මහනුවර යුගයේ සිතුවම් කලාව
per person
අතීතයේ දී උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට හාරිස්පත්තුව යන ප්‍රදේශවල ව්‍යාප්තව පැවති උඩරට රාජධානිය වත්මන් මහනුවර කේන්ද්‍ර කර ගත්තකි. පළමුවන විමලධර්මසූරිය රජුගෙන් ඇරඹි යුගය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් නිමවිය. මහනුවර සිතුවම් කලාව බුදු සමය සමඟ අත්වැල් බැඳගෙන පෝෂණය වූවකි. වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ දායකත්වය නිසා පිරිහෙමින් පැවති මහනුවර කලාවට නව පණක් ලැබුණි. කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේ දී උපසම්පදා කර්මය යළි පිහිටුවීමෙන් පසු විහාර කර්මාන්තය මෙන්ම එහි සිතුවම් කලාව ද වර්ධනය විය.
විහාර සිතුවම්
මහනුවර සිතුවම් දක්නට ලැබෙන ස්ථාන අතර ලෙන් විහාර හා ටැම්පිට විහාරවලට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. ලෙන්හි අඳිනු ලබන සිතුවම් ලෙන් විහාර සිතුවම් ලෙස හැඳින්වේ. මේවා භික්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා සකස් කළ ස්වභාවික ගල් ලෙන්ය. මහනුවර යුගයේ ප්‍රකට ලෙන් විහාර කිහිපයක් තිබේ. රිදී විහාරය, දෙගල්දොරුව, දනගිරිගල, දඹුල්ල, අලුවිහාරය ඒ අතර ප්‍රකටය. ටැම්පිට විහාර අඩි හයක් පමණ උස ගල් කණු සිටුවා ඒ මත මෙම විහාර ගොඩනංවා තිබේ. පොළොව හාරා සිට වූ ගල් කණු මත විහාර ඉදිකරනු ලැබුවේ වේයන්ගෙන් සිතුවම් ආරක්ෂාකර ගැනීමට යැයි විශ්වාස කෙරේ.
සැරසිලි මෝස්තර
සැරසිලි මෝස්තර මහනුවර යුගයේ සිතුවම්වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. නුවර යුගයේ දී තිරිඟිතලිය මූලික කර ගනිමින් මෝස්තර යොදා ඇති බව දක්නට ලැබේ. මධ්‍යකාලීන සිංහල කලා කෘතියෙහි දැක්වෙන පරිදි මහනුවර යුගයේ සැරසිලි මෝස්තර සතර වර්ගයකි. එනම් දිව්‍ය, සත්ව, වෘක්ෂ, නිර්ජීව යනුවෙනි. දිව්‍ය යන්නට හිරු, සඳු අයත් වේ. හිරු, සඳු නොනැසී පැවතීමේ සංකේතයයි. හිරුගෙන් ප්‍රතාපවත් බවද සඳුගෙන් සෞම්‍ය බවද විදහා දැක්විණ. මවාගත් සතුන් වන භේරුණ්ඩ, මකර, ගජසිංහ, ඇත්කඳලිහිණි, කිඳුරු, සරපෙන්දි රූප ද සිංහ, නාග, හංස, සැවුල්, මත්ස්‍ය, ඇත්, ගව, අශ්ව රූප යන්න සත්ත්ව යන්නට අයත්ය. සීන, කඩුපුල්, නාරිලතා, පරසතු, පිච්ච, වැටකේ, ඇසළ, සපු, අන්නාසි, ලියවැල, පළාපෙති, මානෙල්, බිනර මල යන මෝස්තර සටහන් උද්භිත ගණයෙහි ලා ගැනේ. අරිම්බුව, කුන්දිරික්කම්, පනාව, තනි පොට ලණුව, දෙපොට ලණුව, සුළිය, සුළි දෙක, හවඩිය ආදි ජ්‍යාමිතික මෝස්තර සටහන් නිර්ජීව යනුවෙන් දක්වා ඇත.
