කෝල්මුර යාගය
per person
දෙවිනුවර ඇසළ මංගල්‍යය අවසාන වන දින රාත්‍රියේ රටටත් සම්බුද්ධ ශාසනයටත් මහජනතාවටත් සමෘද්ධිය හා සෞභාග්‍යය ලබා ගැනීම සඳහා පවත්වනු ලබන යාග කටයුත්ත දේව තොවිලය හෙවත් කෝල්මුර යාගය ලෙස හඳුන්වනු ලැබේ.
පත්තිනි දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් කැරෙන මෙම කෝල්මුර යාගය කප් ඉන්දුම, දෙවොල් බාගෙ යන නම් වලින් ද හඳුන්වනු ලබයි. කෝල්මුර යාගයට ද ක්‍රමිකව විකාශනය වූ ඉතිහාසයක් පවතින බව ඒ පිළිබඳ විමසා බැලීමේ දී හඳුනාගත හැකි වේ. පුරාතනයේ දී උඩැක්කි වාදනය කරමින් පත්තිනි කෝල්මුර කවි ගයමින් දින හතක් පුරා පවත්වන ලද ශාන්තිකර්මය හත් දා ගී නම් වේ. දින තුනක් පුරා තත් යාගය පැවැත්වීමේ දී එය තුන් දා ගී මඩුව වශයෙන් හඳුන්වා ඇත.
ඓතිහාසික විකාශනය
කෝල්මුර යාගයෙහි ඓතිහාසික විකාශනය සලකා බැලීමේ දී දෙවොල් මඩුව ශාන්තිකර්මය සමඟ ද සබඳතාවක් පවතින බැවි හඳුනාගත හැකිය. ඇතැම් යාගයන්හි ස්වභාවය හා පැවැත්වීම් අරමුණු අනුව වෙනස් වුවද දෙවෝල් මඩුව හා කෝල්මුර යාගය යන ශාන්තිකර්ම දෙකම එකක් සේ සැළකිය හැකිය. කෝල්මුර යාගය ව්‍යාප්ත වන්නේ දෙවුන්දර දේවාලය ආශ්‍රිතව බැවිනුත් එහිලා පන්තිස් කෝල්මුර ගායනය මුල් තැනක් ගනු ලැබීම නිසාවෙනුත් “කෝල්මුර යාගය” යන නම ව්‍යවහාර වේ.
කෝල්මුර යනු ආරක්ෂක ගීතිකා හෙවත් සෙත් කවි යන අරුත් දනවන “කාවල්මුරෛ” යන දමිළ වදනෙහි විකාශනයක් බව පැවසේ. කාවල්මුරෛ යන ද්‍රවිඩ වචනය සිංහලයට භාවිතයේ දී කෝල්මුර යනුවෙන් භාවිත වන්නට ඇත. මෙය දෙවිවරුන් වෙනුවෙන් කෙරෙන ගායන විශේෂයක් ලෙස සැලකේ. ඒ ඒ දෙවිවරුන්ගේ උපත් විස්තර ආදිය ඇතුළත් ගායනය විශේෂයක් වන කෝල්මුර ගැයීමෙන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමේ සිරිතක් ශාන්තිකර්ම වලදී දැකගත හැකිය. මෙහිදී ගැයෙන පන්තිස් කෝල්මුර යනු පත්තිනි දේවියගේ ජීවන තොරතුරු අනුපිළීවෙලින් ඉදිරිපත් කෙරෙන කවි පන්ති තිස් පහකි.
පත්තිනි දේවිය ප්‍රමුඛත්වයෙහි ලා පවත්වනු ලබන කෝල්මුර යාගයේ දී අවශේෂ දේව මණ්ඩල ද පුද ලබයි. විෂ්ණු, කතරගම, දෙවොල්, දැඩිමුණ්ඩ, අලුත් දෙවි, සතරවරම්, නාථ, කිරි අම්මාවරුන් සත් දෙනා, කළු කම්බිලි, මිහිපති, ගණපති, උමාපති, ශ්‍රියා කාන්තාව ආදි දෙවිවරු ප්‍රමුඛව තිස්තුන් කෝටියක් දෙවිවරු මෙහිදී පුද ලබති.
කෝල්මුර යාගය ඇදහිලි හා විශ්වාස මත පදනම්ව ගොඩනැගුණු ශාන්තිකර්මයක් වන අතරම එය රුහුණු ප්‍රදේශයට ආවේණික ගති ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. රුහුණු ජනතාවගේ ඇදහිලි හා විශ්වාස ගොඩනැගී ඇත්තේ සමාජ ආර්ථික හා ජීවනෝපාය ආශ්‍රිතවය. මෙහිදී කෘෂිකාර්මික හා ධීවර කටයුතු විශේෂ වේ. මෙම ජීවනෝපාය කටයුතු වලදී තත් ප්‍රදේශයේ ජනතාව ස්වභාවික විපත්, අපල උපදුව කෙරෙහි වැඩි උනන්දුවක් දක්වති. එමඟින් තම ජීවනෝපායන්ට හා බව බෝගවලට හානි වේ යැයි බියෙන් පසුවෙති. නිසි කලට අව් වැසි ලැබීම සරු අස්වැන්නක් ලබා ගැනීමට හේතු වේ. ධීවර ජනයාට මුහුදේ දී කිසිදු අනතුරක් අත් නොවී තම රැකියාව සිරිත් පරිදි යහපත්ව ඉටුකර දීමෙන් සරු අස්වැන්නක් ලබා ගැනීමට ඇති වන සියලු බාධක දුරුකර ගැනීමේ අපේක්ෂාවෙන් යුක්තව කෝල්මුර යාගය පවත්වනු ලැබේ. ඒ අනුව, තත් ප්‍රදේශයේ ජනතාවගේ සියලු අපල උපදුව සමනය කර සෞභාග්‍යය උදාකර ගැනීමත් තම ජීවනෝපායන් සාර්ථක කරගෙන නිදුක් නීරෝගීව ජීවිතය ගෙන යාමට අවශ්‍ය සෙත් ශාන්තිය උදාකර ගැනීමත් මෙම ශාන්තිකර්මයේ ප්‍රමුඛ අපේක්ෂාවයි.
කෝල්මුර යාග චාරිත්‍ර-වාරිත්‍ර සහ පූජා අනුපිළිවෙල
පූර්ව චාරිත්‍ර
යාගයට පෙර කප සිටුවීමේ සිට යාගය පැවැත්වෙන දිනය දක්වා ඉටු කරනු ලබන සියලු සූදානම් වීම් පූර්ව චාරිත්‍ර විධි සඳහා අයත් වේ.
යාග දින චාරිත්‍ර
ශාන්තිකර්ම පැවැත්වෙන දිනයේ පෙරවරුවේ සිට රාත්‍රිය පහන්වන තුරු පැවැත්වෙන පූජා විධි හා පෙළපාලි අංග යාග දින චාරිත්‍රවලට අයත් වේ.
යාගයට පසු දින චාරිත්‍ර
යාගයට පසු දින පැවැත්වෙන දේව දානයේ සිට ඇසළ මංගල්‍ය අවසන් වන තෙක්ම සිදු කෙරෙන සියලු කටයුතු මෙයට අයත් වේ.