යාල ජාතික වනෝද්‍යානය
per person
යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිග කලාපයේ පිහිටා ඇති අතර එය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය සහ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තව පවතී.
යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය යි. යාල වර්ග කිලෝමීටර 1260 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වුවද, එම සම්පුර්ණ ප්‍රදේශයෙන් පහෙන් එකක් පමණක් සංචාරකයන්ට විවෘත කර තිබේ. ඉතිරි වන ප්‍රදේශය ස්වභාවික අධි රක්ෂිතයක් ලෙස නම් කර තිබේ. යාල ජාතික වන උද්‍යානයේ නැගෙනහිර මායිම කුමන ජාතික වන උද්‍යානය හා සම්බන්ධව පවතී.
වනෝද්‍යානය පුරා විසිරුණු ගල් පර්වත වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ භූ විෂමතාව, කටු පඳුරු වලින් පිරී ගිය වන ලැහැබ් සහ උසින් අඩු ශාක ගහනය වගේම දකුණුදිග වෙරළ තීරය සමගින් කිවුල් ජලයෙන් පිරුණු කලපු සහ වලවල් ද යාල ජාතික වනෝද්‍යානයේ සුවිශේෂී චමත්කාරය වැඩි කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ වනජීවි ව්‍යාප්තිය සහ විවිධත්වය පිලිබඳ කතා කලොත් අනෙකුත් සියලුම වන උද්‍යාන වලට සාපේක්ෂව ඉහලම වන ජීවී විවිධත්වයක් යාල වනෝද්‍යානයට හිමි වේ. විවිධ වර්ණයේ කොකුන් සහ කලපු පක්ශීන් උද්‍යානයේ කලපු පුරා වසා සිටින ආකාරය දවසේ ඕනෑම අවස්ථාවක සුලබ දර්ශනයකි. එලෙසම අවුව තපින කිඹුලන් කලපු අවට වැඩි වශයෙන් හමුවේ. වඳුරන් සහ රිලවුන් වියලු ගස් මතින් ඔබ මොබ ගමන් කිරීමත් සමග බිමට පතිත වන කහ සහ රතු පැහැ වියලි ශාක පත්‍ර අතරින් මොනරුන් ඔවුන්ගේ නිල් සහ කොළ පැහැ පිල් විදහමින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් කාගේත් සිත් ඇද තබා ගැනීමට සමත් වේ. පඳුරු සහ ලැහැබ් තුලින් විටින් විට මතුවන වන අලින් සහ එක වරම මං මාවත් හරහා පෙනී සිට නැවත වනයට ඇතුළු වී නොපෙනී යන කොටියන් උද්‍යානයට අලංකාරයක් ගෙන එනු ලබයි.
යාල ජාතික වනෝද්‍යානය තුල ක්ෂීරපායින් විශේෂ 32 ක් වාර්තා වී ඇත. ඒ අතර තර්ජනයට ලක් වූ සත්ව විශේෂ ලෙස, ශ්‍රී ලංකා වලසා (Melursus ursinus) , කොටියන් (Panthera pardus kotiya), අලි (Elephax maximus), වල් මී හරකුන් (Bubalus bubalis), වල් ඌරෝ (Sus scrofa), තිත් මුවන් (Axis axis ceylonessis), ගෝනුන් (Cervus unicolor) සහ රන්වන් හිවලුන් (Canis aureus) හඳුනාගෙන තිබේ.
යාල වනෝද්‍යානය තුල ජීවත්වන ශ්‍රී ලාංකික දිවියන් (Panthera Pardus Kotiya) ඔවුන්ගේ ඉන්දියානු අසල්වැසියන්ගෙන් විශේෂිත උප විශේෂයක් ලෙස සැලකෙන අතර දිවියන්ව දැකිය හැකි හොඳම කාල සීමාව ලෙස වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය හඳුනා ගැනීමට පුළුවන.