ශිල්පීය උපක්‍රම
මෙකල ශිල්පීන් යොදගත් ශිල්පීය ධර්ම විශේෂ වූවකි. බිත්තිවල සිතුවම් ඇඳිමට යෝග්‍ය පරිදි බදාම පිළියෙළ කිරීමෙන් සිතුවම්වල කල් පැවැත්ම අපේක්ෂා කරන ලදී. බදාමය හුණු හා කහට පොතු දියර සමඟ මිශ්‍ර කිරීම එක් උපක්‍රමයකි. පොල් කෙඳි, අරලු කහට, ඇසතු බෝ පොතු සිහින්ව ලියා කොටා ගත් මිශ්‍රණයට අරලු හා ජලය එක්කර බදාම තැනීමට අවශ්‍ය ජලය සපයා ගැනීම ද සිඳු කරන ලදී. කැටයම් සඳහා බදාම සකස් කිරීම වෙනත් ස්වරූපයකින් දක්නට ලැබුණි. වර්ණ සකස් කිරීමේ දී ස්වභාවික වර්ණ භාවිතා කරන ලදී. සුදු පැහැය සකසා ගනු ලැබුවේ මකුළු නමින් හැඳින්වෙන පොළොවෙන් ලබාගත් පස් විශේෂයකිනි. පොල්කටු අඟුරු සියුම්ව කුඩුකර හලා ගැනීමෙන් කලු පැහැය ලබා ගැණිනි. ගුරුගල් සියුම්ව කුඩුකර හලා ගැනීමෙන් රතු වර්ණය ලැබිණි.
සාදිලිංගම් රතු පැහැය ඉන්දියාවෙන් ලබාගෙන තිබේ. ගොකටු ගසේ කිරිවලින් කහ පැහැය ද නිල් ඇවරිය කොළ යුෂ උණු කිරීමෙන් නිල් පැහැයත් අගුණ, රණවරා, මිදෙල්ල කොළ යුෂ යොදා ගැනීමෙන් කොළ පැහැයත් ලබා ගන්නා ලදී. දිවුල් ලාටු මිශ්‍ර කිරීමෙන් වර්ණ ස්ථාවරත්වය අපේක්ෂා කර ඇත. ටැම්පිට විහාර හා ගොඩනැගිලි සිතුවම් සඳහා දිය සායම් භාවිතා කළ අතර වර්ණ ප්‍රබේද ලබා ගැනීමට සුදු-කළු වර්ණ භාවිතා කළහ. තෙතමනයෙන් සිතුවම් ආරක්ෂා කිරීමට යොදගත් සාර්ථක උපක්‍රමය වූයේ සිතුවම් මත වලිත්ති ආලේප කිරීමයි. සිතුවම් අලංකාර කිරීමට ද මෙය ප්‍රයෝජනවත් විය. වලිත්ති සකස් කිරීමට අනුගමනය කළ ක්‍රම කිහිපයකි. පිරිසිඳු දුම්මල කුඩු දොරණ තෙල් සමඟ මිශ්‍රකර නිවෙන්නට හැර වාර කිහිපයක් පෙරා ගැනීම, ගොකටු සායම් වලිත්තියක් ලෙස භාවිතා කිරීම, කැප්පෙටියා කොළ වලිත්තියක් ලෙස සිහින්ව ආලේප කිරීම ද සිඳු කරන ලදී. සිතුවම් ඇඳීමේ දී පින්සල් ලෙස විවිධ මාධ්‍ය භාවිතා විය. සත්ව ලෝම, තෘණ වර්ග එහිදී මූලික විය. මෘදු බවින් යුතු ලේන ලොම්, බළල් ලොම් යොදා ගැනීම සියුම් රේඛා ක්‍රමයට හේතු විය. වැටකෙයියා මුල්, තෙලි තණ, තුත්තිරි කෙඳි ද පිනිසල් සඳහා යොදා ගනු ලැබිණ.
