කෝලම් නාට්‍ය සම්ප්‍රදාය
per person
කෝලම් නාට්‍ය සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ බටහිර, නිරිත හා දකුණු ප්‍රදේශයන්හි ප්‍රචලිතව පැවති සුවිශේෂී නාට්‍ය සම්ප්‍රදායකි. මෙම නාට්‍ය සම්ප්‍රදාය ශ්‍රී ලාංකේය අවශේෂ සම්ප්‍රදායික නාට්‍යය ගණයෙන් විශේෂ වීමට ප්‍රධාන හේතු දෙකකි. එනම්, වෙස් මුහුණු පැළඳ රංග කාර්යය සිදු කිරීම සහ රංගය අරභයා පහතරට නර්තන ශෛලීයෙන් ලබා ගන්නා දායකත්වය යනුවෙනි.
මෙරට ආවේණික සාම්ප්‍රදායික නාට්‍යය ආකෘතීන් වන කෝලම්, සොකරි හා නාඩගම් අතුරින් කෝලම් සම්ප්‍රදාය විශේෂ වනුයේ ඉහත දක්වන ලද ලක්ෂණයන්ට අතිරේකව සමාජ, දේශපාලනික කරුණු විවරණයෙහි ලා දක්වනු ලබන සූක්ෂමතාව හේතුවෙනි.
කෝලම් උපත
කෝලමෙහි උපත පිළිබඳ ව තොරතුරු දැක්වීමේ දී කෝලම් පිටපත් දක්වන උපත් කවි ගායනය වැදගත් වෙයි. කාරියකරවන රාළ නොහොත් සබේ විදානේ මූලිකව ගායක වෘන්දයේ ද සහාය ඇති ව සිදු කෙරෙන උපත් කවි ගායනයට බෙර වාදකයන් හා හොරණෑ වාදකයා විසින් පසුබිම් වාදනය සපයනු ලැබේ. කෝලම් කවි සටහන් කොට ඇති කෝලම් පොත අනුව එකී ගායනය සිදු කෙරෙයි. මෙහි දී සැලකිල්ලට භාජනය විය යුතු කරුණක් වනුයේ ලංකාවේ පහතරට පළාත්වල මෙන්ම අනෙකුත් පළාත්වල ද පවත්වනු ලබන ශාන්තිකර්මයන්හි දී මෙවැනි පෙළ සඳහන් පොතක් රංගනයෙහි දී පරිහරණය වනු දක්නට නොලැබීම යි. සාම්ප්‍රදායික නාට්‍ය ගණයට ගැනෙන අනෙකුත් සම්ප්‍රදායයන් වන නාඩගම් සම්ප්‍රදායයේ පොතේ ගුරු මෙවැනි පොතක් පරිහරණය කරන අතර අනෙකුත් ශාන්තිකර්ම වලින් කෝලම වෙන් කොට හඳුනා ගැනීමට මෙය ද සාධකයක් වේ.
පිලියත් / පිළියක් නම් රජ කෙනෙකුන් පිළිබඳව කැලවේ පිටපතේ ද මහා සම්මත රජු පිළිබඳව බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාල පිටපතෙහි හා පුරාණ කෝලම් නාටක කවි නම් කෘතියේ ද වාහ නම් රජ කෙනෙකු පිළිබඳ ව අංක 7/K 5 නමැති කොළඹ කෞතුකාගාර පුස්කොල පිටපතෙහි ද කෝලම් උපත් කවිවල තොරතුරු සඳහන් වේ.
