විවාහය හා බැඳුණු සිංහල චාරිත්‍ර-වාරිත්‍ර
per person
විවාහය විශ්වීය සමාජ සංස්ථා අතරින් එකකි. මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කිරීමටත් මානව සමාජයේ විවාහය නම් සංස්ථාව ගොඩනැගී ඇත. පවුල නම් වන සංස්ථාව සමඟ ඉතා කිට්ටු සබඳතාවයක් පවතී. සමාජ, සංස්කෘතික, ආගමික හා ආර්ථික පදනමක් මත විවාහය ක්‍රියාත්මක වෙයි.
විවාහය තුළ අඩංගු විය යුතු ලක්ෂණ කිහිපයක් පවතී. ඒවා පහතින් දැක්වේ.
- ගැහැණියගේ දරුවනට නෛතික පියකු ලැබීම.
- පුරුෂයාගේ දරුවනට නෛතික මවක ලැබීම.
- ස්ත්‍රියගේ ලිංගික ඒකාධිකාරිය පුරුෂයාට ලැබීම.
- පුරුෂයාගේ ලිංගික ඒකාධිකාරිය ගැහැණියට ලැබීම.
- පුරුෂයාගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරිය ස්ත්‍රියට ලැබීම.
- ස්ත්‍රියගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරිය පුරුෂයාට ලැබීම.
- පුරුෂයාට අයත් දේපල අයිතිය ස්ත්‍රියට ලැබීම.
- ස්ත්‍රියට අයත් දේපල අයිතිය පුරුෂයාට ලැබීම.
- විවාහයෙන් පසු උපදින දරුවන් වෙනුවෙන් සාමූහික දේපලක් ගොඩනැගීම.
- පුරුෂයාගේ හා ස්ත්‍රියගේ නෑදෑයන් අතර ඥාතිත්ව බන්ධනයක් ගොඩනැගීම.
මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සන්ධිස්ථාන තුනක් පවතී. එනම් උපත, විවාහය හා මරණයයි. මෙම සංසිද්ධි තුනෙන් උපතත් මරණයත් කිසිවෙකුටත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේනම් පාලනය කළ හැකි එකම සාධකය වන්නේ විවාහය යි. පෙරුම්පුරා වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එකම වහලක් යටට නික්ම යන විවාහය නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍යය විවාහයයි. එම සුභ කටයුත්ත සඳහා අතීතයේ සිට ජ්‍යෝතිෂය පදනම් කර ගනිමින් සිංහල චාරිත්‍ර-වාරිත්‍ර සිඳු කරනු ලබයි. ඒවා වර්තමානයේදී ද යම් යම් වෙනස්කම් වලට භාජනය වුවත් අදටත් එකී චාරිත්‍රයන් සිඳු කරනු ලබන්නේ සිංහලයාගේ උරුමය විදහා පාමින්ය.
පොරොන්දම් බැලීම
විවාහ යෝජනාවක දී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිඳුකළේ ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් බැලීමයි. දෙපාර්ශවය විසින් තම පවුලේ දෛවඥයා ලවා පොරොන්දම් බැලීම සිඳු කරනු ලබයි. දෙපාර්ශවයේම පොරොන්දම් ගැළපීම සෑහීමකට පත් වන්නේ නම් දෙවැනි පියවර වන්නේ පවුල බලන්නට යෑම හෙවත් “ බත බුලත් කෑමයි ”.
බත බුලත් කෑම
පළමුවෙන්ම මනාලයාගේ පාර්ශ්වයෙන් මනාලියගේ නිවෙසට පැමිණීම සිඳු කරනු ලබයි. මනාලිය මනා ලෙස සැරසී බුලත් හෙප්පුවක් රැගෙන මනාලයා ප්රමුඛ මනමාල පාර්ශ්වයේ ඥාතීන් හමුවට පැමිණ ආචාර කරනු ලබයි. මනාලිය විසින් බුලත් හෙප්පුව මනාලයා වෙත පිළිගන්වනු ලබයි. අනතුරුව සිඳු කරන්නේ මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාගේ පවුල බලන්න යාමයි. මෙහිදී මනාලිය ඒ සඳහා සහභාගී නොවෙයි.