සිතුවම් ශිල්පීන්
නුවර යුගයේ සිතුවම් ශිල්පීන් කොට්ටල්බද්ද කාර්මික ශ්‍රේණියට අයත් විය. නුවර යුගයේ සිතුවම් කලාව ගොඩනැංවීමට මොවුහු ඍජුවම දායක වී තිබේ. දෙවරගම්පල සිල්වත්තැන, දේවේන්ද්‍ර මුලවාරියා මහනුවර සිත්තර පරම්පරාවට අයත් වේ. නීලගම පටබැන්දා, කොස්වත්තේ සිත්තර නයිදේ, දෙවරගම්පල සිල්වත්තැන දෙගල්දොරු සිතුවම් ශිල්පීන්ය. දෙවරගම්පල සිල්වත්තැන කීර්ති ශ්‍රී රාජසිංහ රජුට සේවය කළේය. මද්දුම නයිදේ දෙවන විමලධර්මසූරිය රජු සමයේ සේවය කරන ලද්දෙකි. ගල්ලෙන් නයිදේ නරේන්ද්‍රසිංහ රජුට සේවය කළේය. උල්ලදුපිටියේ සිත්තරා, ගන්නොරුවේ නවරත්න දණ්ඩයා, මංගලගම නීලවන මුහන්දිරම්, සේරුගොල්ලේ සිත්තර නයිදේ, පල්ලේකුඹුර උන්නාන්සේ ද මෙකල විසූ සිතුවම් ශිල්පීන්ය.
මෙකල දකුණු ප්‍රදේශයේ විසූ හිමප්පු ගුරුන්නාන්සේ වැලිතර පරම්පරාවේ අයෙකි. සෝලියස් මෙන්දිස් ද වැලිතර පරම්පරාවේ සිත්තරෙකුගේ ගෝලයෙකි. කඩොල්ගල්ලේ සිත්තර පරම්පරාව විසින් කතලුවේ පූර්වාරාම විහාර සිතුවම්වල අඳින ලදී.
මෙකල විසූ සෙසු ශිල්පීන් නම් බැද්දේවත්තේ දිනෝ සිත්තරා, ගරාඬුවේ මහ සිත්තරා, ගාලුපියද්දේ බබුන්, කිරින්දේ ශිලානන්ද හිමි, බිබිලේ සිත්තර නයිදේ, චන්ද්‍රෙස්කර දේවපති දේවනාරායන බුවනෙකබාහු සිත්තර නයිදේ යන සිතුවම් ශිල්පීන්ය.
මහනුවර සිතුවම්වල සුවිශේෂතා
අනුරාධපුර-පොළොන්නරු යුගවල පැවති සිතුවම් කලාවේ ප්‍රධාන මූලධර්මයන් වශයෙන් තිබූ ත්‍රිමාණ ලක්ෂණ, පර්යාවලෝකනය, ක්ෂයවෘද්ධි ලක්ෂණ, චරිත ස්වභාවයන් හා ඉන්ද්‍රීය පරිමාණයක් ඉස්මතු කිරීම, රිද්මයානුකූල අංග, මිශ්‍ර වර්ණ භාවිතය, ප්‍රසන්න කාව්‍යමය ඉරියව් වෙනුවට ශෛලිගත, දෘශ්ඨිගෝචර පොදුජන ප්‍රසාදයට පත් වූ, චිත්‍රාවලි ක්‍රමයට සැකසුණු, බෞද්ධ කථා සිතුවමට නැගූ වෙනස්ම මුහුණුවරකින් යුත් පොදුජන සිතුවම් කලාවක් රාජ, ගිහි, පැවිදි, ප්‍රභූ අනුග්‍රහය නිසා පන්සල් ආශ්‍රිතව වර්ධනය විය.
මෙම සිතුවම්වල ප්‍රධාන තේමාවන් වූයේ බුද්ධ චරිතය, ජාතක කථා, ඓතිහාසික බෞද්ධ සිඳුවීම්, දේව රූප හා විවිධ මෝස්තරයන් ය. ස්වභාවික ලෝකයේ පවතින වස්තූන්වලට නව අරුතක් දෙමින් නිර්මාණාත්මකව නිරූඩ හැඩ හඳුන්වා දීමට ශිල්පියා සමත් වී ඇත. නෙළුම් මල, වැටකේ මල, සපු මල, අන්නාසි වැනි මල්වල මූලික අන්තර්ගතයට හානි නොවන ලෙස නව නිර්මාණයක් බිහි කිරීමට ද ශිල්පියා උත්සාහ කර ඇත.
