රූකඩ නාට්‍ය කලාව
per person
රූකඩ රූපණ කලාව ද සකල කලාවන්ම ඒකරාශී කරන අද්විතීය කලාවක් ලෙස හැඳින්විය හැකිය.
අනෙකුත් කලාවන්ට සාපේක්ෂව රූකඩ රූපන කලාව අපූර්වතම කලාවකි. මන්ද යත් නූල් කැබලි කිහිපයකින් එකට යා කරන ලද නැතහොත් දණ්ඩක සවි කරන ලද නොඑසේ නම් අතක ඇඟිල්ලක රැඳවුනු අජීවී මෙවලන් සජීවි රූප කාවයන් බටව පත් කරන්නට එය සමත් වන බැවිණි. දැනීම් හැඟීම් වලින් තොර අජීවි මෙවලමින් උපන් සජීවි බව අන්‍යන්ගේ සිත් මෝහනය කරමින් ඔවුන් වෙත සතුට කැඳවා ගෙන එන බැවිණි. එපමණක් නොව රූකඩ රූපන කලාව සජීවි මිනිසාට තමන්ගේ සජීවි බව වටහා ගන්නට පෙළඹවීමක් කරන තරමට සමත් බලවත් ඉන්ද්‍රජාලික බලයකින් යුත් කදිම කලාවක් ද වන බැවිණි.
රූකඩ අතර දෙවිවරු, මුනිවරු, රජවරු, ඇමතිවරු, රාජ බිසෝවරු, නාට්‍යාංගනාවන්, සේවක-සේවිකාවන් ද සිටිති. අසේම ඇත්, අශ්ව, ගව, සිංහ, උරග, පක්ෂි ආදී කොට ඇති අපා, දෙපා, සිව්පා, බහුපා කවරෙකු වෙත් ද ඒ සියල්ලෝම සිටිති. වීරයන්, ප්‍රබලයන්, දුරුවලයන්, බිය සුල්ලන්, ආදරවන්තයන්, කපටින්, හොරුන්, මං පහරන්නන්, ශ්‍රමනයක් මෙන්ම යක්ෂයන් ද රාක්ෂයන් ද යනාදී වූ කවරෙකු වුව ද ඔවුන් අතරේ සිටිය හැකිය.
රූකඩය යන්නෙහි වාච්‍යාර්ථය සිංහල ශබ්දකෝෂකරුවෝ විවිධ අර්ථයන් සහිත නිර්වචනය කරති. ඒ අතර ලී, පස්, ඉටි ආදියෙන් තැනූ මිනිස් හෝ සත්ත්ව රූප සහ නූල් හෝ වයර් මඟින් ක්‍රියාත්මක කළ හැකි සේ තනන ලද මිනිස් හෝ සත්ත්ව රූප හා කුඹුරු ආදිය අසල සිටුවන පඹයා යනුවෙන් දක්වා ඇත.
ශ්‍රී ලාංකේය රූකඩ රූපන කලාවෙහි ආරම්භය අනුරාධපුර යුගය තෙක් ඈතට දිවෙන බව වංශකතා සහ සාහිත්‍යමය මූලාශ්‍රය තෙක් පැහැදිළි වේ. සමින් කරන ලද රූකඩ විශේෂයක් පිළිබඳ මහා වංශයෙහි සඳහන් තොරතුරු තත්කාලීනව පැවති ඡායා නාට්‍ය කලාවක් විය හැකි බවට ඇතැම්හු විශ්වාස කරති.
කාලයාගේ ඇවෑමෙන් සමගම ගෝලීයකරණය මඟින් ඇති කරන ලද අන්තර් ජාතික සබඳතා පුළුල් වීමත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සංස්කෘතික සංකලනයත් කරණකොට ගෙන දේශීය සාම්ප්‍රදායික නූල් රූකඩ කලාව අතික්‍රමණය කරමින් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි විවිධ මාදිලියේ රූකඩ කලාවන් අපේ රටට හඳුන්වා දෙනු ලැබීය.
|
|
උක්ත රූකඩ නාමානවලිය එකී නව හඳුන්වා දීම් අතරින් කිහිපයකි. ඒවා රූකඩ කලාවන්ගේ භාවිතය අවශ්‍යතාවයන්ට සමපාත වන සේ යොදා ගෙන ඇත. ඇතැම් රූකඩ ක්‍රම අධ්‍යාපනික වශයෙන් වැදගත් ය. ඇතැම් රූකඩ ක්‍රම රූපවාහිනී වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ඔස්සේ කෙරෙන නිර්මාණ සඳහා වැදගත්ය. ඇතැම් ඒවා විනෝදාස්වාදය ආත්ම කොට ගනී. ඇතැම් ඒවා වානිජ සහ සන්නිවේදන ක්‍රියාවලියේ දී වැදගත්ය. ඒ සියල්ලම සමස්තයක් ලෙස ගත්කල මානව පරිකල්පනයෙහි ප්‍රතිඵල වේ.
