සූනියම් කැපීමේ ශාන්තිකර්මය
per person
සූනියම හෙවත් හූනියම යන්නෙහි වචනාර්ථය සිව් නියම (නියමයන් සතර) මත පිහිටා “සූනියම” ලෙස භාවිතයට පත්ව ඇති බැව් පෙනේ.
ඇතැම්හු හූනියම අයහපත් ක්‍රියාවක් ලෙස ද සූනියම යහපත් ක්‍රියාවලියක් ලෙස ද හඳුන්වති. හූනු, නයි, සිකනැලි ආදී සතුන් ඇඟට වැටීම, සදොස් ලෙස වෙහෙර විහාර හා ළිං කැනීම, අශ්වයන් දහවල් කාලයේ ඉපදීම, තලමල පිපීම, ගස් මුදුන් කඩා වැටීම හා කපුටු, කෑරල්, හූනු ආදී සතුන්ගේ හැඬීම් යනාදී ස්වභාවික සිදුවන අශුභ සිඳුවීම් ලෙසට ගැමි සමාජය විසින් පිළිගනු ලැබුව ද ඒවා සූනියම ලෙස හැඳින්විය නොහැකි බව් සූනියම යන වචනයේ විග්‍රහය දෙස විමසිලිමත්ව බලනවිට පැහැදිලි ය.
පොදුවේ ලක්වැසියන් අතර දක්නට ලැබෙන සූනියම් කිරීමේ හා සූනියම් කැපීමේ චාරිත්‍ර විධි දෙආකාරයකින් සිඳු වේ. කිසියම් තැනැත්තෙකුගේ පවුල් ඉඩ-කඩම්, දේපළ, වස්තුව, යාන-වාහන, මිල-මුදල් ආදිය විනාශ වන පරිදි මන්ත්‍ර ක්‍රියා බලයෙන් අහිතකර බලපෑම් සිදු කිරීම සූනියම් කිරීම වන අතර එවැනි සූනියමක් සිඳු කර ඇත්නම් ඒවා ඉවත්කර ශාන්තියක් ළඟා කරවීම සූනියම් කැපීම ලෙස භාවිතයේ පවතියි.
දිගු කලක සිට සූනියම් කිරීම සඳහා පාරම්පරික භාවිත ද්‍රව්‍යයන් පහත අයුරින් වර්ගකර දැක්විය හැකිය. ඒවා මිනිසා ආශ්‍රිත ද්‍රව්‍ය, සතුන් ආශ්‍රිත ද්‍රව්‍ය, ශාක ආශ්‍රිත ද්‍රව්‍ය, ලෝහ ආශ්‍රිත ද්‍රව්‍ය සහ වෙනත් ද්‍රව්‍ය යනුවෙනි.
දන්දිරිස් ද සිල්වා, ගුණරත්න මුදලිවරයා හා ඩබ්ලිව්. ඒ ද සිල්වා යන විද්වතුන් විසින් රාජකීය ආසියාතික සඟරාවල ද විවිධ හිමිවරු විසින් රචනා කරන ලද සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, සුමංගල විලාසිනි, රාජාවලිය, ථේරිගාථාපාලි, මජ්ඣිම නිකායට්ඨකථා, මහාවග්ගපාලි, පිරුවානා පොත් වහන්සේ යනාදී මූලාශ්‍රය මඟින් සූනියම් හා සම්බන්ධ කරුණු රැසක් ඉදිරිපත් කෙරේ.
රාජකීය ආසියාතික සඟරාවකට සපයා ඇති ලිපියකින් අදහස් දක්වන දන්දිරිස් ද සිල්වා, ගුණරත්න මුදලිවරයා පවසනුයේ හූනියම් ක්‍රම 84000 ක් පමණ ඇති බවය. එවැනි විවිධ වූ සූනියම් කිරීමේ ක්‍රම ප්‍රධාන වශයෙන් 7 කි. ඒවා අංගම්, පිල්ලි, ජීවම්, බන්ධන, පැන්නුම්, කටු ගැසීම් හා පෙතලි ගිනියම් වශයෙනි. විවිධාකාර වූ සූනියම් ඉවත් කිරීමට ප්‍රථම සූනියම් කර ඇත්දැයි බැලීමට ගැමියෝ කටයුතු කරති. සූනියමක් ඇති බව නිශ්චිත වශයෙන්ම දැනගත් කල්හි එය ඉවත් කරලීම සඳහා කටයුතු කිරීම ආතුර පක්ෂයේ සිරිතයි.
සූනියම් ඉවත් කරලීම සඳහා පැවැත්වෙන වත් පිළිවෙත් ආකාර තුනකින් පහතරට ප්‍රදේශයේ සිඳුකෙරේ.