මහනුවර යුගයේ බොහෝවිට දක්නට ලැබෙන්නේ පාරම්පරික ශිල්ප කලාවක් වන අතර ඔවුන් ශිල්පාචාරීන් ලෙස හඳුන්වනු ලබයි. ළමා කාලයේදීම ශිල්පියෙකු, ආචාරියෙකු යටතේ අධ්‍යාපනය ලැබීම ඇරඹීම පසුකාලීනව ශිල්පියෙකු වීමට අනිවාර්යයෙන් කල යුතු ක්‍රියාවලියකි. ගුරුවරයා තම ගෝලයා හට සුභ නැකතින් අතපුවරු තැබීමෙන් ඔහුගේ මූලික අභ්‍යාසය ලබාදෙයි.
සිතුවම් ඇදීමට අත හුරු කරවන ලද්දේ වැලි අතුරා සකසන ලද වැලි පුවරුවක් මතය. එසේ නැතිනම් ගඩොල් කුඩු හා තෙල් මිශ්‍රකර සාදාගන්නා “වඩි” නම් විශේෂ තලපයක් යොදා ගන්නා යටිපෝරාවක් මතය. එම හැඩය නිදහසේ මතකයෙන් ඇද ඊට ලියපත නම් හැඩය ආදේශකර අවසානයේ රිද්මික රේඛාවෙන් පෝෂිත තිරිගිතලය නම් හැඩය සාර්ථකව ඇදීමෙන් ශිල්පියෙකු ලෙස ප්‍රවීණත්වය ලබා ගනී. රේඛාවේ අපූරු රිද්මයක් තුළින් නිර්මාණය වූ මනඃකල්පිත නිර්මාණයක් ලෙස මෙම තිරිගිතලය හැඳින්විය හැකිය. මීට අමතරව ගෝලයා විවිධ ග්‍රන්ථ ද පිරිශීලනය කල යුතු අතර රූපාවලිය, සාරිපුත්තය, වෛජයන්තිය වැනි පොත් භාවිතා කරයි. සාරිපුත්තයෙන් බුද්ධ රූප ඇදීමට අවශ්‍ය උපදෙස් ලබා දීමත් රූපාවලියෙන් දේව රූප නිර්මාණයත් වෛජයන්තියෙන් විවිධ වර්ගයේ ආභරණ නිර්මාණයටත් අවශ්‍ය වන උපදෙස් ලබා දේ. මෙනිසා සම්ප්‍රදායික චිත්‍ර කලාවේ සම්මත මිමි, පරිමාණ හැඩවලට පොදු වූ කලා කෘති නිර්මාණය වීම සිඳුවේ. එසේම කොට්ටල් බද්ද, පට්ටල් සතර නැමැති සංවිධානාත්මක ඒකක ද චිත්‍ර කලා ශිල්පීන්ට උපදෙස් ලබා දුන් අතර ඒවා සිතුවම් කලාවේ පෝෂණය උදෙසා රාජ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක විය. ආභරණ, ඔටුනු, කඩු, සිංහාසන යන අංශ හතර ක්‍රියාත්මක වන්නේ පට්ටල් සතර නම් සංවිධානය යටතේය.
මහනුවර යුගයේදී සිංහල සැරසිලි මෝස්තර බොහෝ ප්‍රමාණයක් බොහෝ ප්‍රමාණයන් බොහෝ ප්‍රමාණයක් පැවති අතර දිව්‍ය, සත්ව, උද්භිද නිරූඩ ලෙස ඒවා වර්ග කළ හැකිය.
