පොළොන්නරුව
per person
සංස්කෘතික ත්‍රිකෝණයෙහි අනුරාධපුරයට නැගෙනහිරින් පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙවන අගනගරය වූ පොළොන්නරුව ය. පොළොන්නරු උරුමය සියවස් දෙකක පමණක් පැවතුණත් එහි රජ පරපුර පහසුවෙන් අමතක කළ නොහැකි අන්දමට සුවිසල් ස්මාරක රාශියක් ඔවුන් ඉතිරි කර ගොස් තිබේ. පොළොන්නරුව පළමුවෙන් අගනගරය බවට පත්කරන ලද්දේ වසර 52කට පසු චෝළ ආක්‍රමණිකයන් පරදවා දේශය මුදා ගත් 1 වන විජයබාහු රජතුමා විසිනි. ඉන්පසු විජයබාහු රජ තම දීර්ඝ පාලන කාලය යෙදෙව්වේ දේශය යළි ගොඩනැගීම සඳහා ය. එසේ හෙයින් පොළොන්නරු නගරය මූලික වශයෙන් පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් වන්නේ ය. එතුමන් විසින් නගරය වටා ප්‍රාකාරයක් ඉදි කරන ලද අතර ඇතුළු නුවර ආරක්ෂක ප්‍රාකාර තවත් ශක්තිමත් කරවන ලදි. එතුමා විසින් පොළොන්නරුවේ පිහිටි වැව් තුනක් එකතු කොට සුවිසල් පරාක්‍රමබාහු සමුද්‍රය ඉදිකරන ලදි.
පොළොන්නරුව අසහාය නගරයක් වන්නේ එහි ඇති දර්ශනීය මහා ගොඩනැගිලි නිසා ය. ඒවා බෞද්ධ මෙන් ම හින්දු සංස්කෘතියටත් අයත් ය. ලංකාතිලකය, තිවංක පිිළිමගෙය, වටදාගෙය, සත්මහල් ප්‍රාසාදය වැනි මහා විහාර මන්දිර යනු සංචාරකයින් විසින් නැරඹිය යුතු දර්ශනීය ස්ථාන අතුරෙන් ස්වල්පයකි.
පොළොන්නරුවෙහි වඩාත් ආකර්ශනීය ස්ථාන
පරාක්‍රමබාහු රජුගේ රජමාළිගාව
මහල් පහකින් සමන්විත වී යැයි කියනු ලබන අති දැවැන්ත ලෙස ගඩොලින් නිර්මිත පරාක්‍රමබාහු රජ මාළිගය සිත් ඇදගන්නාසුලූ ගොඩනැගිල්ලකි. රජු මෙය ශක්‍රයාගේ වාස භවනය සිහිපත් කරමින් වෛජයන්ත ප්‍රාසාද යැයි නම් කළේ ය. මාළිගයට ඇතුළු වන විට ම ඇත්තේ දැවැන්ත බිත්තිවලින් ආවරණය වී ඇති මහා ශාලාවකි. මෙය රජුගේ දැකුම් මඩුව වන්නට ඇත. මෙම මාළිගා සංකීර්ණයට බිසෝවරුන් සඳහා වූ වෙන ම මාළිගා කොටසක්, නිලධාරී නිවාස, උද්‍යාන හා නාන පොකුණු ඇතුළත් විය. සම්පූර්ණ මාළිගා සංකීර්ණය ම පුළුල් කොටු පවුරකින් සුරක්ෂිත විය. එහි මුරකුටි, මුර අට්ටාල, චංකමන පථ ආදියෙන් පවුර සමන්විත ව තිබුණි.
පොත්ගුල් වෙහෙර ප්‍රතිමාව
පොත්ගුල් වෙහෙරේ සීමාවට නුදුරුව ම පිහිටි ගලෙන් නෙළා ඇති මෙම විශාල ප්‍රතිමාව මහා පරාක්‍රමබාහු රජුගේ රුව යැයි ඇතැමුන් විශ්වාස කරන අතර ඇතැමුන්ගේ අදහස වන්නේ එය ඍෂිවරයෙකුගේ රූපය කියා ය. මෙය දිවයිනේ ඇති අගනා ම ප්‍රතිමාවකි. එහි උස අඩි 11 අඟල් 6 කි. පිළිමයෙහි දෑතේ පුස්කොළ පොතක් වැනි යමක් දරා සිටින අයුරකි. මෙය රජ කෙනෙකුගේ ප්‍රතිමාව නම් දෑතේ දරා සිටින්නේ “රාජ ධූරය”(විය ගහ) යැයි මතයක් ඉදිරිපත් ව ඇත.