- රහසිගත කොඩිවින කපා අදාළ සූනියම් ඉවත් කිරීම.
- සූනියම් භාගය නම් වූ ශාන්තිකර්මය පැවැත්වීම.
- පරිපූර්ණ සූනියම් කැපීමේ ශාන්තිකර්මයක් පැවැත්වීම.
මෙවැනි ශාන්තිකර්ම පැවැත්වීම සඳහා පොහොය දින යොදා ගැනීම යකැදුරන්ගේ සිරිතයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ දෙවි දේවතාවුන්, යකුන් යක්ෂණියන් පොහොය දිනට ශාන්තිකර්ම පවත්වන ස්ථානවලට නොපැමිණ්තැයි විශ්වාසයයි.
සූනියම් කැපීමේ ශාන්තිකර්මය උදෙසා ඇප නූල් බැඳීමේ දී දින තුන, දින හත, සති තුන, මාසය, මාස තුන ආදී වශයෙන් දින වකවානු තීරණයට පැමිණීම අවශ්‍ය වේ. ඇතැම් විට ආතුරයා ආවේශ කළ හැකි අයෙක් නම් “මල් තට්ටුව” තබා ආවේශ කොට ඔහුගේ / ඇයගේ තොරතුරු අනුව යකුන් පලවා හැරෙන දින තීරණයට පැමිණ ඒ අනුව ඇප නූල් බඳිනු ලැබේ. ඇප නූල් බැඳීමේ දී ගිවිසගත් කාල සීමාව ඉක්මයාමට පෙර අදාළ ශාන්තිකර්මය පැවැත්වීමට ආතුරයා, යකැදුරු දෙපක්ෂයම බැඳී සිටී.
මාතර ප්‍රදේශයෙහි පවත්වනු ලබන සූනියම් කැපිල්ල ශාන්තිකර්මයන්හි දී ඒ ඒ ශිල්පීන්ට ආවේණික වූ යම් වෙනස්කම් ඉතා අල්ප වශයෙන් දක්නට ලැබෙතත් පොදුවේ සෑම ශාන්තිකර්මයකම අන්තර්ගත සමස්ත පුද පූජා රටා අනුපිළිවෙල බොහෝ දුරට එක සමාන බව කිව හැකිය.
ආතුරයා ආතුර පන්දල වෙත කැඳවීම සහ සමාධි කරවීම
සුදු පැහැති වස්ත්‍රයකින් සැරසී තවත් සුදු වස්ත්‍රයක් පොරවා දල්වන ලද පිත්තල පහනක් දකුණතින් දරා යාගයට සම්බන්ධ වීමට සූදිනම්ව සිටින ආතුරයා නිවසෙහි වැඩිහිටියෙකු විසින් යාග මඩුවට කැඳවාගෙන එනු ලැබේ.
යාගයට සම්බන්ධ වන ප්‍රධාන ඇදුරා සුදු සේලයකින් හා රතු හැට්ටයකින් සැරසී රතු පච්ච වඩමක් ඉන බැඳ, කාඟුලක් පැළද වමතට ඊගස සහ යක් නලාවත් දකුණතට පන්දමකුත් පැළඳ ආතුරයාගේ සිත සමාධි කරවනු ලබන්නේ කටපැදියක් කීමෙනි.
සූනියම් වීදිය කැප කිරීම
සූනියම් වීදිය හෙවත් පිල්ලු වීදිය කැප කිරීම මෙම ශාන්තිකර්මයේ ද ආරම්භක අවස්ථාව වන අතර ආතුරයා ආතුර පන්දලෙහි වාඩි කරවීමෙන් පසු එය සිදු කෙරේ.
හත් අඩි වට්ටිය හා නානුමුර වට්ටිය කැප කිරීම
සූනියම් කැපීමේ ශාන්තිකරුමයේ දී හත් අඩිය ඇතුළු අවශේෂ තීන්දු සඳහා භාවිතා කරන පූජා ද්‍රව්‍ය ඇතුළත් තීන්දු වට්ටිය / අත් අඩි වට්ටිය හා ආතුරයා ශාන්තිකර්මයට සුදුසු වන පිරිදි පවිත්‍ර කරවීම සඳහා භාවිතා කරන පූජා ද්‍රව්‍ය ඇතුළත් නානුමුර වට්ටිය ආතුරයා ඉදිරියෙන් තබා එයට දල්වන ලද විලක්කු ගසනු ලබයි.
