මහනුවර
per person
මහනුවර දළදා මාළිගාවේ බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබේ. එය බෞද්ධ ලෝකයා විසින් ඉමහත් ගෞරවාදරයට පාත්‍ර කරන පූජනීය ස්ථානයකි. චිරාගත සම්ප්‍රදායට අනුව අතීතයේ සිට දළදා වහන්සේ තැන්පත් කෙරෙන්නේ රජතුමා විසින් සිය අගනුවර ලෙස තෝරාගත් නගරයේ වන අතර එම ධාතූන් වහන්සේ තැන්පත් වූයේ රජමාළිගයට සමීප දළදා මැදුරක ය. ලක්දිව ඉතිහාසය අනුව මහනුවර පුරාණ ශ්‍රී ලංකාවේ අන්තිම අගනගරය විය.
කඳු හා වනාන්තරවලින් වට වූ අතර අර්ධ වශයෙන් මහවැලි නදියෙන් ද පරික්ෂිප්ත මෙම නගරය 15 වන සියවසේ සිට 19 වන සියවස තෙක් දිවයිනේ ප්‍රධාන නාගරික කේන්ද්‍රයක් විය.
මෙම නගරය සෞන්දර්යමය වශයෙන් සිත් ඇදගන්නේ එහි ඇති අතීතයේ “කිරි මුහුද” ලෙස හැඳින්වුණු කෘතිම වැව, ඒ අසළ ම පිහිටි රජමාළිගා සංකීර්ණය සහ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පිහිටා තිබීම නිසා ය. මීට අමතරව ප්‍රධාන විහාර සංකීර්ණ දෙකක්, එනම් මල්වත්ත සහ අස්ගිරිය ද මෙහි පිහිටා තිබේ. ජූලි හෝ අගෝස්තු මස මෙහි පැවැත්වෙන මහා ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග අතර ප්‍රධාන තැනක් ගන්නේය. එය නැරඹීම සඳහා දේශීය මෙන් ම විදේශීය අමුත්තෝ විශාල පිරිසක් මේ නගරයෙහි එක්රොක් වෙති.
රජමාළිගා සංකීර්ණයේ කොටසක් වන ”පල්ලෙ මාලය” නමින් හැඳින්වෙන බිසෝවරුන්ගේ මාළිගය සංස්කෘතික කෞතුකාගාරයක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පවත්වාගෙන යනු ලබයි.
මහනුවරට සමීපයේ පිහිටා ඇති ලංකාතිලකය, ගඩලාදෙණිය විහාර, දෙගල්දොරුව, හිදගල සහ ඇම්බැක්කේ දේවාලය යන පූජනීය ස්ථාන ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන වේ.
මහනුවර වඩාත් ආකර්ශනීය ස්ථාන
ලංකාතිලක විහාරය
ලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර උඩුනුවර පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. එය පිළිමතලාව හන්දියේ සිට දළ වශයෙන් 4 km (සැතපුම් 2.5) ක් පමණ දුරින් දවුලගල මාර්ගයේ ගඩලාදෙණිය විහාරය ආසන්නයේ පිහිටා ඇත. එය ගම්පොළ යුගයේ නිර්මාණය කරන ලද විශිෂ්ටතම වාස්තු විද්‍යාත්මක විහාරය ලෙස සැලකේ.
විහාරස්ථානයේ ඉතිහාසය 14 වන සියවස දක්වා දිව යයි. ක්‍රිස්තු වර්ෂ 1341 සිට 1351 දක්වා රජකම් කළ IV වන බුවනෙකබාහු රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලද බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. ඔහු මෙම විහාරස්ථානයේ වැඩ කටයුතු සේනාධිලංකාර නම් වූ තම මහ ඇමතිවරයාට මෙම විහාරස්ථානය ඉදිකිරීම භාර කළේය. ඔහු විහාරය නිර්මාණය කර ඇත්තේ ස්තපති රායර් නම් දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පියාගේ සහාය ලබා ගැනීමෙනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන පරිදි ස්තපති රායර් විසින් මෙම විහාරය නිර්මාණය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසේ දී තමිල්නාඩුවෙන් හින්දු ක්‍රමයට ගෙන ආ දෙමළ පාණ්ඩ්‍ය මූර්ති ශිල්පීන් යොදාගෙනය.
විහාර ගොඩනැගිලි ඉදිකර ඇත්තේ පන්හල්ගල පර්වතය නම් ස්වභාවික පර්වතයක් මතය. ගොඩනැගිලි අතර, පිළිම ගෙය සාම්ප්‍රදායික සිංහල මූර්ති වලින් සරසා ඇති ලාක්ෂණික ලෙස කැපී පෙනෙන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඇත. ලංකාතිලක විහාරයේ ඇති තඹ ඵලකයේ සටහන් වන කරුණු අනුව, අඩි අසූවක උසකින් යුත් සිව් මහල් මන්දිරයක් ලෙස මෙම ප්‍රතිමා ගෘහය ඉදිකර තිබුණද අද දක්නට ලැබෙන්නේ තට්ටු 3ක් පමණි. ප්‍රතිමා ගෘහයේ බිත්ති සහ සිවිලිම මහනුවර යුගයේ චිත්‍ර හා මූර්ති වලින් සරසා ඇත.
ඇම්බැක්කේ දේවාලය
ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ලෙස, කන්ද උඩරට පිහිටි “ඇම්බැක්කේ දේවාලය” හැඳින්විය හැකිය.
ලෝක ප්රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය, එදා ගෘහ නිර්මාණ ශිල්පයේත්, ලී කැටයම් කලාවේත් මන බන්දනීය සම්මිශ්රණයකි. ඇම්බැක්ක ග්රාමය පිහිටා ඇත්තේ දවුලාගල ගම ආසන්නයේ ය.
