ජාතික නාමල් උයන
per person
“ජාතික නාමල් උයන” යනු ආසියාවේ විශාලතම නා වනය සහ රෝස තිරුවානා කන්ද පිහිටි ස්ථානයයි. මෙම අද්විතීය ස්වාභාවික භුමිය මීට වසර 15 කට පමණ පෙර ලෝකයේ අවධානයට යොමු කර ඇත්තේ වනවාසි රාහුල තෙරණුවන් විසිනි. සුවිශේෂී ස්වාභාවිකත්වයකින් යුත් දර්ශනීය හා ආකර්ශනීය නාමල් උයනට වසර දහසකට වඩා ඉපැරණි ඉතිහාසයක් ඇත.
පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ සොයාගැනීම් වලට අනුව, මෙම ඓතිහාසික ස්ථානයේ රෝස පැහැති තිරුවානා වලට වසර මිලියන 550 කට වැඩි ඉතිහාසයක් ඇත. මෙම සුවිශේෂී “ජාතික නාමල් උයන” පිහිටා තිබෙන්නේ කොළඹ – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මඩතුගම හන්දියේ සිට කි.මී. 7 ක් දුරින් ආඩියගල දෙසට යන මාර්ගයේ ගල්කිරියාගම ප්‍රදේශයේ වේ. නා වෘක්ෂ යනු වටිනා සම්පතක් වන අතර එය ජනතාවට පමණක් නොව පරිසරයටද විශිෂ්ට සේවාවක් සපයයි.
මෙරට වැදගත් ඓතිහාසික ස්ථානයක් වන ජාතික නාමල් උයන, ශ්‍රී ලංකාවේ හමුවන විශාලතම නා වනය ලෙස සැලකෙන අතර දඹුලු ඔයේ සහ ඉබ්බන්කටුව වැවේ ජලයෙන් පෝෂණය වෙයි. අක්කර 260ක පමණ භූමි ප්‍රදේශයක විහිදී පවතින මෙහි දකුණු ආසියාවේදී හමුවන විශාලතම රෝස තිරිවානා කඳු පන්තිය පිහිටා ඇත. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් වන නාමල් උයන වැදගත් ඓතිහාසික වටිනාකමින් යුතු වෙයි. මිනිස් අභයභූමියක් වීම, ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය හා භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්ෂණ ජාතික නාමල් උයනේ විශේෂත්වය වෙයි. කුඩා දිය ඇලි, අතු බෙදුණු විශාල කඳන් සහිත නා ශාක නාමල් උයනේදී දකින්නට ලැබෙන අතර විශාල වට ප්‍රමාණයකින් යුක්ත වූ විශාල නා ගස්ද, වසර 1500ක් තරම් පැරණි නා ගස්ද මෙහි දක්නට ලැබෙන අතර දිය නා හා බටු නා ලෙස නම් හඳුන්වන ප්‍රධාන නා විශේෂ දෙකක් වනය තුළදී හමුවෙයි.
ජාතික නාමල් උයන මුළු භූමි ප්‍රමාණයෙන් අක්කර 105ක භූමි ප්‍රමාණයක් පුරා කඳුවැටි 7 කින් පමණ යුක්ත වන රෝස තිරුවානා කඳු පන්තියක් පිහිට ඇත. මෙම රෝස තිරිවානා කඳු පන්තිය වසර මිලියන 500ක් පමණ පැරණි බවට සැලකෙන අතර කඳු පේළිය මුහුදු මට්ටමේ සිට මීටර් 180 හා 300 අතර උසකින් පිහිටා ඇත. ඉන්දියාවේ ටඡ්මහල් මන්දිරය ඉදිකිරීමේදී මෙම රෝස තිරිවානා නිධියෙන් තිරිවානා ලබාගෙන ඇති බවට ඇතැම් ඉතිහාස කතාවල කියැවෙයි. නාමල් උයනෙහි ගල් පාත්‍රයක් පිහිටන අතර රෝස තිරුවානා කන්දේ සිට පහළට ගලා බස්‌නා දිය දහරක් මෙම ගල් පාත්‍රයට ඇදහැලේ. මෙම ලුණු කඳු පෙළක් සේ දිස්‌වන මෙම රෝස තිරුවානා කඳුවැටිය අතීතයේ ගම්වාසීන් විසින් හඳුන්වා ඇත්තේ “ලුණු ගල් දෙබල” වශයෙනි. මෙයින් නිකුත් වන තාපය මගින් ද කඳුවැටියේ සාරය උරාගෙන ඇදහැලෙන උල්පත් ජලය මගින් ද විවිධ ලෙඩ රෝග සුව වන බවට අතීත ගම්වාසීන් තුල මතයක් පැවතින. වර්තමානය වන විට නිරන්තර පා ස්පර්ශයත්, මතුපිට ස්ථරය ජීර්ණයට ලක් වී තිබීමත්, දැඩි සුර්ය තාපයට හා