විල්පත්තු ජාතික වනෝද්‍යානය
per person
විල්පත්තු ජාතික වනෝද්‍යානය පුත්තලම සිට කිලෝමීටර් 25 ක් උතුරින් සහ අනුරාධපුරයට කි.මි. 30 ක් බටහිරට වන්නට වයඹ දිග වෙරළ තීරයේ පිහිටා ඇති මෙම උද්‍යානය උතුරු මැද පළාත සහ වයඹ පළාත අතර මායිම වසා පැතිර පිහිටා තිබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානයට දකුණු දෙසින් මෝදරගම් ආරු ගංගාව සහ උතුරු දෙසින් කළා ඔය ගලා බසී.
විල්පත්තු වනෝද්‍යානයේ ඉතිහාසය පිලිබඳ විමසා බැලීමේ දී, 1905 වර්ෂයේ දී විල්පත්තු වනජීවී අභයභූමිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් පසු 1938 පෙබරවාරි මස 25 වන දින වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර තිබේ. වර්ෂ 1947 නොවැම්බර් මස 7 වන දින විල්පත්තුව උතුරු ප්‍රදේශය විල්පත්තු උතුරු රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ විශාලතම වනජීවී අභය භූමිය වන අතර එය හෙක්ටයාර 131,690 ක් පුරා පැතිර පවතී. මෙහි පිහිටීම මුහුදු මට්ටමේ සිට මීටර් 152 ක තරම් උසක් දක්වා විහිදී තිබේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ වෙනත් වනජීවී අභය භූමින් මෙන්ම වියලි කලාපය තුල පිහිටා තිබේ. එලෙසම විල්පත්තුවේ වඩාත් කැපී පෙනෙන විශේෂිත භූ ලක්ෂණ වන්නේ “ විල්ලු ” නමින් හැඳින්වෙන සුවිශේෂී තෙත් බිම්කඩවල් පනහකින් පමණ සමන්විත තෙත්බිම් සංකීර්ණයක් පිහිටා තිබිමයි.
“ විල්ලු ” යනු, ඝන කැලෑ වනාන්තර මධ්‍යයේ විවෘත තණකොළවලින් වට වී ඇති වැසි ජලයෙන් පිරී පවතින නොගැඹුරු ස්වාභාවික විල් ලෙස හැඳින්වේ. මෙම විල්ලු ජලය පිරි තිබෙන ප්‍රමාණය නිරීක්ෂණය කිරීමෙන් උද්‍යානය පුරා පවතින කාලගුණික තත්ත්වයන් වඩාත් හොඳින් පැහැදිලි කළ හැකි අතර නියඟ කාල සීමාව මැයි මස සිට සැප්තැම්බර් මස මුල දක්වා ද, ප්‍රධාන වැසි සමය සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ ද පවතී. ඊසාන දිග මෝසම් වැසි, අන්තර් මෝසම් සමය මාර්තු මස සහ අප්‍රේල් මාසවල වන උද්‍යානය පෝෂණය කරනු ලබයි.
උද්‍යානයේ වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.2 ක් වන අතර එහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1000 ක පමණ අගයක පවතී. විල්පත්තු ජාතික උද්‍යානය නැරඹීමට වඩාත් සුදුසුම කාලය ලෙස පෙබරවාරි මස සහ ඔක්තෝබර් මාස අතර කාලය ලෙස සැලකේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය, සංචාරය කිරීම සඳහාම විශේෂිත වූ බොරළු මාර්ග ජාලයකින් සමන්විත වේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල ශාක ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකින් යුක්ත වන බවට හඳුනාගෙන ඇත.
- ලුණු තෘණ සහ වෙරළට ආසන්න (වෙරළට යාබදව / වෙරළාශ්‍රිත) වෘක්ෂලතාදිය.
- කි.මි. 5 -10 පුරා විහිදුනු උසින් අඩු පඳුරු සහිත මෝසම් පිරුණු වෙරළ තීරය.
- ගොඩබිමට වන්නට දැවමය ශාක වලින් සමන්විත ඝන වන වැස්ම එනම්, පලු (Manilkara hexandra) සහ බුරුත (Chloroxylon swietenia), මිල්ල (Vitex altissima), වීර (Drypetes sepiaria), කළුවර (Disopyros ebenum) සහ වැවරණ (Alseodaphne semecapriflolia) වැනි ශාක වලින් වලින් සමන්විත වන වනාන්තර කළාපය.
- උද්‍යානයෙන් 73% ක් පමණ ඝන වනාන්තර හෝ වන වදුලු වලින් සමන්විත වන අතර ඉතිරි කොටස වඩාත් විවෘත භුමි වලින් සමන්විතව වේ.
මෙහි ක්ෂීරපායී විශේෂ 31 ක් හඳුනාගෙන ඇති අතර, කොටියන් (Panthera pardus kotiya) සහ වලසුන් (Melursus ursinus) ඒ අතර වේ. මෙම ක්ෂීරපායීන් දෙදෙනාට අමතරව ආසියානු අලින් (Elephas maximus), තිත් මුවන් (Spotted Deer), මී මින්නන් (Mouse Deer), ඕලු මුවන් (Barking Deer), ගෝනුන් (Samber Deer), හිවලුන් (jackals), වල් ඌරන් (Wild Boar), කුළු මී හරකුන් (Bubalus bubalis) සහ කිඹුලන් (Mugger Crocodiles) මෙහි වාසය කරනු ලබයි.