පිලියත් රජුගේ බිසව කුස දරු ගැබක් හටගත් බවත් ඇයට එ් හේතුවෙන් දොළ දුකක් හටගත් බවත් එය සංසිඳුවීම පිණිස විවිධ උපක්‍රම යොදනු ලදුව අසාර්ථක වූ බවත් කවිවලින් කියැවෙයි. අනතුරුව රජුගේ විපිළිසර බව හමුවෙහි එක් දෙවඟනක් විසින් මේ පුවත ශක්‍රයාට සැළ කරන ලදුව ඔහුගේ නියමයෙන් විශ්වකර්මයා විසින් සඳුන් ලීයෙන් වෙස් මුහුණු කප්පවා රංග විධාන ඇතුලත් පොතක් රජුගේ උයනෙහි තැබීය. අනතුරුව උයන්පල්ලා එය රජුට දන්වාලීමෙන් පසු රජ නියමයෙන් කෝලම් රඟ දැක්වූ පසු බිසවගේ දොළ දුක සංසිඳුණු බවත් කැලවේ පිටපතෙහි සඳහන් ය.
බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාල පිටපතෙහි උපත් කථාව ඊට වෙනස් ය. නුවරෙහි විසූ කවට නායක දනෝ එනම්, රංගන ශිල්පීන් මහ සමමත නිරිඳු අභිමුව කෝලම් රංගයක් පවත්වන්නට අවසර ඉල්ලා සිටින ලදුව, රජු ඒ සඳහා අවසරය ලබා දීමෙන් පසු කෝලම් රංගනය ඉදිරිපත් කල බව එහි සඳහන් වේ. වඩුවන් කැඳවා රජ අණ ලෙසින් රඟ මඩල සරසන ආකාරය හා කෝලම් නෙර්ත මඩුවට රජු වැඩම කොට රංගනය නැරඹූ බව ද රජුගේ දෙපා නැමද අවසර ගෙන බෙරවායක් දෙදෙනකු හා හොරණෑව ද වාදනය කරමින් වෙන වෙන කෝලම් මුහුණු බැඳ නිරිඳුන් සතුටු වන ලෙස ඉදිරිපත් කල බව වැඩිදුරටත් එහි කවිවලින් විස්තර වෙයි.
වෙස් මුහුණු පරිහරණය
කෝලම් නාට්‍යය සම්ප්‍රදායයෙහි අනන්‍යතාවය හෙළි කරනුයේ වෙස් මුහුණු මගිනි. පහතරට පළාත්වල යාතුකර්ම, යක් තොවිල් ආදියෙහි වෙස් මුහුණු සුලභ දසුනකි. කෝලමෙහි දී වෙස් මුහුණු අත්‍යවශ්‍ය මෙවලමක් වන අතර පූර්වෝක්ත යාතුකර්මාභිප්‍රායට වෙනස් අරමුණක් විශද කරවයි. සන්නියකුම, මහසොහොන් සමයම ආදියෙහි වෙස්මුහුණු ආතුරයන්ට සෙත් ශාන්ති පැතීම අරභයා ව්‍යවහාර වන අතර කෝලමෙහි දී විනෝදාස්වාදය අරභයා පරිහරණය කෙරෙයි.
සබේ විදානේ හා සභාපතිවරු හැර අනෙකුත් සියලුම භූමිකා වෙස් මුහුණු පළදිති. පාරම්පරික නියමයන් මත මේවා සැකසී ඇති අතර මනා චරිත විශ්ලේෂණයකින් යුතුව නිර්මාණය කොට පැවතීම ද විශේෂයෙකි. එමෙන්ම ප්‍රතිමා කලාවේ ආභාෂය වෙස්මුහුණු තැනීමේ දී උපයෝගී කර ගන්නා බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතා කෝලම් ගැමි නාටකයක් නොවේ නම් කෘතියෙහි සඳහන් කරයි. දේව, මනුෂ්‍ය, රාක්ෂ, යක්ෂ, සත්ත්ව, මනඃකල්පිත ආදි වශයෙන් වර්ග හයක වෙස් මුහුණු ලංකාවේ පවතින අතර එයින් මිනිස්, සත්ත්ව, දේව, රාක්ෂ හා වෙනත් මනඃකල්පිත චරිත නිරූපණය කිරීමට කෝලම් වෙස් මුහුණු නිර්මාණ ශිල්පියා සමත් වූ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කලුආරච්චි මහතා කෝලම් නාටක විමසුම කෘතියේ ද විග්‍රහය කරයි. වෙස් මුහුණු නිර්මාණය කිරීමේ ක්‍රමවේදයන් ද එහිදී විස්තර කොට ඇත. වෙස් මුහුණු පැළදීමෙන් පුද්ගලයා නිර්නාමික වන බවත් අදිසි බලයක් ලැබෙන බවත් මහාචාර්ය එච්. එම්. ගුණතිලක මහතා පවසයි. කෙසේ වුව ද ලංකාවේ කෝලම් වෙස් මුහුණු ඒවායෙහි ප්‍රමාණය, හැඩය, කැටයම්, වර්ණ හා අලංකරණ ද්‍රව්‍ය භූමිකා නිරූපණයෙහි දී රස භාව උද්දීපනය සඳහා උචිත ලෙස නිර්මිතව ඇත.
