පහන්මඩුව ශාන්තිකර්මය
per person
සබරගමුව යන නාමයෙන් හඳුන්වන භූමි කලාපය තුළ ගොඩනැගී වැඩි වශයෙන් පවත්නා යාතුකර්මය වන්නේ පහන්මඩුවයි. එය සබරගමුවට අයත් ප්‍රදේශ අතර පැවැත්වෙන ආකාරය ද යම් වෙනස්කම් වලින් යුක්ත බව පෙනී යයි. ප්‍රදේශ දෙකක් අතරින් ප්‍රකට කෙරෙන වෙනස්කම් පමණක් නොව එකම ප්‍රදේශයන්හිද ඇතැම් විට ගුරුකුල දෙකක් අතර ද ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් ගත්කල සබරගමුවට අයත් බළන්ගොඩ හා රත්නපුර යන ප්‍රදේශවල දෙයාකාර ලක්ෂණයෙන් යුක්තව පහන්මඩුව ක්‍රියාත්මක වන බව පෙනේ.
සබරගමුව ශාන්තිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රචලිත හා ප්‍රධාන ශාන්තිකර්ම ලෙස පහන්මඩුව හැඳින්විය හැකිය. සබරගමු නර්තන සම්ප්‍රදාය පවත්වන සියලුම ප්‍රදේශවල පිහිටා ඇති දේවාලයන්හි වාර්ෂිකව අනිවාර්ය චාරිත්‍රයක් ලෙස පහන්මඩුවක් පවත්වනු ඇත. ඒ සඳහා දේවාල භූමියෙහිම මඩු නැටීම පිණිස ස්ථානයක් වෙන්කර තිබේ. ඇතැම් දේවාලයක එය මඩු තැන්න නමින් ද හඳුන්වනු ලැබේ. අතීතයේ සිටම දේවාලයේ වාර්ෂික පහන්මඩුව එම ස්ථානයේ පවත්වා තිබෙන බව දැනගන්නට ලැබේ.
පහන්මඩුවේ පූජා විකාශනය දකුණු ඉන්දියාවේ පැවැති පූජෝත්සවය සම්ප්‍රදායක් වූ පන්තිස් කෝල්මුරය අනුව සිඳු කෙරේ. පසුව එය සිංහල මුහුණුවරකට අනුව සකස් වී ඇත.
පන්තිස් කෝල්මුරය පහත පරිදි වේ.
සබරගමු වැසියන් අතර ද පත්තිනි දේවාලය කේන්ද්‍ර කොට පහන් පූජා මුල් කර ගනිමින් සබරගමු ගායනය, වාදනය හා නර්තනය සාම්ප්‍රදායිකව යොදා සකස් කල පත්තිනි පූජාව පහන්මඩුව නමින් ප්‍රසිද්ධ විය.
වදුරු වසංගත රෝග පීඩාදියෙන් සහ වැසි නියං දුර්භීක්ෂාදියෙන් මිදී සශ්‍රිකත්වය ලබා ගැනීම යනාදී පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පහන්මඩුව අත්‍යාවශ්‍ය පූජා අංගයක් විය. පහන්මඩුව ශාන්තිකර්මයේ පුද ලබන දේව සංකල්ප අතර ප්‍රධානත්වය ලබන්නේ පත්තිනි දේවතාවිය යි. ඊට අමතර දෙවොල් දෙවියන් මෙන්ම විෂ්ණු, සමන්, කතරගම, නාථ, දැඩිමුණ්ඩ සපිරිවාර දෙවිවරු ද පුද පූජා ලබති.
උපත් කතාව
දඹදිව කාවේරිපුර රජ කල සේරමාන් නැමැති රජු රාත්‍රියේ නින්දට යන විට ගෝනකුගේ කෑ ගෑම අසා මහත් කෝපයට පත්ව ගෝනාගේ හිස මොළ කෑමට තරම් වෛරයක් පහළ විය. අනතුරුව රජු තමාගේ දඩයක්කාරයින් ලවා ගෝනා මැරවීය. රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත් ගෝනා රජුගේ මඟුල් පොකුණෙහි මැඬියෙක් වී උපන්නේය.