නැකැත් සෑදීම
මනාලයා හා මනාලිය දෙදෙනාගේ වයස, රූපය, තත්ත්වය, අදහස් ගැළපීම මෙන්ම දෙපාර්ශ්වයේම තත්ත්වය ( ආගම, කුලය, ධනය, බලය, ඥාතීන්, හැකියාව ආදිය ) ගැළපේ නම් ඊළග කටයුත්ත විවාහයට නැකැත් සකස් කිරීමයි. සම්ප්‍රදායික ලෙස නැකැත් සෑදීම කරන්නේ මනාලයාගේ පාර්ශ්වයෙනි. මනාලයාගේ පාර්ශ්වයෙන් එම නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දෙන අතර එම නැකැත් වල දෝෂ අඩුපාඩු ඇත්නම් මනාලියගේ පාර්ශ්වයෙන් පරීක්ෂා කර බලනු ලබයි.
විවාහයේ දී විශේෂයෙන් සලකා බලන නැකැත්
-
පූර්ව මංගල නැකැත්
- මනාලයාගේ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දීම.
- දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයන්ගේ ඥාතීන්හට පළමුවෙන් මංගල දිනයට ආරාධනා කිරීම ( බුලත් දීම ).
- තෙල් වළං ලිප තැබීම.
-
මංගල දිනයේ නැකැත්
- මනාල මහතා නිවසෙන් පිටත්වීම.
- මනාලියට තැල්ල බැඳීම ( වේල් එක බැඳීම ).
- මනාලයාගේ පැමිණීම.
- මංගල පෝරුවට නංවා චාරිත්‍ර ඉටු කිරීම ( සළු පැලඳවීම ආදිය ).
- පෝරුවෙන් බැසීම.
- පොතේ විවාහය සිඳු කිරීම (විවාහය ලියාපදිංචි කිරීම ).
- මඟුල් මඩු ඉඳුල් කිරීම.
- යුවළ පිටත්වීම.
-
පසු නැකැත්
- යුවළ පසු ගමන් පිටත්වීම.
- මනාල යුවළ නිවසට පැමිණීම.
මනාලයාගේ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දීම
මෙය ඈත අතීතයේ සිංහලයන් ඉතා ඕනෑකමින් සිදු කළ චාරිත්රයකි. සෙත් කවි, ශ්ලෝක ආදියෙන් විචිත්‍රවත්ව සකස් කරන ලද නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වය ඉදිරියේ කියැවීම ද විශේෂත්වයකි. කවි කතාවලින් වර්ණවත් වූ විද්‍යාත්මක ස්වරූපයක් ගත් මෙය මනා සුහද හමුවක් වැනිය.
දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන් මංගල දිනයට ආරාධනා කිරීම ( බුලත් දීම )
මෙය ද සුවිශේෂී චාරිත්රයකි. මේ සඳහා තෝරා ගන්නේ තමන්ට ඉතා හිතවත් විශ්වාසදායී සමීප ඥාතියකුය. බුලත් දීම සිදුකරන තුරු මංගල දිනය අනෙක් අයට දැනුම් නොදිම ඉපැරැණි ක්‍රමයයි.
මනාල මහතා නිවසින් පිටත් විම
මංගල දිනයේ දී මනාල මහතා මනාලියගේ නිවසට යාම සදහා තම නිවසින් පිටත් වන්නේ සුබ නැකතකටය. මනාලයාගේ මව වතුර වීදුරුවකට සුදු මල් දමා පෙරමඟට පැමිණෙයි. මලින් සරසන ලද මංගල රථයට මනාලයා සමඟ දෙවැනි මනාලයා ද ගොඩවන අතර අනෙක් ඥාතීන් වෙනත් වාහනවලින් මංගල රථයේ පසුපසින් පැමිණෙයි.
මනාලයාගේ පැමිණීම
මනාලියගේ නිවසට ඇතුළු වීමට ප්‍රථම මනාල මහතාගේ පියා විසින් මනාලියගේ නිවසට ගොඩවැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්‍රමාණයට බුලත් හුරුල්ලක් සකස් කර මනාලියගේ මවුපිය ඥාතීන්ට පිරිනමා තම නිවසට පැමිණීමට අවසර පතයි. දෙපාර්ශ්වය අතර සාම්ප්‍රදායික තහංචි කවි හුවමාරුවෙන් පසු සතුටු සිතෙන් යුතුව නැකැත් වේලාවට මනාලයා ප්රමුඛ ඥාතීන් මනාලියගේ නිවසට ගොඩ වදී.