වෙස් මුහුණු පැළදීම හා රූපණ කාර්යයේ විශේෂතා
වෙස් මුහුණු පැළදීම රූපණවේදයේ දී සංකීර්ණ ශිල්පීය ක්‍රමයකි. සාමාන්‍ය රූපණ ශිල්පියා සිය භාව නිරූපණයන්ගෙන් වැඩි කොටසක් මුහුණේ වෙනස්කම් හා චලන මඟින් ප්‍රකාශයට පත් කරයි. එහෙත් වෙස් මුහුණු පැළදීමේ දී ඔහුට සිය මුහුණේ භාව ප්‍රකාශනවල විචල්‍යතා දැක්විය නොහැකිය. එමෙන්ම වෙස් මුහුණේ සටහන්ව ඇති භාව ප්‍රකාශනය ස්ථාවරව පවතී. එයින් චරිත නිරූපණය තවදුරටත් සංකීර්ණ වේ. පාත්‍රයාගේ දර්ශන පථය ද වෙස් මුහුණේ සකසා ඇති කුඩා සිදුරුවලින් අතිශය කුඩා කෝණයක් දක්වා අඩු වෙයි. ඔහුට ප්‍රේක්ෂකයන්ගෙන් හා අනෙකුත් පාත්‍රයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සංජනනය වීම අවම ය. අනෙක් අතට වෙස් මුහුණේ ප්‍රමාණය හා බර මඟින් ඇති කරන පීඩනය ද ඉහළය. වාචික අභිනයේ දී කටහඬ නිකුත් වීම, කටහඬ පැහැදිලි භාවය ආදියට බාධා පැමිණේ. රංගන ශිල්පියාගේ ස්වසන ක්‍රියාවලිය කෙරෙහි ද බාධා පැමිණේ. වෙස් මුහුණේ ඇතුළත උෂ්ණත්වය අධික ලෙස ඉහළ යයි. මේ අපහසුතා විඳ දරා ගනිමින් චරිතයන්ගේ භාව නිරූපණය කෙරෙහි සූක්ෂම වීම අභියෝගකාරී කටයුත්තක් වෙයි.
රූපණය
කෝලමෙහි රූපණ කාර්යය විශේෂතා කිහිපයකින් යුතුව හඳුනාගත හැකිය. ඒවා වෙස් මුහුණු පැළදීම, නර්තන ව්‍යවහාරයේ දායකත්වය, දීර්ඝ කාලයක් පුරා එකම පෙළක් රඟ දැක්වීම, එකිනෙකට වෙනස් අනුභූතීන් රාශියක් කෝලමෙහි අන්තර්ගත වීම යනුවෙනි.
