දේශීය බෙර වාදන කලාව
per person
මානවයා විසින් නිර්මාණය කරගත් පැරණිතම වාද්‍ය භාණ්ඩ බෙරය ලෙස සැලකේ.හඬක් උපදවා ගැනීමේ ක්‍රම පිළිබඳ අවබෝධ කර ගැනීමේ දීර්ඝකාලීන ප්‍රථිථලයක් ලෙස කුහරයක් සහිත කඳකට හමක් බැඳ තැලීමෙන් බෙරයේ උපත සිදු වී ඇත. ලෝකයේ බෙර සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය විවිධාකාර වේ. බෙර කඳ සඳහා මැටි, දැව ලෝහ, විවිධ ගෙඩි ආවරණිත කටු විශේෂ මේ සඳහා යොදා ගෙන ඇත. බෙර කඳ මතු පිට හැඩය සිලින්ඩරාකාර, පීප්පාකාර ආදී විවිධ හැඩයන්ගෙන් යුක්තය. එහි නිමැවුම සඳහා විවිධ සතුන්ගේ හම් භාවිතා කෙරෙන අතර ඇතැම් ජන කොටස් අද්‍යතනය වන විට කෘතිම හම් ද ඒ සඳහා යොදාගෙන ඇත.
ශ්‍රී ලාංකේය බෙර වාදන සම්ප්‍රදාය දේශීය සංස්කෘතියේ අනන්‍යතාවය පිළිබිඹු කරන ප්‍රබල කලා මාධ්‍යයකි. උපතේ සිට මරණය දක්වා විවිධ අවස්ථාවන් හා බෙර වාදනය අත්‍යන්ත බැඳීමකින් යුක්තව අතීතයේ සිට පැවත එන්නකි.
මහාවංශය, දීපවංශය, චූලවංශය වැනි ග්‍රන්ථ මඟින් අතීතයේ ආගමික උත්සව, රාජ්‍ය පාලන කටයුතු හා සාමාජීය උත්සව සඳහා විශාල බෙර සංඛ්‍යාවක් භාවිතා කල බවට තොරතුරු අනාවරණය වේ.
බෙර උපත හා සම්බන්ධ ජන සාහිත්‍යයට අනුව ප්‍රථමයෙන් ම වාදනය කොට තිබෙන්නේ බෝධිසත්ත්වයන්ගේ බුද්ධ මංගල්‍යයට ය.
බෙර උපත් කථා සාහිත්‍ය බෞද්ධ ආකල්පවලින් පෝෂණය වීමේ දී බුදුන් වහන්සේ පමණක් නොව දෙව්වරු ද සම්බන්ධ කරගෙන ඇති බව මූලාශ්‍ර තොරතුරු වලින් ගම්‍යමාන වේ.
ශ්‍රී ලාංකේය බෙර වාදනයේ පදනම වශයෙන් සැලකෙන මූලික නාද හෙවත් බෙර අක්ෂර සතරක් වේ. බීජාක්ෂර නමින් හැඳින්වෙන එකී අක්ෂර තත්, ජිත්, තොං, නං නමින් ප්‍රචලිතය. ඒවායේ උපත පිළිබඳව කියැවෙන ජන සාහිත්‍යයෙන් දැක්වෙන්නේ “තත්” බුදුන්ට නමස්කාර පිණිසත්, “ජිත්” යන නාදය දෙවියන්ට නමස්කාරය පිණිසත් මුලින්ම වැයූ බව ය.
ඒ අනුව, තාලම් තිස් දෙකක්, සවුදම් හැට හතරක්, සුරල් විසි එකක්, වන්දමානම් පහළොවක්, දැකුම් අත් දහසයක්, පොඩි සුරල් විසි හතක් හා අඩ පද හතළිහක් බෙර වාදන ශිල්පයට අයත් වේ.