කොළඹ-මහනුවර මහා මාර්ගයේ පිලිමතලාවෙන් හැරී, දවුලාගල මාර්ගයේ කිලෝ මීටර අටක් පමණ ගමන් කිරීමෙන් පසු , රමණීය පරිසරයක් දායාද කර ගත් දේවාල භූමිය වෙත ළඟා විය හැකි ය. එම දුර ප්රමාණය පසු කරන අතරවාරයේදී, එම යුගයේම නිර්මිත තවත් අලංකාර පුදබිම් දෙකක් වන “ලංකාතිලක විහාරය” සහ “ගඩලාදෙණිය විහාරය” මෙන් ම, සරුසාර කෙත්වතු, කඳුවැටි ද නෙත ගැටේ.
දළදා මාලිගාව
ශ්‍රී දළදා මාලිගාව යනු ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. එය පිහිටා ඇත්තේ බෞද්ධයාගේ මුදුනු මල්කඩ වැනි බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති පැරණි මහනුවර රාජධානියේ රාජකීය මාළිගා සංකීර්ණයේ ය. දන්ත ධාතූන් වහන්සේ දරා සිටින තැනැත්තා රටේ පාලනය දරන බව අතීතයේ විශ්වාස කරන ලද හෙයින් දන්ත ධාතූන් වහන්සේ ඓතිහාසික වශයෙන් සිංහල රජවරුන් විසින් දළදා මාලිගයෙහි වැඩහිදුවා ඇත. දළදා මාලිගාව ලෝක උරුමයක් බවට පත්වන්නේ ප්‍රධාන වශයෙන්ම දන්ත ධාතූන් වහන්සේ සහ මාලිගය නිසාය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු, ජනප්‍රවාදයට අනුව, දන්ත ධාතුව කාලිංග දේශයේ ආරක්ෂිතව පවතින ලදී. ගුහසීව රජුගේ උපදෙස් පරිදි හේමමාලි කුමරිය සහ ඇගේ සැමියා වන දන්ත කුමරු විසින් හොර රහසේ දිවයිනට ගෙන යාමට කටයුතු කරන ලදී. එම ගමනේ දී ඔවුන් විවිධ අනපේක්ෂිත අවස්ථාවන් වලට මුහුණ දෙන්නට වූ අතර එක්ධා අවස්ථාවක දී ධාතූන් වහන්සේ හේමමාලා කුමරියගේ කෙස්වල සඟවා ගනිමින් ආරක්ෂා කිරීමට ද සිදු විය. සිරිමේඝවණ්ණ (301-328) රාජ්‍ය සමයේ දී හේමමාලා කුමරිය සහ දන්ත කුමරුවන් දිවයිනට ගොඩ බැස දළදා වහන්සේ භාර දුන්හ. රජු එය අනුරාධපුරයේ මේඝගිරි විහාරයේ (වර්තමාන ඉසුරුමුණිය) තැන්පත් කළේය. ධාතූන් වහන්සේ ආරක්ෂා කිරීම එතැන් සිට රජුගේ වගකීම විය. එබැවින් වසර ගණනාවක් පුරා ධාතූන් වහන්සේගේ භාරකාරත්වය දිවයින පාලනය කිරීමේ අයිතිය සංකේතවත් කිරීමට පැමිණියේය. එබැවින් අනුරාධපුර රාජධානිය, පොළොන්නරු රාජධානිය සහ දඹදෙණි රාජධානිය යන කාලවල දී මෙන්, රජකම් කළ රජවරු ඔවුන්ගේ රාජකීය මාලිගයට සමීපව දළදා මාලිගාවක් ඉදිකරන ලදී. ගම්පොළ රාජධානි යුගයේ දී ධාතුන් වහන්සේ වැඩ සිටියේ නියම්ගම්පාය විහාරයේය. කෝට්ටේ රාජධානිය පිහිටුවන විට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය තුළ දළදා මාලිගාව පිහිටා තිබූ බව හංස, ගිරා, සැළලිහිණි වැනි දූත කාව්‍යවල වාර්තා වේ.
කෝට්ටේ ධර්මපාලතුමාගේ පාලන සමයේ දී ධාතුන් වහන්සේ වැඩම කර රත්නපුර දෙල්ගමුව විහාරයේ ඇඹරුම් ගලක සඟවා තිබුණි. එය මහනුවරට වැඩම කරවනු ලැබුවේ හිරිපිටියේ දියවඩන රාළ සහ දෙවනගල රත්නාලංකාර හිමියන් විසිනි. පළමුවන විමලධර්මසූරිය රජතුමා දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකළ අතර එම ගොඩනැඟිල්ල දැන් නැතිවී ගොස් ඇත. 1603 දී පෘතුගීසීන් විසින් මහනුවර රාජධානිය ආක්‍රමණය කළ විට එය දුම්බර මැද මහනුවර දක්වා ගෙන යන ලදී. එය දෙවන රාජසිංහ රජුගේ කාලයේ ගොඩනගා ඇති අතර ඔහු විසින් මුල් ගොඩනැගිල්ල ප්‍රතිෂ්ඨාපනය කර හෝ නව විහාරයක් ඉදිකළ බව වාර්තා වේ. වර්තමාන දළදා මාලිගාව ඉදිකරන ලද්දේ වීර නරේන්ද්‍ර සිංහ රජු විසිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය සමයේ දී අෂ්ටාස්‍ර සහිත පත්තිරිප්පුව සහ දිය අගල එකතු විය. පත්තිරිප්පුව ගොඩනැංවීමේ ගෞරවය හිමිවන්නේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පී දේවේන්ද්‍ර මූලාචාර්ය හටයි.