නර්තන ව්‍යවහාරයේ දායකත්වය
කෝලමෙහි රූපණ කාර්යය සිදු වනුයේ නර්තනය මූලික කොට ගෙනය. මේ සඳහා පහතරට නර්තන ශෛලිය හා අදාළ බෙරවාදන රටාව යොදා ගන්නා අතර එය විශාල කායික ශත්කියක් මුදා හැර නිරත ව්ය යුතු තාණ්ඩව ගණයේ ලා ගැනෙන නර්තනයකි. එම නර්තන ශෛලිය ද විවිධ චරිත සඳහා යොදා ගැනීමේ දී එක් එක් භූමිකා ලක්ෂණ මතුකර පෙන්වීම සඳහා වෙනස් වූ ශක්තියක් හා නිපුණතාවයක් ප්‍රදර්ශනය කල යුතු වේ. නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් සංකල්පයක් වන නාට්‍යධර්මී රීතිය මෙහි යෙදෙයි. ඒ අනුව ශිල්පියා රූපණයේ දී සියලු නිරූපණ විදහාලිය යුතු වනුයේ ශෛලියකට අනුගතව යි. එහිදී විවිධ බෙර පද හා නර්තන විලාස අනුදක්නා බැවින් එම බෙර පද හඳුනාගැනීමේත් නර්තනය කිරීමේත් භාව ප්‍රකාශන පවත්වා ගැනීමේත් වගකීමට ශිල්පියා යටත් වෙයි. එහිදී කෝලම් රූපණ ශිල්පියා නර්තනයේ ද රූපණයේ ද උචිත නිපුණතාවයකින් යුක්ත වීම අත්‍යාවශ්‍ය ය.
කෝලමෙහි චරිත, සිද්ධි හා කථා ගණනාවක් අන්තර්ගත වෙයි. මෙම ලක්ෂණය පෙළ සාහිත්‍යය සම්බන්ධයෙන් වැදගත් සාධකය කි. එමෙන්ම රූපණ කාර්යය සම්බන්ධයෙන් ද බලපෑම් ඇති කරවන්නකි. එනම් එකිනෙකට බද්ධ වූ සිඳුවීම් පෙළක් රූපණය කිරීම සඳහා අවැසි උත්තේජනය එම පෙළ විසින්ම ගොඩනංවා දෙන අතර එකිනෙකට සම්බන්ධිත නොවන සිඳුවීම් හා කථා සහිත පෙළක් රූපණය සඳහා වෙනත් වූ උත්තේජන මූලයන් සෙවීමට ශිල්පීන්ට සිඳුවීම යි. ඇතැම් විට ශිල්පියෙකුට එක් රැයක් පහන්වන විට ජවනිකා කිහිපයක භූමිකා නිරූපණය කිරීමට සිඳුවීම නිතැතින්ම සිඳු වන්නකි.
මේ අනුව කෝලම් රංගයක කටයුතු කරන ශිල්පියෙකු යනු ඉතා සංකීර්ණ මෙන්ම වටිනා ශිල්ප සමුදායක නිපුණයෙකු බව පැහැදිලි වෙයි.
කෝලම් රඟ පිළිවෙළ
කෝලම් පිළිබඳ ලිඛිත මූලාශ්‍රය විමර්ශනයේ දී පෙනී යනුයේ ඒවා රංගය පෙළගැසීම අතින් එකක් අනෙකට සමාන නොවන බව යි. එමෙන්ම කෝලම් පිළිබඳ විමර්ශකයන් ද හෙළි කරනුයේ එක් එක් කෝලම් කණ්ඩායම් වෙනත් කණ්ඩායමකට සමාන අනුපිළිවෙලින් රංගය ඉදිරිපත් කරනු දක්නට නොලැබෙන බවයි. ප්‍රායෝගිකව කෝලම් රඟ දැක්වූ අවස්ථාවන්හි දි ද එම තත්වය එලෙසින්ම පැවතිණි. මුලාශ්‍රය අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කලුආරච්චි මහතා කෝලම් නාටක විමසුම කෘතියෙහි ඉදිරිපත් කරන කෝලම් රඟ පිළිවෙළ වඩාත් වැදගත් වේ. එහිදී බඩදරු කෝලම, පංචනාරිඝටය ආදි ඇතැම් කෝලම් පිළිබඳ තොරතුරු සඳහන් නොවුන ද කෝලම් රංගය පිළිබඳ වඩාත් පැහැදිලි ආකෘතියක් සකසා ගත හැකිය.
