව වචන තනා ගැනීමට හෝ ණයට ගැනීමට සිඳු විය. මෙසේ විවිධ වූ බලපෑම් නිසාත් පාසල් අධ්‍යාපනය ව්‍යාප්ත වීම නිසාත් ක්‍රමයෙන් පුරාණ වැදි බස අභාවයට යමින් පවතී.
ආගමික ලැදියාවන්
වැදි ප්‍රජාව ප්‍රධාන වශයෙන් ලෝකයේ අනෙකුත් ආදිවාසී ජන ප්‍රජාවන් සේ ප්‍රාණ වාදීහූ වෙති. වැද්දන්ගේ ඇදහිලි රටාව මළ ඥාති වන්දනාවකි.
- විශ්වාස
වැද්දන්ගේ විශ්වාසයන් සංකීර්ණය. ප්‍රධාන වශයෙන් නෑ යකුන් ඇදහීම, විවිධ වෙනත් යක්කු හා දෙවිවරුන් ඇදහීම හා බෞද්ධ පුද-පූජාවන් මේවාට ඇතුලත් වෙති. බොහෝවිට යාදිනි සහ කිරිකොරහ වැනි අභිචාරයන් මඟින් සශ්‍රීකත්වය උදෙසා කටයුතු කරයි. ප්‍රධාන වශයෙන් වැද්දන්ගේ විශ්වාසයන් සංකේන්ද්‍රනය වී ඇත්තේ මූලික වශයෙන් ජීවන චක්‍රය හා බැදුණු කරුණු ශාත්ශාත් කර ගැනීමටය.
- අභිචාර විධි
අභිචාර විධි | අදාළ වැදි ඇදහිලි | අරමුණ |
ප්‍රධාන යක්කු හෝ නෑ යක්කු |
||
කිරිකොරහ | කන්දේ යකා/ බිළිඳි යකා/ නෑ යක්කු | දඩයම්, මී පැණි සහ අස්වනු සඳහා |
ඊතලේ නැටුම | ඊතලේ යකා/ කන්දේ යකා | ආරක්ෂාව සඳහා |
මස් යහන | කන්දේ යකා | දඩයම්, පැණි සහ පූජෝපහාර වශයෙන් |
ප්‍රධාන යක්කු හෝ නෑ යක්කු |
||
හැත්මේ නැටුම | ඇලේ/ ගලේ යක්කු | දරුවන් ලබා ගැනීම හා සශ්‍රිකත්වය සඳහා |
පට්ට යකා පූජාව | පට්ට යකා | ගැබ්බර ස්ත්‍රීන්ගේ ආරක්ෂාව, රෝග නිවාරණය |
කිරිඅම්මා පූජා | කිරිඅම්මාවරු | දරුවන්ට ආරක්ෂාව |
දොළේ යක් පූජාව | දොළේ යකා | රෝග නියාරණය |
දම්මඩුව | මරලු යක්කු | ලෙඩ නිවාරණය |
රහුයක් පූජාව | රයු යකා | පැණි අස්වනු, රෝග නිවාරණය |
වනගතයක් පූජාව | වනගත යකා | දඩයම් හා දඩයම් ආරක්ෂාව |
රුවල පූජාව | මිල්ලානේ යකා | දඩයම්, මී පැණි, ආරක්ෂාව, රෝග නිවාරණය |
අවන පූජාව | වැදි යක්කු/ ඉදිගොල්ලේ යකා | දඩයම් දීමට පූජෝපහාර |
කොළම මඩුව | අලුත් යකා/ දෙවි | ධාන්‍ය, දඩයම් හා සශ්‍රීකත්වය |
අවසංයෝගික බාහිර යක්-දේව විශ්වාස |
||
දම්මඩුව | මරලු යකා | අස්වනු, නියඟ හා දේව ලෙඩ නිවාරණය |
පේන බැලීම | කිරිඅම්මා (පත්තිනි)/ අඹරාපොති | හදි-හූනියම්, ආරක්ෂාව |
රීරි, කළු, කොට, පුළුටු, ඔඩි යක්කු හා කාලි අම්මා පූජා | භයංකර යක්කු | හදි-හූනියම්, එකී යකුන්ගේ ආරක්ෂාව |
මින්නෙරිය දෙවි පූජා | කතරගම දෙවි | සශ්‍රීකත්වය හා ආරක්ෂාව |
කතරගම දෙවි පූජා | කතරගම දෙවි | සශ්‍රීකත්වය හා ආරක්ෂාව |
ගල්ලරි බණ්ඩාර දෙවි පූජා | ගල්ලරි බණ්ඩාර දෙවි | සශ්‍රීකත්වය හා ආරක්ෂාව |
අවසංයෝගික බෞද්ධ/ හින්දු පුද පූජාවන් |
||
මිහිදන් කිරීම | බෞද්ධ ආකාරයට | මළගියවුන්ට පිං පැමිණවීම |
දාන දීම | බෞද්ධ දානමය ආකාරයට | මළගිය ඥාතීන්ට පිං පැමිණවීම |
මහියංගන පෙරහැරට එක්වීම | බෞද්ධ අභිචාර | කරදර, විපත් දුරු කිරීම |
කතරගම් යෑම හා පෙරහැරට එක්වීම | හින්දු අභිචාර | ආශිර්වාද පතා |