ජලයට ඉතා දිගු කාලයක් නිරාවරණය වී තිබීමත් නිසා කඳුවැටියේ පැහැය අවපැහැ වී ඇත. කඳුවැටියේ මතුපිට ස්ථරය මෙසේ අවපැහැ වී පැවතියද අඩි 1-2 අතර ස්ථරය දම් පැහැයෙන් යුක්ත බව සොයාගෙන තිබෙනවා. කඳු වැටිය මුදුනේ රෝස වර්ණයෙන් යුත් බුදු පිළිමයක් නිර්මාණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පවතින සංරක්ෂිත භූමියක් ලෙස ජාතික නාමල් උයන නම් කර තිබෙයි. කොළඹ – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පැමිණ මඩාටුගම හන්දියෙන් ආඩියාගල පාරේ කිලෝමීටර් හතක් පමණ ගමන් කර ගල්කිරියාගම ප්‍රදේශයට පැමිණීමෙන් නාමල් උයන වෙත ප්‍රවේශ විය හැකිය. ගලේවෙල – දඹුල්ල මාර්ගයේ 91 හංදියෙන් හැරී ඉබ්බන්කටුව වැව මතින් ගල්කිරියාගම මාර්ගය දක්වා දිවෙන මාර්ගයේ පුබ්බෝගමට පැමිණ එතැන් සිට අඩියාගල මාර්ගයේ 2km ක් පමණ ගමන් කිරීමෙන්ද නාමල් උයන වෙත පිවිසිය හැකිය. මෙම භූමිය අතීතයේ සරුසාර ගොවි බිමක් ලෙස පැවති අතර අක්කර 3000ක් වැනි පුළුල් පරාසයක විහිදී පවතී. නාමල් උයන මහා ඉදිගොල්ලෑ වැව, දිග් අන්නෑව වැව, රණාව වැව, ඉබ්බන්කටුව වැව හා කලා වැවෙන් වට වී පිහිටා තිබෙනවා. නාමල් උයන මහා ඉදිගොල්ලෑ වැව, දිග් අන්නෑව වැව, රණාව වැව, ඉබ්බන්කටුව වැව හා කලා වැවෙන් වට වී පිහිටා තිබෙනවා.
නාමල් උයනේ දේවානම් පියතිස්ස රජු සමයේ කල ටැම් සෙල්ලිපියක් දක්නට ලැබෙයි. සිව්වන දප්පුල රජු විසින් මෙම වනය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ බවට සාක්ෂි සපයන ගල්කුළුනක් ආඬියාගල මාර්ගයේ උල්පතගම ප්‍රදේශයේදී හමුවෙයි. එම ආඬියාගල සෙල්ලිපියෙහි සඳහන් විස්තර අනුව වර්තමාන නාමල් උයන ලෙසට හැඳින්වෙන භූමි පෙදෙසට ඇතුළු වන වරදකරුවන් අල්ලා ගැනීමට රජතුමාට පවා බලයක් තිබී නොමැත. එබැවින් මෙම ප්‍රදේශය වන සතුන්ට මෙන්ම මිනිස්සුන්ට ද අභය දානය දුන් ලොව ප්‍රථම මිනිස් අභය භූමිය බැව් ආඬියාගල සෙල්ලිපියට අනුව පැහැදිළිවෙයි. තිරුවානා කඳුවැටියට පහළ ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු තවමත් අධ්‍යනය කරමින් පවතින අතර එම ප්‍රදේශය වෙත පිවිසීම අපහසු වෙයි. ශෛලමය බෝධිඝරයක්, පිළිම ගෙයක්, ගල් අප්පල්ලය, ආවාස ගෙයක් සහ සඳකඩ පහණක් දක්නට ලැබෙයි.
ජාතික නාමල් උයනහි බහුලවම දක්නට ලැබෙන ශාකය, නා ශාකය වන අතර විශේෂ ගණනාවකට අයත් ශාක රැසක්ද නාමල් උයනෙහි දක්නට ලැබෙයි. බටු නා සහ දිය නා ලෙස හඳුන්වනු ලබන ලංකාවෙහි දක්නට ලැබෙන ප්‍රධාන නා විශේෂ දෙකම මෙහි දක්නට ලැබෙයි. මෙම දෙක අතුරින් බටු නා ශාකය මෙරට ජාතික වෘක්ෂය ලෙස හඳුන්වයි. මේ හැරුණු කොට වියළි කලාපයට අයත් ශාක විශේෂ ගනනාවක් මෙහි දක්නට ලැබෙන අතර කොහොඹ, කෝන්, මාදං, පලු, වීර, හල් මිල්ල, කළුවර, කුඹුක්, වෙලං, කළු මැදිරිය, ගැඬුඹ, ඇහැල ඒවා අතරින් ප්‍රධාන වෙයි.
කෙටි තොරතුරු
පළාත | උතුරු මැද පළාත |
|
|
දිස්ත්‍රික්කය | අනුරාධපුර |
|
|
පොලිස් ස්ථානය | ගල්කිරියාගම |
|
|
රෝහල | ආඬියගල |
|
|
සම්බන්ධතා අංකය | +94 253 253 816 |