යාල ජාතික වනෝද්‍යානය 1 වන කොටස (block 1) වන උද්‍යානයේ බස්නාහිරට වන්නට පිහටි කලාපය සංචාරකයන් සඳහා විවෘතව පවතින කලාපය වන අතර මෙම කලාපය තුල දිවියන්ගේ ඉහල ඝනත්වයක් පෙන්නුම් කරයි. ඒනිසාම දහවල් කාලයේ උවත් සංචාරකයන් හට මෙම දීප්තිමත් කොටියන් දැක ගැනීමේ හැකියාව වැඩි වී ඇත.
යාල ජාතික වන උද්‍යානය තුල වන අලින් සැලකිය යුතු ප්‍රමාණයක් වාසය කරන අතර එය විවිධ දේශගුණික තත්වයන්ට අනුව වෙනස් වේ. මැයි සිට අගෝස්තු අතර කාලය තුල උද්‍යානයේ වියලි දේශගුණයක් පවතින අතර වන අලින් නැරඹීම සඳහා උචිතම කාලය එයයි.
මෙහි පක්ෂීන් විශේෂ 130 ක් පමණ වාර්තා වී ඇත. සර්ප රාජාලියා (crested serpent eagle), හිස සුදු මුහුදු උකුස්සා (white bellied sea eagle) වැනි විලෝපික පක්ෂීන් සේම කලපු වලට ආකර්ෂණය වූ Flamingo, Pelicon, හැඳි ආලාවන් (Spoonbill), ලතුවැකියන් විශේෂ (painted stork සහ rare black necked Stork), අළු කොකා (grey heron), කරවල් කොකා (purple heron), night heron සහ දිය කාවන් (Darter) මෙහි බහුලව දැකගත හැකිය.
ඊසාන දිග මෝසම් සක්‍රිය වීමත් සමග වන උද්‍යානය තුල කලපු වලට සහ වනය තුලට සංචාරක පක්ෂීන් දහස් ගණනින් සංක්‍රමණය වේ. මෙනිසා පක්ෂීන් වැඩි වශයෙන් නැරඹීමට නම් ඊසාන දිග මෝසම් සුලඟ සක්‍රිය වූ පසු දෙසැම්බර් සහ පෙබරවාරි කාලය තුල සංචාරය කිරීම සුදුසු වේ.
තවද යාල තුල උරග විශේෂ ගණනාවක්ම වාර්තා වී ඇත. කිඹුලන් විශේෂ කිහිපයක්, ඉබ්බන් විශේෂ කිහිපයක් සහ විවිධ සර්පයින් විශේෂ ගණනාවකටම වන උද්‍යානය සෙවන සලසනු ලබයි. එමෙන්ම වන උද්‍යානයට අයත් වෙරල තීරයට කැස්බෑවුන් විශේෂ කිහිපයක් බිත්තර දැමීම සඳහා වාර්ෂිකව පැමිණේ.
යාල ජාතික වනෝද්‍යානයට ළඟාවන ආකාරය
යාල ජාතික වනෝද්‍යානයේ පිවිසුම පිහිටා තිබෙන්නේ තිස්සමහාරාමයෙනි. කිරින්ද සිට කිලෝමීටර 12 ක් පමණ ධාවනය කිරීමෙන් අනතුරුව පලටුපාන පිවිසුමට ලඟා වේ. කොළඹ සිට පලටුපාන පිවිසුම දක්වා ඇති මුළු දුර කිලෝමීටර 305 ක් පමණ වේ.
ළඟම ඇති උරුම ස්ථානය
ඔබේ දැනුම පොතට
පළාත | දකුණ |
|
|
දිස්ත්‍රික්කය | හම්බන්තොට |
|
|
පොලිස් ස්ථානය | සිතුල්පව්ව |
|
|
රෝහල | කිරින්ද |
|
|
දුරකථන අංකය | +94 11 2 888 585 |