සමනළුන් වර්ග කිහිපයක්ම වාර්තා වී ඇති අතර ඒ අතර Great Eggfly, Blue Mormon, Common Mormon, Common Rose Great Orange Tip, Glad-eye Bushbrown, Blue Mormon, Common Mormon, Common Rose and Crimson Rose ලෙසින් හඳුන්වන විශේෂ ඇතුලත් වේ.
ගණන් කල නොහැකි තරම් වූ කුරුලු විශේෂ ගණනාවක් මෙහි දැකගන්න හැකියාවක් තිබෙන අතර උද්‍යානය නොවැම්බර් මස සිට මාර්තු මස දක්වා කාලය තුළ ශීත ඍතුවේ සංක්‍රමණික පක්ෂීන් ගණනාවකටම සත්කාරකත්වය ලබා දෙනු ලබයි.
තණ බිම්වල ඇවිදිමින් සිටින තාරකා ඉබ්බන් (Geochelone elegans) විල්පත්තුවෙහි සුලභ දසුනකි. එලෙසම විශාල ප්‍රමාණයේ විල්ලු වල පොකුණු ඉබ්බන් (Melanonchelys trijuga) සහ කිරි ඉබ්බන් (Lissemys punctata) දැකගැනීමටත් හැකි වේ.
විල්පත්තු ජාතික උද්‍යානය සහ එහි වටපිටාව ක්‍රි.පූ. 543 දී නැගෙනහිර ඉන්දියාවේ සිට විජය කුමරුගේ පැමිණීම දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියයි. විජය කුමරු ගොඩබට වෙරළ කුඩ්රියාමලී ලෙස හැඳින්වෙන ප්‍රදේශය ලෙසට ද විශ්වාසයක් පවතී.
දිවයිනේ යක්ෂ ගෝත්‍රික කුමරියක වූ කුවේනියගේ මාලිගය පිහිටි ස්ථානය ලෙස කාලි විල්ලු නම් ප්‍රදේශය හඳුන්වනු ලබයි.
එමෙන්ම විල්පත්තුහි පිහිටි මරඳන්මඩු, ඊසාන දෙසින් පිහිටා ඇති විරඳගොඩ සහ ගල්බැඳී නියර යන ප්‍රදේශ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සිය පෙම්වතිය වූ අසෝකමාලා සමග ජීවත් වූ ප්‍රදේශ ලෙස ද හඳුන්වනු ලබයි.
තවද විල්පත්තුහි පොම්පරිප්පු ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන මළ මිනිස් සිරුරු කිහිපයක අස්ථි නෂ්ඨාවශේෂ සොයාගෙන තිබේ. එලෙසම ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉතිහාසයට පෙර කාලයට අයත් වන උඳුන් කිහිපයක නටඹුන් ද හමුවී තිබෙන අතර ඒවා විජය කුමරුගේ පැමිණීමට පෙර කාල පරාසයකට අයත් වන බවට තහවුරු කර තිබේ.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරය කිරීමේදී සාමාන්‍ය ජීප් රථයක් භාවිත කිරීම සුලභ දසුනකි. කොටියන්, අලින්, වලසුන්, මුවන් සහ ආවේණික පක්ෂීන් අර්ධ දින සෆාරි තුළදී පහසුවෙන් දැක ගැනීමට හැකිය. සැබවින්ම ජාතික උද්‍යානයේ මුළු දවසම සංචාරය කිරීම වනජීවීන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ කඩ ලබා දෙයි. සෆාරී අතරතුර සංචාරකයන්ට ජීප් රථයෙන් බැසීමට ඉඩ ලබා නොදෙන අතර, එය වන ජීවීන්ගේ ජීවන රටාවන්ට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා ඉවහල් වේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පළමුව කොළඹ – පුත්තලම A3 මහා මාර්ගයේ පුත්තලම නගරයට පැමිණිය යුතුය. පුත්තලමේ සිට පුත්තලම – අනුරාධපුර A12 මාර්ගයේ කි.මි. 42 ක් පමණ ගමන් කල පසු විල්පත්තු උද්‍යානයේ විශාල නාම පුවරුවක් දක්නට ලැබෙන අතර එතැනින් වම් පසට දිවෙන මාර්ගයේ කි.මි. 7 ක් පමණ ගමන්කල විට හුනුවිලගමට එනම් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිවිසුමට ළඟා විය හැකිය.
ළඟම ඇති උරුම ස්ථාන
අනුරාධපුරය - 38.6 km
යාපහුව - 38.6 km
අභයගිරිය කෞතුකාගාරය - 36.2 km
ඡේතවන කෞතුකාගාරය - 37.5 km
ඔබේ දැනුම පොතට
පළාත | වයඹ සහ උතුරු මැද අතර |
|
|
දිස්ත්‍රික්කය | පුත්තලම සහ අනුරාධපුරය අතර |
|
|
පොලිස් ස්ථානය | මහවිලච්චිය |
|
|
රෝහල | මහවිලච්චිය |
|
|
දුරකථන අංකය | +94 112 199 323 |