ඒ අනුව කෝලම් රංගයක රඟ පිළිවෙළ මූලික ආකෘතිය පහත ආකාරයට පියවර පහළොවකින් දැක්විය හැකිය.
කෝලම් රඟ මඬල සකස් කිරීම
සාම්ප්‍රදායික කෝලම් රඟ මඬල තානායම් පොළ මෙන්ම සබය ලෙස ද හැඳන්වේ. එය ඉදිරිපත් කරනුයේ ඒ වෙනුවෙන්ම සකස් කරගත් භූමියක ය. එහිදී සාම්ප්‍රදායික පිළිවෙත් අනුව රඟ මඬල සැරසිලි සිදු කළ යුතුය. වෙස් අත්ත, ප්‍රධාන මල් යහන හෝ මල් යහන්, නේපත්‍යාගාරය, රඟ මඬල සීමා සඳහා ගොක් ගෙඩි, ගොක් රැහැන් හා අලංකාරයට මෙන්ම සශ්‍රීකත්වය ද හඟවනු පිණිස ඉදි කෙරෙන වලුමල් (තාල වර්ගයට අයත් ගෙඩි හා වළු) සැරසිලි ප්‍රධාන සකස් කිරීම් වෙයි. භූමිකා රංග ගත වීමට පෙර නොපෙනී සිටීමට සහ නේපත්‍යාගාරය ආවරණය කිරීමට සමත් වෙස්අත්ත නැමැති ප්‍රධාන සැරසිල්ල සකස් කෙරෙන අතර අවසානයේ ගරා යක් ශාන්තිය ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය වන ගොරකා අතු දෙකක් සිටුවා සකස් කරන අයිලය ද එහිම සකසනු ලබයි.
මෙම සැරසිලි හා රඟ මඬල සකස් කර ගැනීමේ ආකාරය දෙස බලන විට, ඒවා ඉතා සරලය. එමෙන්ම සකසුරුවම් ලෙස ගොඩ නැගී ඇති බව පෙනෙයි. අනෙක් අතට කෝලම් ප්‍රචලිත වූ ප්‍රදේශවල පැවති අනෙකුත් යාතුකර්ම හා සැසඳීමේ දී පැහැදිළි වෙනස්කම් දැකිය හැකිවෙයි. යාතුකර්ම වලදී තොරණ, වීදිය ලෙස සකස් කෙරෙන සැරසිලි කෝලම් රඟ මඬලෙහි නොමැත. ගොක් කොළ, කෙසෙල් බොඩ, හබරල කොළ ආදියෙන් සකස් කරගන්නා අලංකාර කැටයම් එහි දක්නට නැත. වෛවර්ණ සිතුවම් ද නොවේ.
මේ අනුව කෝලම් ප්‍රසංගයෙහි සන්දර්භයේ මුඛ්‍යාර්ථය රසාස්වාදය බවත් එයට උචිත වන ලෙස රඟ මඬල සැරසිලි හා අලංකරණ යොදා ගත් බවත් පැහැදිලි වෙයි.
රඟ මඬල හා සැරසිලි
කෝලම් රඟ මඬල තානායම්පොල ලෙස ද හැඳින්වේ. ඒ සඳහා කමත හෝ වෙනත් පොදු ස්ථානයක් යොදා ගැනීම පැරණි සිරිතයි. භූමිය තෝරා ගැනීමේ දී රඟ මඬල හා තාවකාලික නේපත්‍යාගාරය සැකසීමටත් ප්‍රේක්ෂකයන් සඳහා අවශ්‍ය අවකාශයත් වැදගත්ය. පසුකාලීනව විශේෂයෙන්ම සකසන ලද පීඨිකාවක හෝ වේදිකාවක රඟ දක්වන අවස්ථා හැරුණු විට සාම්ප්‍රදායික කෝලම් රඟ මඬල වෘත්තාකාර වේ. මෙම වෘත්තාකාර රඟ මඬලෙහි වටේ නටමින් රංගනයෙහි යෙදීම බොහෝ භූමිකා ප්‍රවේශයන්හි දී දැකිය හැකිය.