දිනක් රජ තෙමේ තම පොකුණෙහි පිපී තිබුණු මානෙල් මලක් දැක එය කඩාගෙන සුවඳ ආඝ්‍රහණය කළේය. ගෝනාගේ මරණයෙන් පසු උපන් මැඬි පැටවා මානෙල් මලෙහි සැඟ වී සිට රජුලේ නාසය දිගේ මොළයට ගිය බැවින් රජුගේ සිරසේ රෝගයක් හට ගත්තේය. එය හිසරදයකි. සේරමාන් රජුට වැළඳුන හිසරදය ඉතා දරුණු එකක් විය. දක්ෂ වෛද්‍යවරු ගෙන්වා වෙදකම් කළ ද සුවයක් නොලැබිණි.
රජුගේ සිරසේ රෝගය සුව කිරීම සඳහා පඬිපුර විසූ සිව්වේදය දන්නා බමුණන් කැඳවා තෙදිනක් මුලුල්ලේ යාග කොට රන් මිණි මුතු, රන් වලලු, ගජ හිස ආදිය තෑගි දී රෑ දහවල් නොකඩවා තොවිල්, බලි, පූජා පවත්වා දුප්පතුන්ට දන් දී, සිරිමා බෝ මුල මලින් සරසා පූජා පැවැත්වුව ද සේරමාන් රජුගේ සිරසේ රෝගය සුව නොවීය. නමුත් රජුගේ පෙර පිං හේතුකොට ගෙන දිනක් කාන්තාවක් සිහිනෙන් පෙනී විසඳුමක් පවසා තිබේ.
සේරමාන් රජු තමා දුටු සිහිනය මැති ඇමතිවරුන් ගෙන්වා සැල කළේය. අනතුරුව නැකැත් ඇඳුරන් ගෙන්වා සිහින පලාපල විචාල කල්හි පත්තිනි දේවියගේ ශාපයක් වැදී රජු රෝගාතුර වී ඇති බවත් එයින් මිදීම සඳහා සිහිනෙන් කී ලෙස පත්තිනි දේවියට පුද පූජා කල යුතු බවත් බමුණන්ගෙන් කියවිණි.
දඹදිව පඬි රට පඬි රජු විසින් පත්තිනියගේ සැමියා වන පාලඟ කුමරු අයුක්ති සහගත අන්දමින් මරවන ලද හෙයින් සේරමාන් රජුට පත්තිනියගේ ශාපය වැදී ඇති බව ඔවුහු කීහ. ඉන්පසු පාලඟ කුමරුට නැවත පණ ඉපදවීම සඳහා පත්තිනිය තම පතිවෘත බලය ආයුධයක් කොට ගත් බව දැක්වේ. පඬි රජුගෙන් පළිගැනීම වස් පඬි රටට සාගතයක් මවා වදුරු වසංගත රෝග වලින් ජනතාව පෙලීමට පත්තිනිය ශාප කළාය. එයින් පඬිපුර ඉමහත් ව්‍යවසනයකට ගොදුරු විය.
මෙහි ප්‍රතිපලයක් ලෙස සේරමාන් රජුගේ විනාශය ලං විය. එයින් මිදීමට නම් සිහිනයෙන් දුටු දෙව්දුව කී ලෙසට බෞද්ධ ආගමත් සතර දේවාලයත් ප්‍රතිෂ්ඨාපිත වූ රටකට ගොස් තුන් මසක් දන් දී පත්තිනි දේවිය උදෙසා මඩු ශාන්තිකර්මයක් කළ යුතු විය.
මේ අනුව පහන්මඩු පූජාව පැවැත්වීම සඳහා බුදු දහම අදහන සතර දේවාල පිහිටා ඇති වැදගත්ම රට ලංකාව බවත් දැන ගෙන පඬි පුර ඇදුරන් හා රන් සලඹ ද රැගෙන මෙහි පැමිණ රුවන්වැල්ලේ ප්‍රථම වරට පහන්මඩුව පවත්වා තිබේ. පහන්මඩුව සඳහා රුවන්වැල්ලෙහි උතුරු දිශාවෙන් මඩුව තැනූ ස්ථානය මඩු ගෙපොල නම් වූ බව දැනුදු ජනවහරේ එයි.
පහන්මඩුව ශාන්තිකර්මය සඳහා මඩුවට ගත් ඉඩ ප්‍රමාණය, මඩුව සෑදූ ආකාරය, මඩුව නැටීම සඳහා සුදුසු ඇදුරන් ආදී සියලු විස්තර මඩු පුරය නැමැති රචනයෙන් ගත හැකිය. පහන්මඩුව නැටීමේ දී මඬු පුරය හා තොරණ යාගය යන පූජා අංගවල ද එකී විස්තර පැහැදිළි වේ.