ශ්‍රී ලාංකේය බෙර වර්ග
උඩරට බෙරය
උඩරට නර්තන සම්ප්‍රදායයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස උඩරට බෙරය නමින් ද, බෙරයේ මධ්‍ය කොටස ගැටයක්, ගෙඩියක්, බඩක්, පුහුලක් ආකාරයෙන් බෙර කඳ දෙපසට වඩා මදක් විශාල වන හෙයින් ගැට බෙරය නාමයෙන් සලකා භාවිතයට පැමිණ ඇති බව පෙනේ. සුභ මංගල කටයුතු සඳහා යොදා ගන්නා බැවින් මඟුල් බෙරය, මංගල භේරිය යනුවෙන් ද නාම භාවිතයට පත්ව තිබේ. එය කොහොඹ යක් කංකාරිය හා උඩරට සම්ප්‍රදායයේ ගම්මඩු, දෙවොල්මඩු, යක් තොවිල් (සූනියම) හා බලි ශාන්තිකර්මයන්හි දී මෙන්ම සොකරි ජන නාටකයේ ද ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස භාවිතා කෙරේ
පහතරට බෙරය
දකුණු හා බස්නාහිර පළාත් හි ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ සහ ගම්පහ ආදී දිස්ත්‍රික්කයන්හි ප්‍රචලිත ශාන්තිකර්ම හා නර්තන ශෛලිය සඳහා ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වශයෙන් යොදා ගන්නා බෙරය, පහතරට බෙරය නමින් හැඳින්වේ. එකී ප්‍රදේශ ආශ්‍රිත ශාන්තිකර්ම පමණක් නොව කෝලම් ජන නාටකයේ ද මෙම බෙරය අවිශේෂයෙන්ම යොදා ගැනේ. ඝෝෂක බෙරය, පනා බෙරය, දෙවොල් බෙරය, යක් බෙරය, දික් බෙරය, දැතහරි බෙරය, රුහුණු බෙරය, වැල්ලකර බෙරය, කිඳුරු බෙරය මෙම බෙරය සඳහා පර්යාය නාම වශයෙන් භාවිතා වී ඇත.
දවුල
දවුල සබරගමු නර්තන සම්ප්‍රදායයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය යි. සබරගමු සම්ප්‍රදායයේ පහන් මඩු, දෙවොල් මඩු, කිරි මඩු ආදී මඩු ශාන්තිකරුමයන්හි දී , යක්තොවිල් සහ බලි ශාන්තිකර්ම සඳහා මෙන්ම සබරගමු සොකරි ජන නාටකය සඳහා ද දවුල භාවිතා කෙරේ. සබරගමු නර්තන සම්ප්‍රදාය සඳහා දවුල් වාදනය කිරීමේ දී නර්තනයට ප්‍රමුඛතාව දීම මෙන්ම කවි ගායනය අවස්ථාවල දී දෑතින් පමණක් වැයීම සුවිශේෂත්වය කි.
තම්මැට්ටම
දේශීය වාද්‍ය භාණ්ඩයන් අතර තම්මැට්ටම අතිශයින්ම සුවිශේෂ භාණ්ඩය කි. එය තල මුහුණත් දෙකකින් යුක්ත වීමත් එකී මුහුණත් දෙක උඩුකුරුව සිටින ආකාරයෙන් ඈඳා තිබීමත් කඩිප්පු යුගල ආධාරයෙන් වාදනය කිරීමත් මෙම වාදන භාණ්ඩයෙහි සුවිශේෂී ලක්ෂණය වේ. මෙම වාදන භාණ්ඩයට අදාල කොටස් දෙක එකට ඈඳා තබා ඇති හෙයින් පැරණි වංශ කතා සහ සාහිත්‍යකරුවෝ මෙම වාදන භාණ්ඩය පොකුරු බෙරය ලෙස හඳුන්වා ඇත.
උඩැක්කිය
දේශීය බෙර වර්ග අතර, දෙඇසකින් යුක්ත වන්නේ වී නමුදු එක් ඇසකින් පමණක් වාදනය කරන, දෙඅතම යොදා ගනු ලැබුව ද එක් අතකින් පමණක් වාදනය කරන, අනෙකුත් සියලුම දේශීය බෙර වර්ගයන්ට වඩා හැඩයෙන් වෙනස් වුව ද, වාදනය කරමින් රංග භාණ්ඩයක් ලෙසින් නර්තනයට යොදාගනු ලබන උඩැක්කිය, අපූර්වතම වාදන භාණ්ඩය කි.