නානුමුර පෙළපාලිය
මෙම පෙළපාලියෙන් සිදු කෙරෙනුයේ ආතුරයා නානුමුර කර ශුද්ධ පවිත්‍ර කිරීමේ අවස්ථාවයි. මෙම නානුමුර පෙළපාලියට ඇතුළත්ව ඇති අවස්ථා පහකි. එනම්,
- නානු ගෑම
- දිය නෑම
- තෙල් ගෑම
- සඳුන් ගෑම
- මෝට්ටැක්කිලිය පැළඳීම යි.
අටමගල වීදිය කැප කිරීම
රෝගාතුර ශුද්ධ පවිත්‍ර කිරීමෙන් ශාන්තිකර්මයට සුදුසු පරිදි පත්කර ගැනීමෙන් පසු යකැදුරන් තම ඊළඟ අවධානය යොමු කරනුයේ සකසා ඇති අලංකාර වීදි මණ්ඩපය කෙරෙහිය. එනම් ශාන්තිකර්මයට අදාළ දෙවි දේවතාවුන් හා යකුන් යක්ෂණියන්ට එම වීදි මණ්ඩපය කැපකර දීමයි.
මල් අස්න නැටීම
අටමගල වීදිය අදාළ යක්ෂ, දේව සමූහයට කැප කිරීමෙන් පසුව සිව්වරම් දෙවියන් යහනාවට කැඳවීම මාතර පළාතේ සූනියම් ශාන්තිකර්මයේ පිළිවෙතයි
වීදි උපත් ගායනය කිරීම
මඩුවෙහි අලංකාරයව තනා ඇති වීදිය, අටමගල වීදිය, කැපුන් වීදිය, ඡේදන වීදිය, සිංහාසන වීදිය, සූනියම් වීදිය යන නම් වලින් හඳුන්වනු ලැබේ.
දොරටු පැනුම
තනා ඇති අටමගල වීදියේ සිව් කොණට විවෘතව දොරටු සතරක් වෙයි. ඉන්ද්‍ර, යාම, සෞම්‍ය, වරුණ යන දිශාවලට අයත් එම දොරටු සතර යකැදුරා විසින් වස් හැර පනිනු ලබයි. එසේ කරනු ලබන්නේ ආතුරයා අටමගල වීදියට ගෙන යාමට පෙරාතුව ආතුරයාට වස් ඇති නොවීමේ අපේක්ෂාව ඇතිවය.
හත් අඩි තීන්දුව
සූනියම් කැපිල්ලට අයත් ප්‍රධාන ශාන්තිමය කටයුතු ලෙස ගැනෙන තීන්දු කැපීමේ අවස්ථාව ආරම්භ වනුයේ හත් අඩි තීන්දුවෙනි. හත් අඩිය යනු සිදුහත් කුමාරයා බිහිවුණු අවස්ථාවෙහි අඩි හතක් පෙර මඟට ගිය මඟ කියැවෙන අවස්ථාව සිහිපත් කරමින් ඉටු කෙරෙන බෞද්ධ මුහුණුවරකත් පෙන්නුම් කරන ශාන්තිකර්මයකි.
වඩිගපටුන නර්තනය
මාතර පළාතේ පවතින පුද පිළිවෙත්වලට අනුව වඩිගපටුන නම් වූ නර්තන අවස්ථාව මෙහි දී ඉදිරිපත් වෙයි. පඩිගපටුන යනු බ්‍රාහ්මණ වෙස් ගත් නැටුමක් බැව් තත් සමාජයේ පවත්නා ආකල්පය යි.
පුළුටු යකුන්ට දොළ දීම
මාතර පළාතේ පැවැත්වෙන සූනියම් ශාන්තාකරුමයේ දී යකුන් වෙනුවෙන් පුද සත්කාර පැවැත්වීම අලුයම් යාමයේ දී සිඳු වේ. එහිදී රීරි යකා, මහසෝනා, සන්නි යකා, සූන්යම් යකා සඳහා පිදවිලි සරසා ඒවා පාවාදිය යුතුය. ආතුරයා කාන්තාවක් වන්නේනම් කලු කුමාරයාට ද මූලික ස්ථානයක් ලබා දේ.
පස් පැඟිරිවලට දෙහි කැපීම හා අඹ අත්තෙන් මැතිරීම.
පුළුුටු යකුන්ට දොළ දීමෙන් පසු පස් පැඟිරිවලට දෙහි කැපීමේ සිරිතක් මාතර පළාතේ පවතී.
ප්‍රධාන සැරසිලි
මාතර හා බෙන්තර ප්‍රදේශ දෙකෙහිම යාග ඇඳුරෝ අලංකාර වූත් විචිත්‍ර වූත් අදාළ පුජ පූජා වධීන්ගේ අඩුවකින් තොරව සූනියම් ශාන්තිකර්මය පවත්වයි.