විශේෂ ලක්ෂණ
මහනුවර යුගයේ සිතුවම් ශිල්පියා තම නිර්මාණ සඳහා ජාතක කතා පදනම් කරගෙන තිබේ. දිව්‍යලෝක දර්ශන අපාය දර්ශන නිරූපණය කිරීමෙන් මිනිසා පිනට නැඹුරුකරවීමත් පවට බිය වැද්දීමටත් අපේක්ෂා කරන ලදී. මාර පරාජය, සූවිසි විවරණ, සත් සතිය, පසේ බුදුවරු, අටමස්ථාන ආදිය නිරූපණයෙන් පෙනෙන්නේ නුවර සිතුවම්වල පැවති බෞද්ධ ආභාෂයයි. මෝස්තරකරණයේ දී සංකේත භාවිතයක් දක්නට ලැබේ. නෙළුම් මල නිවන හා පවිත්‍රත්වයේ සංකේතයයි. කඩුපුල් මල කල්ප වෘක්ෂ මෝස්තර මඟින් දෙව්ලොව නිරූපණය වෙයි. සූර්ය-චන්ද්‍ර සටහන් ස්ථීරත්වයේ සංකේතයි. නාගරුව ආරක්ෂාවේ සංකේතය ලෙසත් මත්ස්‍ය හා වෘක්ෂ සටහන් මංගල ලක්ෂණ වශයෙන් ද තවදුරටත් යොදාගනු ලැබීය. ප්‍රහේළිකා සිතුවම් මඟින් විස්මය දැන්වෙයි. හාස්‍ය රසයත් භයානක රසයත් ලබාදෙන සිතුවම් මහනුවර සම්ප්‍රදායයේ හිඟ නොවේ. විනෝද ජවනිකා මෙන්ම ජ්‍යෝතිෂය ද අන්තර්ගත ජන ජීවිතයට වඩාත් සමීප සිතුවම් කලාවකි. පුස්කොළ පොතක තීරු මෙන් වමේ සිට දකුණට කතා ශරීරය ගලායන ආකාරයෙන් සිතුවම් නිමවා ඇත. පාදමේ රේඛාව මත පිහිටුවා හැඩ ගැලපීම සිඳුකරයි. බාහිර රේඛා යොදාගෙන ඇත. කලුවන් රාමුවක පැතලි වර්ණාලේප භාවිතා කර තිබේ. ගැඹුරු ප්‍රකාශන ඉරියව් මෙම සිතුවම්වල දක්නට නැත. මෙම සිතුවම් තාත්ත්විකත්වයෙන් බැහැර වූයේ සිත් බඳනා පරිදි කතාවක් කීම අරමුණු කරගත් නිසා විය යුතුය. පරිමාණය ගැන නොසලකා ඇත. භාවිතයේ දී කහ, රතු, දුඹුරු පැහැයන් බහුලව යොදගෙන්නා ලදී. සිද්ධි එකිනෙක වෙන් කිරීම සඳහා රූප භාවිතා කරන ලදී. හිස් ඉඩ වැසීම සඳහා සිතුවම් මෝස්තර යළි යළිත් යොදා ගනු ලබිණ. නෙළුම් මල්, කඩුපුල් මල්, සීන මල්, වැටකේ මල්, කොළ, ඉති ආදිය ඒ සඳහා යොදා ගන්නා ලදී.
සමකාලීන වෙනත් රටවල සිතුවම් කලාවන්හි ආභාෂය ද මහනුවර යුගයේ සිතුවම්වල දක්නට ලැබේ. සියම් බුදුපිළිමවල තිබූ සිරස්පත, කේතුමාලාව ලංකාවේ බුදුපිළිමවල දක්නට ලැබේ. නාරිලතා, ලිය පත්‍ර ආදී මෝස්තර රටාවන්හි සියම් බලපෑම දක්නට ලැබේ. තීරුවකින් කතා නිරූපණ ශෛලිය, සිතුවම් පාදමෙහි සුදු වෙනුවට කළු තීරුවකින් වෙන් කිරීම, බුරුම සිතුවම්වල දක්නට ලැබේ. නායක්කාර වංශිකයන් සමඟ පැවැත් වූ සමීප සම්බන්ධතා හේතුවෙන් එකී ශිල්පීය ආර්යන්ගෙන් මහනුවර කලාව පෝෂණය වී ඇත. මහනුවර යුගයේ සිතුවම් ලක්දිව සුතුවම් කලාවේ වැදගත් සංදිස්ථානයකි.