රබාන
දේශීය ජන ජීවිතයට රබාන තරම් බද්ධ වූ තවත් වාදන භාණ්ඩයක් නොමැති තරම් ය. එහි විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික ලක්ෂණයත්, ගැමි ලක්ෂණයත් යන අංගෝපාංග යන දෙකෙහිම එක ලෙස බද්ධ වීමට රබාන නම් වූ වාද්‍ය භාණ්ඩයට පැවති හැකියාව යි. විටෙක කවිකාර මඬුවෙහි දී රජතුමා විනෝදාස්වාදයට පත් කිරීමට ද තවත් විටෙක ගැමි රඟ මඩලෙහි සහ ගැමි සමාජය උත්සවයන්හි දී පොදු ජනයා රස ගන්වන්නට ද ඊට හැකි විය.
බුම්මැඩිය
කෘෂිකාර්මික ජන සමාජයෙහි පවතින විශ්වාසයන් සමඟ බැඳුණු බුම්මැඩිය, අද්‍යතනයේ දී භාවිතා කරන්නේ ගැමි නැටුම් සඳහා ය. විශේෂයෙන්ම ගොයම් කැපීම වැනි තේමාවන් සමඟ බුම්මැඩිය රංග භාණ්ඩයක් වශයෙන් ද වාදන භාණ්ඩයක් වශයෙන් ද යොදාගනු ලබයි.
හේවිසි වාදන සම්ප්‍රදාය
ඈත අතීතයේ සිට හේවිසි නමින් බෞද්ධාගමික හේවිසි වාදන සම්ප්‍රදායක් ශ්‍රී ලාංකේය ජන සමාජය පුරා ව්‍යාප්තව පවතී. වෙහෙර විහාර දේවාල මූලික කොට ගෙන දෛනිකව මෙන්ම වාර්ෂිකව කෙරෙන විශේෂ අවස්ථාවන් හා බැඳී පවතී. ඒ හැරුණු කොට ගෘහස්තව පැවැත්වෙන පිරිත් පිංකම් සහ බණ දේශණා වැනි අවස්ථාවන්හි ද යොදා ගැනේ. පාරම්පරික භේරි වාදන ශිල්පීන් මේ සඳහා සහභාගි වීම සම්ප්‍රදායක්ව පවතී. බුදුන් වහන්සේ කෙරෙහි භක්තිය, ගරුත්වය පෙරදැරි කර බුද්ධ පූජාවක් වශයෙන් සලකා භේරි වාදනය කිරීම එහි ලා සිඳු කෙරෙන අතර ඒ සඳහා සහභාගී වන භේරි වාදකයන් මෙන්ම යොදා ගන්නා තූර්ය භාණ්ඩ ද පේ කොට තැබීම චාරිත්‍රය කි. ප්‍රබල සංස්කෘතික උරුමයක් වශයෙන් පැවත එන හේවිසි වාදනය ගැඹුරු ශාස්ත්‍රීය පදනමකින් යුක්ත වූ ශිල්පය කි. සත් කෝරළය, සතර කෝරළය, මහනුවර, නුවර කලාවිය මෙන්ම පහතරට හා සබරගමු යන ඒ ඒ ප්‍රදේශයන්හි භාවිත විෂය පරාසය එක හා සමාන නොවේ.
පෝය හේවිසි
පොහොය දින සම්බන්ධ කොටගෙන හේවිසි වාදනය මඟින් ශබ්ද පූජෝපහාර පැවැත්වීමේ මංගල්‍ය පොහොය හේවිසි ලෙස හැඳින්වේ. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ පොහොය ලබන වේලාවෙහි සිට ගෙවෙන වේලාව තෙක් කාලය තුළ නොකඩවා ම වාදනය කිරිම යි. විශේෂයෙන්ම වෙසක් පොහොය, පොසොන් පොහොය, දුරුතු පොහොය වැනි පොහොය දිනයක් එකී කාර්යය සඳහා තෝරා ගනු ලැබේ.