දළදා මලුව
දළදා මලුව
පරාක්‍රමබාහු මාළිගා සංකීර්ණයෙන් උතුරුදිග කලූ ගලින් උස් කොට තනන ලද විශාල වේදිකාවක් මත පිහිටුවා ඇති දළදා මලූව ගොඩනැගිලි කිහිපයකින් සමන්විත අතර එම ගොඩනැගිලි පොළොන්නරු අවධියේ වාස්තු විද්‍යා නිර්මාණයන්ගේ ශ්‍රී විභූතිය මනා ව ප්‍රකට කරයි. මෙහි ථුපාරාම පටිමාඝරය ද අටදාගේ නම් දළදා මාළිගාව ද සැටදාගේ නම් පාත්‍රා ධාතු මන්දිරය ද නිශ්ශංකලතා මණ්ඩපය ද ගල්පොත ශිලා ලේඛනය ද සත්මහල් ප්‍රාසාදය නම් විශේෂ ගොඩනැගිල්ල ද පිහිටා තිබේ.
වටදාගේ
දළදා මලූවට ඇතුළු වන විට වම් අත පැත්තේ කවාකාර ගොඩනැගිල්ලක් වන වටදාගේ පිහිටා තිබේ. මෙහි මධ්‍යයේ වූ ඉහළ මාලයකයෙහි පරාක්‍රමබාහු රජ දවස දළදා වහන්සේ වැඩ හිඳුවා තිබුණු බව පැවසේ. වටදාගේ මැද චෛත්‍යයකි. වටේට සිව් කොනේ බුද්ධ ප්‍රතිමා ය. මෙහි දොරටුවේ පාදමෙහි පොළොන්නරුව අවධියට අයත් අගනා ම සඳකඩ පහණ පිහිටා ඇත.
හැටදාගේ
නිශ්ශංකමල්ල රජු විසින් සැට දිනකින් නිමවන ලදැයි කියන දළදා මාළිගාව ය. ගලින් නිමවා ඇති මෙහි ප්‍රවේශකයේ බිත්තියෙහි ද පිටත බිත්තියෙහි ද අභ්‍යන්තරයේ පළමු කුටියෙහි ද නිශ්ශංකමල්ල රජතුමා ම විසින් කොටවන ලද ශිලා ලේඛන තිබේ. මෙහි සෝපාන පද්ධතියක් ඇතත් ඉහළ මාලයේ කොටස් දැනට ඉතිරි වී නැත.
අටදාගේ
නිශ්ශංක ලතා මණ්ඩපය
දළදා මලූවේ ඇති ඉතා මනහර ගොඩනැගිල්ලක් නම් ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යාවෙහි පුෂ්පමය අලංකරණ සඳහා මහඟු උදාහරණයක් සපයන නිශ්ශංක ලතා මණ්ඩපයයි. පෞරාණික බොහෝ ගොඩනැගිලිවල දක්නට ලැඛෙන ඍජු ස්තම්භ වෙනුවට මෙහි ඇත්තේ ලතාකාරයට වක් ව නැගී සිටින ස්තම්භ සමූහයකි. නිශ්ශංකමල්ල රජු විසින් 12 වන සියවසේ දී කරවන ලද මෙය මධ්‍යයේ කුඩා ස්තූපයක් තිබුණු අතර ස්තම්භයන් විසින් දැව වහළක් දරා සිටින්නට ඇත.
වක් වූ ස්තම්භ මුදුනෙහි නෙළුම් මල් දරා සිටින නෙළුම් දඩු නිරූපණය කෙරෙන්නේ ය. කළින් පැවති සරලභාවය මුල් කරගත් කලා ස්වරූපයන්ගෙන් වෙනස් වී වඩා විචිත්‍ර අලංකරණ සහිත කලාවකට නැඹුරුවීමක් මෙම ගොඩනැගිල්ලෙන් දැකිය හැකි ය.
ගල්පොත
සත්මහල් ප්‍රාසාදය
ආළාහන පිරිවෙන
ආළාහන පිරිවෙන
මෙය භික්ෂු අධ්‍යාපන ආයතනයක් ලෙස පරාක්‍රමබාහු රජතුමා විසින් ගොඩනංවන ලද්දකි. මෙය ගොඩනැගීමේ දී ඔහු විසින් ස්වභාවික ව පිහිටි කඳු ගැටය මද වශයෙන් බෑවුම් සහිත මාලකවලට සකස් කරන ලද අතර ඉහළ ම මාලකය වේදිකා දෙකක් ලෙස සමතලා කරන ලදි. කඳු ගැටය දාගැබක් සඳහා සකස් කෙරුණි. එම දාගැබ කිරි වෙහෙර නම් විය. ලංකාතිලක පටිමාඝරය ද බද්ධසීමා ප්‍රාසාදය නම් සන්නිපාත ශාලාව ද එහි ඉදි කෙරුණි. මෙම ස්ථානයෙහි මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කරන ලද කැණීම්වලින් තවත් බොහෝ ගොඩනැගිලි ගැන දැනගන්නට ලැබුණි. ඉන් විශේෂ වන්නේ 12 වන සියවසේ භික්ෂූන් සඳහා වූ රෝහලක නටඹුන් ය. එතැනින් පෙර දවස භාවිත වූ ශල්‍ය උපකරණ ද ලැබී තිබේ.