මල් කළඹ පිළිගැන්වීම
මනාලයා නිවසට පැමිණීමට පෙර රථයෙන් බැස මනාලියගේ නිවසට එන දෙවැනි මනාලයා විසින් මල් කළඹ මනාලියගේ අතට දී නැවත පිරිසට එකතු වේ.
පාවඩ එළීම
මනාලයාගේ පැමිණීමට මනාල පාර්ශවයේ හේනේ මාමා විසින් පාවඩ එළීම සිඳු කරයි. හේනේ මාමාගේ හිත සතුටු කිරිමට මනාලයා විසින් යම් මුදලක් පාවඩය මතට දමයි. මෙම තෑගි මුදල “ පාවඩ මස්ස ” ලෙස හැඳින්වේ.
දෙපා සේදීම
මනාලියගේ බාල මලණුවන් විසින් මනාලයාගේ දෙපා සෝදා ගෙට ගැනීම සිඳු කරනු ලබයි. මලණුවන්ට තෑගි වශයෙන් මනාලයා විසින් රන් මුදුවක් ලබා දෙයි.
මංගල පෝරුවේ නැඟීම
පෝරුව සකස් කිරීම ප්‍රදේශය අනුව විවිධාකාරයි. පෝරුව සිව් කොනේ පුන් කලස් තබා ඒ මත පොල් තෙල් බහා මැටි පහන් 4 ක් තබනු ලබයි. එය සතර වරම් දෙවියන් උදෙසා තබනු ලැබේ. පෝරුවේ මතුපිට පැදුරක් එලා ඒ මත සුදු රෙද්දක් එලා ඒ මත නොපෑගෙන සේ කැකුළු සහල්, ලද පස් මල්, බුලත්, පඬුරු ආදිය අතුරයි. මීට අමතරව මංගල සම්මත වස්තූන් තැන්පත් කිරීම ද පුරාණ චාරිත්රයකි. සුබ නැකැත් වේලාව ආසන්න වන විට මනාල යුවල ස්වකීය මාමාවරුන් අතින් අල්ලා පෝරුවට නැංවීම සිඳු කරනු ලබන අතර අදාළ චාරිත්‍ර විධි දත් මහතකු විසින් පෝරුවේ චාරිත්‍ර ඉටු කරනු ලබයි.
පෝරුවේ ප්‍රධාන චාරිත්‍ර
- ත්‍රිවිධ රත්න නමස්කාරය
- සතර වරම් දෙවියන්ට පහන් දැල්වීම
- දෙවියන්ගෙන් අවසර පැතීම
- යුවල පෝරුවෙහි නැංවීම
- උතුම් දළුවර පිදීම
- අෂ්ටක කියැවීම
- මංගල මුදු පැලඳවීම
- සළු පිළි දැවටීම
- අතැඟිලි බැඳීම
- පැන් වැඩීම
- ජයමංගල ගායනය
- පෝරුව ඉඳුල් කිරීම
- හඟල හුරුලු පිදීම
- කච්චි කිරිකඩ පිදීම
- බුලත් හුරුලු ගෙන සුභ පැතීම
- පෝරුවෙන් බැස්සවීම හා ඒ සමඟ ශබ්ද පූජා පැවැත්වීම ( මඟුල් බෙර වැයීම, සක් පිබීම, පොල් ගෙඩියක් බිඳීම )
සුබ නැකතට යුවළ පිටත්වීම
මංගල සභා ආදිය පැවැත්වීමෙන් පසු ඥාතීන්ගේ ආශිර්වාදය මත යුවළ නැකතකින් මධුසමයට පිටත් වෙයි.
පොල් තෙල් පහන දැල්වීම
පෝරුවෙන් බහින යුවළ ප්‍රථමයෙන්ම සිඳු කරනුයේ පොල් තෙල් පහන දැල්වීමයි.
කිරිබත් කෑම
පුරාණයේ සිටම සුභ කටයුතු සිඳු කිරීමේ දී කිරි මිශ්‍ර ආහාරයක් ගැනීම චාරිත්රයකි.
පොතේ විවාහය
පොතේ විවාහය නැතිනම් විවාහය ලියාපදිංචි කිරීම ඇතැම් විට පෝරුවේ නැගීමට පෙර මෙන්ම පසුවද සිඳු කරනු ලබයි. ඉන්පසු මඟුල් මඩු ඉඳුල් කිරීමේ චාරිත්‍රය සුබ නැකතින් සිඳු වේ.