රූකඩ කැපීම සඳහා සුදුසු වෘක්ෂ ලෙස තෝරාගනු ලැබුයේ රුක්අත්තන වෙල් කඳුරු, කිරිවල්ල ආදී ශාකයන් ය. තෝරාගත් ශාක කැපීමේ දී ගස මුල මල්, බුලත් තටුවක් ලබා පහන් දල්වා සුවඳ දුම් අල්ලා සඳුන් කිරිපැන් ඉස ගසට අරක් ගත් වෘක්ෂ දේවතාවෙක් වේ නම් ඉන් ඉවත්ව යන ලෙස කන්නලව් කිරීමෙන් පසු ගස කපා හෙලීම චාරිත්‍රය යි. කපන ලද ගස කුට්ටි කර පොතු ඉවත් කර කිරි වියෙලන්නට කිහිපදිනක් තබා අනතුරුව අවශ්‍ය ආකාරයෙන් කොටස් සකස් කර ගනිති. දැවයෙන් නිර්මාණය කරන රූකඩ වර්ණ ගැන්වීම සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව කරනු ලබන අතර පැරණි ශිල්පීන් ඒ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරගත් වර්ණ භාවිතා කළහ. මකුළු මැටි, හිරිගල්, සාදිලිංගම්, සිවම්ගුරු, ගුරු ගල් වැනි ද්‍රව්‍ය කජු ලාටු, දිවුල් ලාටු ආදිය සමඟ මිශ්‍රකර ලීයේ ආලේප කර වියළීමෙන් පසු එ් මත දොරණ තෙල් ආලේප කර දිලිසෙන සුළු බව ඇති කරවයි. එකී සාම්ප්‍රදායික වර්ණ ගැන්වීමේ ක්‍රමය ශිල්පීන් වෙතින් ගිලිහී ගියේ පහසුවෙන් භාවිතා කළ හැකි ලැකර්, සායම් වැනි කෘතිම වර්ණයන්ගේ සම්ප්‍රාප්තිය සමඟිනි.
අදාල චරිතය සඳහා අවශ්‍ය හිසකෙස් සහ රැවුල සැකසීම සඳහා හණ, වැටකේ මුල්, අනුනාසි පත්‍ර ආදියෙන් සකසා ගත් කෙඳි භාවිතා කරනු ලබයි.
චරිතය සඳහා උචිත ආකාරයෙන් රංගවස්ත්‍රාභරණ නිර්මාණය කර රූකඩ සඳහා පැළඳවීම කරනු ලබන අතර අවශ්‍යතාවය පරිදි සම්බන්ධ කර ගනිති. රූකඩ ක්‍රියාකරවන්නේ නූල් යොදා ගැනීමෙනි. මෙකී නූල් හෝ කම්බි ප්‍රේක්ෂක ඇසින් වසං කිරීම සඳහා කළු පැහැය භාවිතා කරනු ලබයි. නූල් සම්බන්ධ කර ඇත්තේ අත්දණ්ඩකට ය.
නූල් රූකඩ රඟ දැක්වීම සඳහා එයටම සුවිශේෂ වූ වේදිකාවක් අවශ්‍ය කෙරේ. එම වේදිකාව තට්ටු දෙකකින් සමන්විත වේ. පහළ තට්ටුව ප්‍රේක්ෂකයා සඳහා විවෘත වන වේදිකාව වන අතර එම වේදිකාව කොටස් තුනකට බෙදා ඇත. මධ්‍යම වේදීකාව ප්‍රධාන දර්ශන සඳහා ද දෙපස වේදිකා අතුරු දර්ශන සඳහා ද යොදා ගැනීම සම්මතයකි. රූකඩයේ නූල් මෙහෙයවමින් රූකඩය නටවන්නා සිටින්නේ ඉහළ වේදිකාවට වඩා තරමක් පිටු පසින්ය. එහි කෙළවර වැටට බර දී සිටින රූකඩ ශිල්පියා රූකඩය නටවමින් චරිතයට අදාළ සංවාද ඉදිරිපත් කරයි.
රූකඩ සඳහා යොදගෙනු ලබන සංගීතය නාඩගම් සංගීතයෙන් පොෂණය වූ එකකි. ඒ සඳහා සංගීතය සැපයීමට මද්දලය සහ සර්පිනාව යොදා ගනු ලබයි.
රූකඩ, කුඩා ළමයාගේ පටන් වියපත් මහල්ලා දක්වා විවිධ තරාතිරමේ සියල්ලන්ටම රස විඳිය හැකි කලාවන් වන්වා සේම එය අප්කම දේශීය නාට්‍ය කලාව අපේ උරුමය ලොවට කියාපාන සංස්කෘතිකාංගයකි.