ලංකාතිලක පටිමාඝරය
ආළාහන පිරිවෙනට අයත් ලංකාතිලක පටිමාඝරය පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි. විශාල ගොඩනැගිල්ලක් වූ මෙය මුලින් පස් මහලකින් යුක්ත විණැයි කියවේ. එයට ප්‍රවේශ වන ද්වාරයේ දෙපස ගඩොලින් නිම වූ සුවිසල් ස්තම්භ දෙකක් වේ. මෙම යෝධ ගොඩනැගිල්ල පුරාණ ග්‍රීසියේ තිබුණු ගොඩනැගිලි හා සමාන කොට ඇත. මෙහි ගඩොලින් බැඳ තිබුණු බුදු පිළිමය මුල දී අඩි 40ක් උස විය. පොලොන්නරුව යුගයට අයත් බිතුසිතුවම් සාදක මෙහි දක්නට හැකිය.
කිරිවෙහෙර
පොළොන්නරුවේ ඇති ස්මාරක අතුරෙන් සාම්ප්‍රදායික ස්තූපයක තිබුණු ප්‍රධාන අංග නිරූපණය වන එක ම ස්මාරකය ලෙස කිරිවෙහෙර හැඳින්විය හැකි ය. එනම් තුන්මහල් පේසාව, ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව සහ කොත් කැරැල්ල යනුවෙනි. ලක්දිව ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පි. ඛෙල් නිදන් සොරුන් විසින් ගර්භය තුළට කපා තිබුණු උමග එළිපෙහෙලි කිරීමේ දී ඒ වන විට නිදන් සොරුන් විසින් කොල්ලකා තිබුණු ගර්භ ගෘහ දෙකක් හඳුනාගෙන ඇත.
බද්ධසීමා ප්‍රාසාද
පුරාණ රෝහල
තිවංක පටිමාඝරය
පොළොන්නරු යුගයට අයත් හොදින් ආරක්ෂා වී ඇති ප්‍රතිමා ගෘහයක් ලෙස තිවංක පිළිමගෙය හඳුනාගත හැකිය. විශේෂයෙන් පොළොන්නරු යුගයට අයත් බිතුසිතුවම් විශාල ප්‍රමාණයක් මෙහි දී දක්නට හැකිය. මෙම ගොඩනැගිල්ලේ පිටත බිත්තියෙහි ඉතා මනරම් ප්‍රතිමා කැටයම් දැක්ක හැකි ය. මෙහි සිංහ රූප, වාමන රූප ඒ අතරින් විශේෂ ය. ගොඩනැගිල්ල ඇතුළත බිත්තිවල මධ්‍යකාලීන විහාර මන්දිරයන්හි නිතර නිරූපණය වූ බුදුරදුන් අවසාන භවයේ උපත ලබා සිටි තුසිත දිව්‍ය භවනයේ දෙවි දේවතාවුන් නිරූපණය කර තිබේ. මෙම පටිමාඝරයෙහි වන්දනාකරුවන්ගේ සිත් බුදුරදුන් වෙත යොමු කරමින් පහන් සිත් වැඩීම සඳහා දෘශ්‍යමය කලාව භාවිත වූවයි කිව හැකි ය.
හින්දු දේවාල
එකොළොස් වන සියවස මුල දී සිදු වූ චෝල ආක්‍රමණය නිසා පොළොන්නරුවෙහි දැඩි හින්දු බලපෑමක් දක්නට ලැබුණි. ඒ අනුව මෙම පෙදෙසේ හින්දු දේවාල 14ක් පමණ සොයා ගත හැකි විය. මෙම දේවාල පරිශ්‍රයන්ගෙන් සොයා ගැනුණු හින්දු ප්‍රතිමාවන් එම ප්‍රතිමා නිර්මාණ අතර ඉහළ ම කලාත්මක අගයෙන් යුක්ත නිර්මාණ බව කිව හැකි ය.
කෙටි තොරතුරු
පළාත | උතුරු මැද පළාත |
|
|
දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
|
|
පොලිස් ස්ථානය | පොළොන්නරුව |
|
|
රෝහල | පොළොන්නරුව |
|
|
සම්බන්ධතා අංකය | +94 272 222 121 |